මෙවර නොබෙල් සාම ත්‍යාගයට එරෙහිව ජූලියන් අසාන්ජ් නඩු පවරයි

vinivida

මේ වසරේ නොබෙල් සම්මාන අතරින් නොබෙල් සාම ත්‍යාගයට විශාල අවධානයක් යොමු විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්මානය තමා සතු කර ගැනීමට විශාල උනන්දුවක් දැක්වීමයි. තමා විසින් සමතයකට පත් කරන ලද යුද ගැටුම් ගණන ගැන පවා කියමින් ඔහු මෙම සම්මානයට තමාට ඇති සුදුසුකම් ගැන කීවේය.

එහෙත් අවසානයේ සාම ත්‍යාගය පිරිනමන ලද්දේ වෙනිසියුලාවේ දේශපාලන නායිකාවක වන 58 හැවිරිදි මාරියා කොරීනා මචාඩෝට යි.

කෙසේ හෝ වේවා මෙවර සාම ත්‍යාගය පිලිබඳව යොමු වූ විශේෂ අවධානය තවමත් අවසන් වී ඇති බවක් නොපෙනේ. තවමත් ඒ සම්බන්ධයෙන් යම් යම් ආන්දෝලනයන් ඇති වෙමින් තිබෙන ආකාරය දැකගත හැකි වේ. ඒ පිලිබඳ අලුත්ම ආන්දෝලනය ඇති වී තිබෙන්නේ ඊට අදාලව මේ වනවිට පවරා ඇති නඩුවක් නිසා ය.

කෙසේ හෝ වේවා මෙවර සාම ත්‍යාගය පිලිබඳව යොමු වූ විශේෂ අවධානය තවමත් අවසන් වී ඇති බවක් නොපෙනේ. තවමත් ඒ සම්බන්ධයෙන් යම් යම් ආන්දෝලනයන් ඇති වෙමින් තිබෙන ආකාරය දැකගත හැකි වේ. ඒ පිලිබඳ අලුත්ම ආන්දෝලනය ඇති වී තිබෙන්නේ ඊට අදාලව මේ වනවිට පවරා ඇති නඩුවක් නිසා ය.

මාරියා මචාඩෝට සාම ත්‍යාගය පිරිනැමීමට එරෙහිව ස්වීඩන අධිකරණයක මේ නඩුව පවරනු ලැබ ඇත්තේ තවත් ලෝක ප්‍රකට පුද්ගලයකු විසිනි. ඔහු නම් විකිලීක්ස් (WikiLeaks) ආන්දෝලනාත්මක වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ය.

විකිලීක්ස් යනු විවිධ රටවල රජයන් ගේ රහසිගත කටයුතු පිලිබඳ තොරතුරු මහ ජනයාට නිරාවරණය කළ වෙබ් අඩවියකි. ඇතැම් රජයන් ගේ යුද අපරාධ, වංචා දූෂණ වැනි කටයුතු පිලිබඳ රහස් පවා මේ ඔස්සේ හෙලිදරව් කරන ලද අතර මේ නිසා ඔහුට සිර දඬුවම් විඳින්නට ද සිදු විය.

ජුලියන් අසාන්ජ්

වෙනිසියුලානු ජාතික මාරියා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ඔහු නොබෙල් පදනමට සහ එහි ප්‍රධානීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. ඔහු චෝදනා කරන්නේ මචාඩෝට මෙම සම්මානය පිරිනැමීම මෙම සම්මානයේ අරමුණුවලට පටහැනි බව යි.

මචාඩෝ වෙනිසියුලාවේ වත්මන් පාලනයට එරෙහිව අරගල කරන , විරුද්ධ පක්ෂ දේශපාලන නායිකාවකි. මේ වනවිට එරට නායකත්වය දරන්නේ සමාජවාදී නායකයකු ලෙස සැලකෙන නිකලස් මදුරෝ ය. ඔහු දැඩි ඇමරිකානු විරෝධියකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි. එමෙන්ම මදුරෝ එරට දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවටත් චෝදනා එල්ල වේ.

මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේ වෙනිසියුලාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා ඇය කරන කාර්යභාරය සැලකිල්ලට ගනිමින් බව පැවසිණි.

ඇය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්තිවලට සහය දක්වන්නියකි. ගැටලුව මතුව ඇත්තේ මෙයට අදාලව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්

වෙනිසියුලාවේ පවතින ඇමරිකානු විරෝධී පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් ට්‍රම්ප් ක්‍රියාත්මක කරන තරමක් ආක්‍රමණකාරී යයි පැවසෙන ප්‍රතිපත්තිවලට ද ඇය සහය දක්වනු දැකිය හැකි වේ. නිකලස් මදුරෝ ගේ පාලනය පෙරළා දැමීමේ අරමුණ ඇතිව මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් හමුදා ක්‍රියාමාර්ග පවා ගනිමින් සිටින බවට චෝදනා එල්ල වේ. සාම ත්‍යාගය දිනූ මචාඩෝ මෙම හමුදා ක්‍රියාමාර්ගවලට පවා සහය දක්වන ආකාරයක් පෙනේ.

ඇමරිකාව වෙනිසියුලාව ආසන්න කලාපයේ හමුදා තර කරමින් සිටින බව පසුගිය දිනවල වාර්තා විය. ඇමරිකාවේ විශාලම යුද නැව ලෙස සැලකෙන ජෙරාඩ් ආර්. ෆෝඩ් නෞකාව පවා මෙම කලාපයේ ස්ථානගත කර ඇති බවක් පැවසිණි. ඊට අමතරව තවත් යුද නැව් කිහිපයක් ද, න්‍යෂ්ටික සබ්මැරීනයක් ද එම කලාපයට යවා ඇතැයි සඳහන් වූ අතර යුද ගුවන් යානා ද ඒ ආසන්න කඳවුරුවලට යවා ඇති බැව් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මෙම කලාපයේ යාත්‍රා කරමින් තිබූ වෙනිසියුලානු බොර තෙල් රැගත් නෞකා දෙකක් සිය භාරයට ගැනීමට ද ඇමරිකානු හමුදා කටයුතු කළේය.

ඇමරිකාව පවසන්නේ මෙම නැව් සම්බාධකවලට යටත් බොර තෙල් ප්‍රවාහනයේ යෙදෙන බව යි. මෙම නැව් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් අතර සබඳතා ඇති බවක් ද ඔවුන් වරක් ප්‍රකාශ කර තිබිණි.

මෙම කලාපයේ දී තවත් කුඩා බෝට්ටු රැසකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පවා ඇමරිකානු හමුදා පසුගිය කාලයේ කටයුතු කළේය. ඒවාට ප්‍රහාර එල්ල කළේ ඒවා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව පවසමිනි.

නමුත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මේ මෙහෙයුම් පිටුපස වෙනත් අරමුණක් තිබිය හැකි බව යි. වෙනිසියුලාව ආක්‍රමණය කර එහි වත්මන් පාලනය පෙරලා දමා ඇමරිකාවට හිතවත් පාලනයක් එහි ඇති කිරීමට ට්‍රම්ප් සැලසුම් කරමින් සිටිනවා විය හැකි බව මේ ඇතැමුන්ගේ අදහස වී තිබේ.

කෙසේ හෝ වේවා, පසුගිය 10 වැනි දින නෝර්වේ හි පැවති සාම ත්‍යාගය ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වීමට මචාඩෝට හැකි වූයේ නැත.වෙනිසියුලාව තුළ පවතින දේශපාලන තත්වය තුළ බොහෝ දුරට සැඟවී ජීවත්වන මචාඩෝගේ ගමන් බිමන් ද රජය විසින් බොහෝ දුරට අවහිර කරනු ලැබ තිබේ. ඇය වෙනුවෙන් සම්මානය භාරගත්තේ ඇගේ දියණිය යි.සම්මාන උත්සවය සඳහා පැමිණීමට ඇයට නොහැකි වුවත් ඊට පැය කිහිපයකට පසු මචාඩෝ නෝර්වේ වෙත ළඟා වීමට සමත්ව තිබුණාය.

මෙවැනි තත්වයක් තිබියදීත් නොබෙල් සාම ත්‍යාගලාභිනී මාරියා මචාඩෝ ට්‍රම්ප්ට සහය දක්වමින් සිටින අතර ඇයට සාම ත්‍යාගය පිරිනැමීමට එරෙහිව අසාන්ජ් නඩු පවරා ඇත්තේ එම පසුබිම තුළ යි.

මාරියා මචාඩෝ

කෙසේ හෝ වේවා, පසුගිය 10 වැනි දින නෝර්වේ හි පැවති සාම ත්‍යාගය ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වීමට මචාඩෝට හැකි වූයේ නැත.

වෙනිසියුලාව තුළ පවතින දේශපාලන තත්වය තුළ බොහෝ දුරට සැඟවී ජීවත්වන මචාඩෝගේ ගමන් බිමන් ද රජය විසින් බොහෝ දුරට අවහිර කරනු ලැබ තිබේ. ඇය වෙනුවෙන් සම්මානය භාරගත්තේ ඇගේ දියණිය යි.

සම්මාන උත්සවය සඳහා පැමිණීමට ඇයට නොහැකි වුවත් ඊට පැය කිහිපයකට පසු මචාඩෝ නෝර්වේ වෙත ළඟා වීමට සමත්ව තිබුණාය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර