රාජ්‍ය පාලන ගැටලු වලට විසඳුම අපරාධ නීතිය ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිද්ධිය සමස්ත රාජ්‍ය සේවයම කළඹාලීමට සමත් ව ඇත. සත්‍ය වශයෙන් සිදුව ඇත්තේ කුමක්ද යන්න තවම අපැහැදිලි වුවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හා අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රධානියා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර විමර්ශන ඉදිරියට ගෙන යමින් තිබේ. විමර්ශකයන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතීඥ තුමා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානියා අධිරාජ්‍යයක් ගොඩ නඟා ගෙන සිංහාසනාරූඩව සිටින්නෙකු ලෙස හඳුන්වනු අසන්නට ලැබුණි. පොලිස් හා ආගමන විගමන දෙපාර්තමේන්තුත් එලෙසම බවත් ඔහු අධිකරණය හමුවේ කළ කරුණු ඉදිරිපත් කිරීමට ඇතුලත් විය. ඇතැම් විට නීතිපති දෙපාර්තමේන්තුව කවර ආකාරයේ එකක්දැයි අධිකරණය ඉදිරියේ උගත් නීතීඥ මහතෙකු ගේ මුවින්ම ඉදිරියේ දී අසාගන්නට ද ජනතාවට අවස්ථාව ලැබෙනු ඇතැයි ද සිතිය හැකිය.

මේ කියන “නීතීඥ කතා” කෙසේ වෙතත් බන්ධනාගාර සිරකරුවන්ට ලබා දෙන ජනාධිපති පොදු සමාව අරභයා බලවත් ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව නම් පැහැදිලි ය. සිරකරුවන් සඳහා සමාව දීමේ රාජ්‍ය නායකයා සතු බලය දිර්ඝ ඉතිහාසයක් සහිත එකකි. උඩරට පැවතුණු සිංහලේ රාජ්‍යය ගැන අධ්‍යයනය කර ග්‍රන්ථයක් කරන ශ්‍රීමත් ජෝන් ඩොයිලි එහි යුක්තිය පසිඳලීම නම් කොටසේ වරදකරුවන්ට සමාව දීම පිළිබඳ බලය මහරජ තුමා සතු බව සඳහන් කර ඇත. රාජාධි රාජසිංහ රජුගේ මරණින් සත් දිනක් ගත වූ පසු මතක දානයේ දී උඩරට රාජ්‍යයේ විවිධ ස්ථානවල සිරකර සිටි සිරකරුවන් නිදහස් කළ බව සඳහන්ය. මෙසේ නිදහස් කළ සිරකරුවන් අතර මිනී මැරීමේ වරදට සිරකර සිටි අයත් හොරකම් කිරීම නිසා වන්දි නියම වී වන්දි ගෙවන තූරු සිරගතව සිටි අයටත් සමාව දුන් බව සඳහන් ය.. ඊට පෙර බුදුරැස් විහිදුණු සේ සැලකෙන අවස්ථාවක දී ද රාජාධි රාජසිංහ රජු මෙසේ සිරකරුවන් නිදහස් කළ බවත් සඳහන්‍ ය. ඉන් පෙනී යන්නේ පැරණි සිංහල රාජ්‍ය සම්ප්‍රදායේ දී වරදකරුවන්ට සමාව දීමේ බලයක් රජු සතුව තිබුණු බවයි. රට බ්‍රිතාන්‍යයන් යටතට පත් වූ පසු පාලනය කෙරුණේ යටත් විජිත රෙගුලාසි (Colonial regulation) නම් ව්‍යවස්‍ථා මාලාවකිනි. එම ව්‍යවස්‍ථා මාලාවේ 13වන ව්‍යවස්‍ථාව අනුව විජිතය තුළ නීති උල්ලංඝනය කිරීම මත දඬුවම් කරනු ලැබ සිටින වරදකරුවන්ටත් දඩ නියම කර සිටින වරදකරුවන්ටත් සමාව දීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත ලබා දී ඇත. ඉන්පසු නිදහස ලැබීමෙන් පසු සෝල්බරි ව්‍යවස්‍ථාව යටතේ ද ආණ්ඩු කාරයා සතු වූ මේ බලය 1972 ව්‍යවස්‍ථාවෙන් ශ්‍රී ලංකා ජනාධිපති සතු කරනු ලැබිණි. අනනතුරුව වර්තමානයේ බලපැවැත්වෙන 1978ආණ්ඩු ක්‍රම ව්‍යවස්‍ථාව යටතේ ද ජනාධිපතිවරයාට වරදකරුවන්ට සමව දීමේ බලතල පැවරී ඇත.වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්‍ථාවේ 34 වැනි වගන්තියේ විස්තර කර අති අන්දමට ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක දී වරදකරු කරන කවර හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාව හෝ කොන්දේසි සහිත සමාව දීම, නියම කරන ලද දඬුවම ක්‍රියාත්මක වීම කාල සීමා ඇතිව හෝ නැතිව කල් තැබීම ,නියම කළ දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීම, නියම කළ දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීම හෝ කොටසක් නිෂ්ප්‍රභ කිරීම ජන රජයට අය විය යුතු යම් දඩයක් මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීම කොටසක් නිශ්ප්‍රභ කිරීම හා යම් වරදකරුවෙකුට අයත් වස්‍තුවක් රාජසන්තක කිරීම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීම හෝ කොටසක් නිශ්ප්‍රභ කිරීම කළ හැකි වේ. එසේ වුව ද මරණ දඬුවම නියම වූවෙකු අරභයා මේ සමාව දීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් එම ව්‍යවස්‍ථාවේ වෙනම දැක්වේ. මරණ දඬුවම නියම අර ඇති වරදකරුවන්වන්ට සමාව දීමේ දී මේ ව්‍යවස්‍ථාගත කාර්ය පටිපාටිය අනුගමනය නොකිරීම නිසා එම සමාව දීම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම සිදුව ඇති නිසා මරණ දඬුවමට ලක් වූවෙකුට සමාව දීමේ ජනාධිපතිවරයා සතු බලය ව්‍යවස්‍ථාවේ නියම කරනු ලැබ ඇති කාර්ය පටිපාටියට යටත් වන්නක් බව පැහැදිලිය.
මරණ දඬුවමට සමාව ප්‍රදානය කිරීම සඳහා වන කාර්ය පටිපාටිය ව්‍යවස්‍ථාවෙන් නියම කළ ද අනිකුත් දඬුවම්වලට ජනාධිපති සමාව දීමක් පිළිබඳ කාර්ය පටිපාටි ව්‍යවස්‍ථාවෙන් නියම කර නැත. ජනාධිපතිවරයාගේ බලතල ඉටුකිරීම පිළිබඳ කාර්ය පටිපාටි නියම කිරීම පාර්ලිමේන්තුවට සතු බලයක් දැයි සොයා බැලුවත් එසේ බලයක් පාර්ලිමේන්තුවට පවරා ඇති බවක් සොයා ගත නොහැකි විය. ඒ අනුව ඒ සඳහා යම් කාර්ය පටිපාටියක් සකසා ගැනීම ජනාධිපතිවරයාම සතු කර්තව්‍යයක් බව සිතිය හැකි ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්‍ථානුකූලව තමාට ඇති මෙසේ සිරකරුවන්ට සමාව දීම බලය ක්‍රියාත්මක කිරීමේ කාර් පටිපාටියක් සකස් කර හෝ පැවති පරිපාටිය සංශෝධනයක් ඇතිදැයි පැහැදිලි නැත. සංශෝධනයක් හෝ අලුතින් කාර්ය පටිපාටි සැකසීමක් කර නැත්නම් ඒ කාර්ය සඳහා තවමත් අනුගමනය කරන කාර්ය පටිපාටිය අතීතයේ ආණ්ඩුකාරවරයාට තිබුණු මෙම බලය ක්‍රියාත්මක කිරීමට අනුගමනය කළ කාර්ය පටිපාටියම විය හැකි ය. නව කාර්ය පටිපාටියක් නියම කර නැත්නම් කලින් පැවති කාර්ය පටිපාටිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ සාමාන්‍ය සිරිතකි. මේ අනුව මරණ දඬුවම නොවන වෙනත් දඬුවම් ලැබූ සිර කරුවන්ට සමාව දීම පිළිබඳ දැනට ද අනුගමනය වන්නේ දීර්ඝ කාලයක් ක්‍රියත්මකව පැවතුණු කාර්ය පටිපාටියම විය යුතු ය.

වර්තමානයේ මතුව ඇති බරපතළ අර්බුදයට අදාළ ගැටලුව මතු කළේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ය. ඔහු සිය කතාවේ දී වත්මන් ජනාධිපතිවරයා වෙසක් පොහොය නිමිති කරගෙන.ජනාධිපති සමාව ලබාදීමේ දී මූල්‍ය වංචාවක් සිදුකර බන්ධනාගාරගත වූ ආයෙකුට ද සමාවක් දී ඇති බවට චෝදනාවක් කළේ ය. වෙසක් පොහොය නිමිති කරගෙන කවර හෝ ජනාධිපතිවරයෙකු ප්‍රදානය කරන්නේ පොදු සමාවක් මිස එක් එක් පුද්ගලයන් ඉලක්ක කර සමාව දීමක් නොවේ. ඒ පොදු සමාවට අදාළ නිර්ණායක සපුරා ඇති ඕනෑම සිරකරුවෙකුට ඒ සමාව හිමි වේ. එකී සමාව හිමි වන සිරකරුවන්ගේ නම් බන්ධනාගාරවලින් සම්පූර්ණ කර දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් අධිකරණ අමාත්‍යංශයටත් එතැනින් ජනාධිපති කාර්යාලයටත් එවා ඊට අනුමැතිය දීම සිදුවුවත් අඩු ගණනේ මේ සිරකරුවන් කවුරුන්දැයි පුද්ගලික දැනීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අධිකරණ අමාත්‍යංශ ලේකම්, ජනාධිපති ලේකම් හෝ ජනාධිපතිවරයාට ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැක. අනික් අතට කවර ජනාධිපතිවරයෙකු යටතේ වුවත් ප්‍රදානය කරන පොදු සමාවක් යටතේ නිදහස ලබන්නේ වරදකරුවන් මිස සිල්වතුන් පිරිසක් නොවන නිසා නිදහස් වූ එක් අයෙකු බන්ධනාගාරගත වූ වරද උලුප්පා පෙන්වමින් පොදු සමාව ප්‍රදානය කළ ජනාධිපතිවරයාට චෝදනා කිරීමේ කිසිදු සාධාරණ බවක් ද නැත. ඒ නිසා මූල්‍ය වංචා චෝදනාවට සිරගත වූවෙකුට ජනාධිපතිවරයා පොදු සමාව යටතේ සමාව දී ඇතැයි චෝදනා කිරීමම අතිශය අසාධාරණ ය.

මේ අසාධාරණ චෝදනාව ගැන ජනාධිපති කාර්ය මණ්ඩලය කලබලවීම ද සාධාරණ ය .ඔවුන් ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එම මාධ්‍ය නිවේදනයේ නිදහස් කළේ ය කියන සිරකරුගේ නම හා සත්‍ය වශයෙන් නිදහස් වූ සිරකරු ගේ නම අතර අකුරක වෙනස උලුප්පා පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් ගොඩ නැගීමට ක්‍රියා කරනු දුටු ජනාධිපති කාර්ය මණ්ඩලය මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද බව පෙනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි අරභයා විමර්ශන සිදු කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ය. ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගෙන සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. දැන් ඒ ක්‍රමවේදයේ ගොදුරක් බවට පත්ව අවාසනාවන්ත ලෙස රක්ෂිත බන්ධනාගාර ගත ව ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානියා වන කොමසාරිස් ජනරාල්වරයා හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයායි.

මේ අසාධාරණ චෝදනාව ගැන ජනාධිපති කාර්ය මණ්ඩලය කලබලවීම ද සාධාරණ ය .ඔවුන් ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එම මාධ්‍ය නිවේදනයේ නිදහස් කළේ ය කියන සිරකරුගේ නම හා සත්‍ය වශයෙන් නිදහස් වූ සිරකරු ගේ නම අතර අකුරක වෙනස උලුප්පා පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් ගොඩ නැගීමට ක්‍රියා කරනු දුටු ජනාධිපති කාර්ය මණ්ඩලය මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද බව පෙනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි අරභයා විමර්ශන සිදු කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ය. ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගෙන සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. දැන් ඒ ක්‍රමවේදයේ ගොදුරක් බවට පත්ව අවාසනාවන්ත ලෙස රක්ෂිත බන්ධනාගාර ගත ව ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානියා වන කොමසාරිස් ජනරාල්වරයා හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයායි. විමර්ශන තවදුරටත් ඉදිරියට යමින් ඇති තත්වයක් තුළ පසුගිය ජනාධිපති පොදු සමාවන් පිලිබඳව විමර්ශනය වුනොත් මේ ජනාධිපති පොදු සමා ක්‍රියාපටිපාටිය යටතේ නිදහස ලැබූ තව බොහෝ දෙනෙකු පිළිබඳ තොරතුරු හෙලි වනු ඇත මේ ආරම්භ වී කෙරෙන විමර්ශන ක්‍රියාවලිය අනුව අනිකුත් බන්ධනාගාරවල බලධාරීන්ට රක්ෂිත බන්ධනාගාරයට ගත වන්නට සිදු වීමේ අවදානමක් පැන නැගී ඇත. මෙය මුලුමහත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවම කලඹවමින් තිබෙනු බව නිරීක්ෂණය වෙයි. අධිකරණය ඉදිරියේ කියවෙන නීතීඥ කතා වලින් කියවෙන්නේ මේ නිලධාරීන් දැනටමත් වරදකරුවන්වී ඇති සේය .නමුත් දැන් දැන් පැහැදිලි වෙමින් එන්නේ මේ සිදුව ඇත්තේ පුද්ගල වරදක් නොව රාජ්‍ය පාලන ක්‍රියාවලියේ කාර්ය පටිපාටියක වරදක් බව ය. රාජ පාලන ක්‍රියාවලියේ පටිපාටියක වරදක් යනු රාජ්‍ය නිලධාරියෙකු හෝ දෙතුන්දෙනෙකු සිදු කරන අපරාධමය වරදක් නොවේ. එකී පටිපාටි යාවත්කාලීන කිරීමේ වගකීම පොදුවේ රාජ්‍ය පාලන තන්ත්‍රයටම පැවරී ඇත. රජයේ නීති උපදේශකයා වන නීතිපති දෙපාර්තමේන්තුව මේ පටිපාටිමය වැරදි හෝ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතා ගැන රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දිය යුතුව ඇත.

මෙහි දී මට සිහිපත් වන්නේ මගේ රාජකාරි සමයේ ලත් අත්දැකීමකි. මා රාජකාරි කළ එක් දිස්ත්‍රික්කයක නිල බලයෙන් මිනුම් හා ප්‍රමිති සේවා දිස්ත්‍රික් අධිකාරිවරයා ව සිටියෙමි. එම දෙපාර්තමේන්තුවෙන් මගේ කාර්යාලයට අනුයුක්ත කර සිටි පරීක්ෂකවරු එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයේ ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කර මගේ කාර්‍යාලය ඉදිරියේම තිබුණු පිරවුම්හලේ පොම්පයක් මිනුම් හා ප්‍රමිතිසේවා පණත අනුව මාදිලි අනුමැතිය (Pertain approval) ලබා නොමැති එකක් බව සොයාගෙන එම ඉන්ධන පොම්පය මුද්‍රා තබා මා වෙත වාර්තා කළහ. ඉන්ධන පිරවුම්හල් හිමියා ද පැමිණ තම මුදලින් ලක්ෂ විසි පහක් වටිනා ඉන්ධන එම පොම්පයට අයත් ගබඩාවේ රැස්කර ඇති නිසා පිරවුම්හල අයත් සමාගම වසර දහයකට පමණ ඉහතදී සැපයූ පොම්ප තමන් සවි කර ඇති නිසා මෙය නොදැන වූ වරදක් බැවින් දැනට ගබඩාවේ ඇති ඉන්ධන නිකුත් කිරීමට දින දෙකක කාලයක් ලබා දී යළි මුද්‍රා තබන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සාධාරණ බැවින් ඊට ඉඩ දී මම දින දෙකකට පසු එම පොම්පය යළි මුද්‍රා තබා ඉන්ධන නිකුත් කිරීම තහනම් කළෙමි. ඒඅතර එකී සමාගමේ අනිකුත් පිරවුම්හල් පරීක්ෂා කර පිරවුම්හල් දහයක පමණ මාදිලි අනුමැතිය නැති පොම්ප භාවිතා කරන බව හෙලි කර ගත්තෙමි. මාස තුනක් වැනි කාලයක් තුළ මාදිලි අනුමැතිය සහිත නව පොම්ප සවි කිරීමට කටයුතු නොකළොත් නඩු පවරන බවට අදාළ සමාගමට දන්වා මම නඩු පවරීමට අදාළ මුලික නෛතික විධිවිධාන පිළිබඳව අධ්‍යනය කර බැලුවෙමි. එහිදී හෙලිවුණේ පණත සම්මත කර වසර පහළොවක් පමණ ගතවී තිබුණත් ඒ වන විටත් මාදිලි අනුමැතියට අදාළ පිරිවිතර රෙගුලාසි යටතේ නියම කර නැති බවයි. අදාළ දෙපාර්තමේන්තුව ඒ ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නොතිබුණි. මම වහාම අදාළ ඉන්ධනහල් සමාගමේ අප හෙලි කර ගත් වරද ගැන විස්තර කර නඩු පැවරීමේ දී රෙගුලාසි මගින් පිරිවිතර නියම කර නැති නිසා අධිකරණ ක්‍රියාමාර්ග ගත යුත්තේ කෙසේදැයි උපදෙස් පැතුවෙමි. නීතිපති දෙපාර්තමේන්තුව ඒ ගැන අප්‍රමාදව ක්‍රියා කර අදාළ දෙපාර්තමේන්තුව ගෙන්වා බලවත් සේ දෝෂාරෝපණය කර වහාම රෙගුලාසි පැනවීමට මූලික ක්‍රියා කරන ලෙසට උපදෙස් දුන්නෙමි. ඒ අතර අදාළ පිරවුම්හල් සමාගම නව පොම්ප සවි කළ නිසා අපට ඔවුන්ට එරෙහිව අධිකරණයට යාමට අවශ්‍ය වුණේ නැත. තවමත් ඒ පිරිවිතර සකසා ඇතිදැයි මම නොදනිමි. මේ රාජ්‍ය තන්ත්‍රයේ කාර්ය පටිපාටි පිළිබඳ පැවති තත්වයයි.

මෙය බන්ධනාගාරය පමණක් නොව අනිකුත් රාජ්‍ය ආයතනවල රාජකාරි කරන අනිකුත් නිලධාරීන් ද කළඹවන තත්වයක් වන්නේ තමන් නිවැරදිය සිතා අනුගමනය කරන රාජ්‍ය කාර්ය පටිපාටියේ වරදක් හෙලිවුනොත් එය අනුගමනය කළ නිලධාරීන් බන්ධනාගාර ගත කිරීමේ අවදානමක් මින් ඇතිවීම නිසා ය. මේ නිසා මේ ජනපති පොදු සමාව හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නාට්‍යයෙන් දේශපාලනය කරන්නට නොගොස් අත් හැර කවුරු කවුරුත් රාජ්‍ය තන්ත්‍රය තුළ ඇතිවිය හැකි කැළඹීම සමනය කිරීමට බුද්ධිමත්ව පියවර කඩිනමින් ගැනීම ප්‍රඥ ගෝචර බව සඳහන් කරනු කැමැත්තෙමි. නැත්නම් සිද්ද වන්නේ කරදරකාරී උකුණන් වඳ කිරීමට සිතා හිසට පෙට්‍රල් දමා ගිනි තබා ගත්තා වැනි විනාශයකි.

බොහෝ රාජ්‍ය ආයතන නීතියෙන් පැවරුණු බලතල ඉක්මවා සකස්කර ගත් අභ්‍යන්තර කාර්ය පටිපාටි ක්‍රියාත්මක කරමින් සිටියි. රටේ රාජ්‍ය ඉඩම් කළමනාකරණ නීතී ඉක්මවා කාර්ය පටිපාටි සකස් කර ක්‍රියාත්මක කිරීමත් ඛනිජ පිළිබඳ ඇති බලතල යොදාගෙන ඛනිජ නොවන පස් ගල් වැලි සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමත් දැන් වසර පහළොවක් විස්සක් තිස්සේ රාජ්‍ය තන්ත්‍රය සිදු කරමින් සිටින කාර්ය පටි පාටික වැරදිවලට උදාහරණ ය. ජනපති පොදු සමාවෙන් පටන්ගෙන යන මේ විමර්ශන ක්‍රියාවලිය මේ අංශවලටත් යොමුවන්නට වුණොත් රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙකුට වෙන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවන්නට ය.

රාජ්‍ය සේවකයින්ගේ විෂමාචාරයන් ගැන තොරතුරක් ලදහොත් අනුගමනය කළ යුතු පටිපාටිය ආයතන සංග්‍රහයෙන් නියම කර ඇත. ඒ අනුව වහාම මූලික විමර්ශනයක් පැවැත්වීමට විමර්ශන නිලධාරියෙකු හෝ කණ්ඩායම් පත් කළ යුතු ය. ඉස්සර නම් මෙබඳු චෝදනා ගැන විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීමට ජනාධිපති විමර්ශන අංශයක් ජනාධිපතිතුමා යටතේ ස්ථාපිත කර තිබුණි. එතැනින් විමර්ශනය කර වාර්තාවක් ලබාගෙන අපරාධ නීතිය අනුව ක්‍රියා කළ යුතු අවස්වථාලදී පොලිසියට පැමිණිලි කිරීමත් අල්ලස් වරදක් හෙලි වූයේ නම් අල්ලස් කොමිසමට යොමු කිරීමත් එසේ නැත්නම් දෙපාර්තමේන්තු විනය කටයුතු සඳහා යොමු කිරීමත් සිදු විය. ජනාධිපති විමර්ශන අංශයක් නැතිනම් අදාළ අමාත්‍යංශය මගින් මූලික විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමත් කල හැකිව තිබුණි. ජනාධිපති කාර්යාලය මේ කිසිවක් ගැන නොසිතා කෙළින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් සිදුව ඇත්තේ කාර්ය පටිපාටිමය වරදවල්වලට එම පටිපාටි අනුගමනය කළ රාජ්‍ය නිලධාරීන්ට රක්ෂිත බන්ධනාගාර ගත වීමට ය. මෙය බන්ධනාගාරය පමණක් නොව අනිකුත් රාජ්‍ය ආයතනවල රාජකාරි කරන අනිකුත් නිලධාරීන් ද කළඹවන තත්වයක් වන්නේ තමන් නිවැරදිය සිතා අනුගමනය කරන රාජ්‍ය කාර්ය පටිපාටියේ වරදක් හෙලිවුනොත් එය අනුගමනය කළ නිලධාරීන් බන්ධනාගාර ගත කිරීමේ අවදානමක් මින් ඇතිවීම නිසා ය. මේ නිසා මේ ජනපති පොදු සමාව හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නාට්‍යයෙන් දේශපාලනය කරන්නට නොගොස් අත් හැර කවුරු කවුරුත් රාජ්‍ය තන්ත්‍රය තුළ ඇතිවිය හැකි කැළඹීම සමනය කිරීමට බුද්ධිමත්ව පියවර කඩිනමින් ගැනීම ප්‍රඥ ගෝචර බව සඳහන් කරනු කැමැත්තෙමි. නැත්නම් සිද්ද වන්නේ කරදරකාරී උකුණන් වඳ කිරීමට සිතා හිසට පෙට්‍රල් දමා ගිනි තබා ගත්තා වැනි විනාශයකි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර