පිළිකාව යනු අද වන විට මානව වර්ගයා මුහුණ දෙන අතිශය දරුණු රෝග අතුරින් එකකි. එය තනි රෝගයක් නොව, විකෘති වූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම හා පැතිරීම මගින් ඇති වන රෝග සමූහයකි. සාමාන්‍යයෙන් ශරීරයේ සෛල පාලනයක් සහිතව වර්ධනය වී, බෙදී, අවසානයේ විනාශ වෙයි. පිළිකාවක දී මෙම සමබරතාව බිඳ වැටෙන අතර, සෛල පාලනයකින් තොරව වර්ධනය වීමට ඉඩ සලසයි. මේ අසාමාන්‍ය සෛල, පිළිකා ගෙඩි (tumors) ලෙස හඳුන්වන ස්කන්ධයන් බවට පත්විය හැකිය. ඇතැම් පිළිකා ගෙඩි ස්වභාවයෙන්ම හානිකර නොවූව ද (benign) වුවද, ඇතැම් ඒවා මාරාන්තික (malignant) පිළිකා ගෙඩි බවට පත් වෙයි. ඒවා අවට පටක ආක්‍රමණය කර, රුධිර ප්‍රවාහය හෝ වසා පද්ධතිය හරහා ශරීරයේ වෙනත් කොටස්වලට පැතිරිය හැකිය. මෙම ක්‍රියාවලිය ස්ථානාත්තරණය (metastasis) ලෙස හැඳින්වේ. මෙම පාලනයකින් තොරව පැතිරීම ලොව පුරා පිළිකා ආශ්රිත මරණ සඳහා ප්‍රධානතම හේතුවක් බවට පත්ව තිබේ. පිළිකාව අතිශය විවිධාකාර වන අතර, මේ වන විට වර්ග 100 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. මේවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකට වර්ග කෙරේ. ඒවා, කාසිනෝමා (Carcinomas – පෙනහළු, පියයුරු, මහා බඩවැල, පුරස්ථිති සහ සමේ පිළිකා), සාර්කෝමා (Sarcomas – අස්ථි සහ මාංශ පේශි වැනි සම්බන්ධක පටකවල පිළිකා), ලියුකේමියා (Leukemias – ඇටමිදුළු වැනි රුධිරය නිපදවන පටකවල පිළිකා), ලිම්ෆෝමා සහ මයිලෝමා (Lymphomas and Myelomas – ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පිළිකා) සහ මොළය සහ සුෂුම්නාව ආශ්රිත පිළිකා (Brain and Spinal Cord Cancers – මධ්‍යම ස්නායු පද්ධතියේ පිළිකා) ලෙස සඳහන් කළ හැකිය.

ලොව පුරා බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග අතර පියයුරු, පෙනහළු, මහා බඩවැල, පුරස්ථිති, සම, ආමාශය, අක්මාව සහ ගැබ්ගෙල පිළිකා ප්රමුඛ වේ. ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් කාන්තාවන් අතර පියයුරු සහ ගැබ්ගෙල පිළිකා බහුල වන අතර, පිරිමින් අතර මුඛ සහ පෙනහළු පිළිකා බහුලව දක්නට ලැබේ.

ලොව පුරා බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග අතර පියයුරු, පෙනහළු, මහා බඩවැල, පුරස්ථිති, සම, ආමාශය, අක්මාව සහ ගැබ්ගෙල පිළිකා ප්රමුඛ වේ. ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් කාන්තාවන් අතර පියයුරු සහ ගැබ්ගෙල පිළිකා බහුල වන අතර, පිරිමින් අතර මුඛ සහ පෙනහළු පිළිකා බහුලව දක්නට ලැබේ.
පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇත. සමස්ත රෝග ව්‍යාප්තිය පසුගිය වසර 25 තුළ දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. 2025 ජනවාරි මාසය වන විට සමස්ත පිළිකා රෝගීන් 37,753ක් ලෙස වාර්තා වූ අතර, එය රෝග විනිශ්චය කිරීමේ දියුණුවට අමතරව සැබෑ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් ද පෙන්නුම් කරයි. පිළිකාව කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම බලපාන නමුත් එය විවිධ ආකාර ගනී. කාන්තාවන් අතර පියයුරු පිළිකා ප්රමුඛ වන අතර, පිරිමින් අතර බහුලව පවතින බුලත්විට කෑම සහ දුම්පානය වැනි පුරුදු හේතුවෙන් මුඛ පිළිකා බහුලව දක්නට ලැබේ. මෙම ඉහළ යාමට හේතු වන සාධක කිහිපයක් තිබේ. ඒ අතර එකක් වන්නේ, වයස්ගත ජනගහනය යි. ආයු අපේක්ෂාව වැඩි වීමත් සමඟ, බොහෝ දෙනෙකුට පිළිකා ඇති විය හැකි වයස දක්වා ජීවත් වීමට හැකියාව ලැබී තිබේ. ජීවන රටාවේ වෙනස්කම් තවත් එක් හේතුවකි. ධාන්‍ය, පලතුරු සහ එළවළු බහුල සාම්ප්‍රදායික ආහාර රටාව වෙනුවට, සැකසූ ආහාර, පිරිපහදු කළ කාබෝහයිඩ්රේට සහ සීනි බහුල “බටහිරකරණය වූ” ආහාර රටාවකට මාරු වීම ප්‍රධාන හේතුවකි. පිළිකා සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් වන තරබාරුව ද ඉහළ යමින් පවතී. දුම්කොළ සහ මද්‍යසාර විශේෂයෙන් සඳහන් කළ යුතු හේතුවකි. නීති රෙගුලාසි පැවතිය ද, මේවා තවමත් බහුලව භාවිත වන අතර, මුඛය, පෙනහළු සහ අන්නශ්‍රෝතයේ පිළිකා සඳහා විශාල වශයෙන් දායක වේ. පාරිසරික දූෂණය වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ පාන තවත් එක් හේතුවකි. දූෂිත ආහාර, පළිබෝධනාශක භාවිතය සහ වායු දූෂණය ඉහළ යාම ද බරපතළ ගැටලු බවට පත්වෙමින් පවතී. දියුණු වූ රෝග විනිශ්චය තවත් එක් හේතුවක් වී තිබේ. දත්ත එකතු කිරීම සහ සෞඛ්‍ය සේවා පහසුකම් දියුණු වීමත් සමඟ, අද වන විට පෙරට වඩා වැඩි පිළිකා රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගැනේ.
මෑත වසරවල පිළිකා පර්යේෂණ ක්ෂේත්රයේ වඩාත්ම විස්මයජනක සොයාගැනීමක් රුසියාවෙන් වාර්තා වී ඇත. ඒ Enteromix ලෙස නම් කරන ලද පිළිකා එන්නතකි. රුසියානු ෆෙඩරල් වෛද්‍ය හා ජීව විද්‍යා ඒජන්සිය (The Russian Federal Medical and Biological Agency – FMBA) විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම එන්නත, පූර්ව සායනික සහ මුල් සායනික පරීක්ෂණවලදී අතිශය සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ. මෙම එන්නත, COVID-19 එන්නත් සඳහා සාර්ථක වූ mRNA තාක්ෂණය මත පදනම් වී ඇත. mRNA තාක්ෂණය යනු ඉතා සරලව කිවහොත්, අපගේ ශරීරයේ සෛලවලට යම්කිසි ප්‍රෝටීනයක් නිපදවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ක්රමවේදයකි. අපගේ ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් සිදුවන්නේ ප්‍රෝටීන මගිනි. මෙම ප්‍රෝටීන නිර්මාණය වන්නේ අපගේ DNA හි අඩංගු උපදෙස් අනුව ය. DNA හි ඇති මෙම උපදෙස් පිටපත් කරගෙන සෛල වෙත රැගෙන යනු ලබන්නේ messenger RNA (mRNA) නම් අණුව මගිනි. මෙම අණුව DNA හි ඇති උපදෙස් රසායනික පණිවිඩයක් ලෙස රැගෙන යන පණිවිඩකරුවකු මෙන් ක්‍රියා කරයි.
මේ එන්නත, පිළිකාවට එරෙහිව සටන් කිරීමට හැකි පරිදි විශේෂයෙන් අනුවර්තනය කර තිබේ. පිළිකා සෛල මෙන්ම නිරෝගී සෛලවලට ද හානි කරන සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාර වන රසායනික චිකිත්සාව සහ විකිරණ ප්‍රතිකාර මෙන් නොව, Enteromix නිර්මාණය කර ඇත්තේ පිළිකා සෛල පමණක් හඳුනාගෙන විනාශ කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහාය.
එන්නත ක්‍රියා කරන්නේ මේ ආකාරයටය.
Enteromix වැනි පිළිකා එන්නත්, නවීන පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ (personalized medicine) කොටසකි. සෑම පිළිකා ගෙඩියක්ම ජානමය වශයෙන් අනන්‍ය වන අතර, එයටම ආවේණික “නව ප්‍රතිදේහජනක” (neoantigens) ලෙස හැඳින්වෙන අසාමාන්‍ය ප්‍රෝටීන කට්ටලයක් නිපදවයි. මේවා එම විශේෂිත පිළිකා ගෙඩියේ ඇඟිලි සලකුණක් ලෙස ක්‍රියා කරයි. මෙම එන්නත ක්‍රියා කරන්නේ:
රෝගියාගේ පිළිකා ගෙඩියේ සාම්පලයක් ලබා ගැනීම.
එහි අඩංගු අනන්‍ය නව ප්‍රතිදේහජනක හඳුනා ගැනීම.
මෙම නව ප්‍රතිදේහජනක දරන සෛල හඳුනාගෙන ඒවාට පහර දෙන ලෙස රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපදෙස් දෙන mRNA එන්නතක් නිර්මාණය කිරීම.
මෙයින් අදහස් කරන්නේ සෑම එන්නතක්ම ඒ ඒ රෝගියා සඳහාම විශේෂයෙන් සකස් කර ඇති බවයි. එය සියලු පිළිකා සඳහා එකම විසඳුමක් නොවන නමුත්, පිළිකාවට එරෙහිව ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව ඉහළ නංවන අතිශය නිශ්චිත ප්‍රතිකාරයකි.
රුසියානු FMBA වාර්තා කළේ පූර්ව සායනික පරීක්ෂණවලදී සතුන් ඇසුරු කර ගනිමින් පරීක්ෂණ පවත්වා ඇති අතර සතුන්ගේ පිළිකා ගෙඩි හැකිලීමේදී එන්නත 100% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළ බවයි. පසුව පුද්ගලයින් 48 දෙනෙකු සමඟ සිදු කරන ලද පළමු අදියරේ මානව සායනික පරීක්ෂණ මගින් එන්නත ආරක්ෂිත බවත්, හොඳින් ඔරොත්තු දෙන බවත්, සැලකිය යුතු පිළිකා ගෙඩි හැකිලීමක් පෙන්නුම් කළ බවත් අනාවරණය විය. වැදගත්ම කරුණ වන්නේ කිසිදු දරුණු අතුරු ආබාධයක් වාර්තා නොවී තිබීමයි. FMBA හි ප්‍රධානියා වන වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා (Veronika Skvortsova) මෙම සොයාගැනීම් ගෝලීය සමුළුවලදී ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, ඇය ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණ විද්‍යා මධ්‍යස්ථානය සහ රුසියානු විද්‍යා ඇකඩමියේ Engelhardt අණුක ජීව විද්‍යා ආයතනය ඇතුළු විද්‍යාත්මක ආයතන කිහිපයක් සම්බන්ධ වූ සාමූහික ප්රයත්නයක ප්‍රකාශිකාව බව පැහැදිලි කිරීම වැදගත්ය. බොහෝ සමාජ මාධ්‍යවල පැතිර ගිය ආකාරයට මේ එන්නත සොයා ගත්තේ ඇය නොවන බව ද සැලකිය යුතුය.
Enteromix යනු සියලු පිළිකා සඳහා වූ විශ්වීය “ප්‍රතිකාරයක්” නොවන බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. සෑම පිළිකා ගෙඩියක්ම අනන්‍ය බැවින්, එන්නත එක් එක් රෝගියා සඳහා වෙන වෙනම නිෂ්පාදනය කළ යුතුය. මෙම ප්‍රතිකාරය විප්ලවීය කරුණක් වන නමුත්, මේ කාරණය නිසා එය මහා පරිමාණ නිෂ්පාදනයට සීමා පනවයි. මීට අමතරව, එන්නත තවමත් මානව පරීක්ෂණවල මුල් අවධියේ පවතී. එය පුළුල් ලෙස ලබා ගැනීමට පෙර, විවිධ රෝගී ජනගහනයන් අතර එහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල දෙවන සහ තෙවන අදියරේ පරීක්ෂණ සම්පූර්ණ කළ යුතුය. ඉන් පසුව පමණක් එය පුළුල් භාවිතය සඳහා නියාමන අනුමැතිය ලබා ගත හැකිය.
රුසියානු රජය නිවේදනය කර ඇත්තේ මෙම එන්නත අනුමත වූ පසු රුසියානු පුරවැසියන්ට නොමිලේ ලබා දෙන බවයි. පුද්ගලාරෝපිත ප්‍රතිකාර සඳහා වූ අධික පිරිවැය සලකා බලන විට මෙය විශාල සේවයකි. කෙසේ වෙතත්, රුසියාව මෙම එන්නත මුළු ලෝකයටම නොමිලේ ලබා දීමට සැලසුම් කරන බවට සමාජ මාධ්‍ය ප්‍රකාශයන් අතිශයෝක්තියට නංවා ඇත. ජාත්‍යන්තර ප්‍රවේශය රඳා පවතින්නේ අනෙකුත් රටවල නියාමන අනුමැතිය සහ පුද්ගලික එන්නත් ගෝලීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව මතය. මෙම අභියෝග තිබියදීත්, මෙම සොයා ගැනීම ප්‍රධාන වෙනසක් ඇති කරන සාධකයක් බවට පත්ව තිබේ. එය ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව සහ විකිරණ ප්‍රතිකාර වැනි සාම්ප්‍රදායික ක්‍රම සමඟ ඒකාබද්ධ වූ විට, පිළිකා ප්‍රතිකාරයේ සැලකිය යුතු ඉදිරි පියවරක් ඇති කරයි. සමාජ මාධ්‍යවල පැතිර යන ආකාරයට අනුව පිළිකා රෝහල් අතුරුදහන් නොවන නමුත් ඒවායේ කාර්යභාරයන් වඩාත් පුද්ගලාරෝපිත ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර සිදු කිරීමට හැකියාව ලැබෙන පරිදි නවීකරණය කිරීමට සිදුවනු ඇත.
මෙම පර්යේෂණ රුසියාව පමණක් සීමා වී නැත. ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි රටවල පර්යේෂණ කණ්ඩායම් ද මේ හා සමාන පුද්ගලාරෝපිත පිළිකා එන්නත් සංවර්ධනය කරමින් සිටී. ගෝලීය විද්‍යාත්මක ප්‍රජාව පෙරට වඩා ඵලදායී ලෙස පිළිකාවට එරෙහිව සටන් කිරීමට රෝගියාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කළ හැකි අනාගතයක් ඇති කිරීම සඳහා ක්‍රියා කරයි. මෙම ප්‍රවේශය පිළිකා ප්‍රතිකාරය විප්ලවීයකරණය කිරීමට හැකියාව ඇත.
මේ එන්නතේ වාසි සහගත තත්ත්වයන් අතරින් එකක් වන්නේ මෙහි අතුරු ආබාධ අඩු වීමය. ඉලක්කගත ප්‍රතිකාර මගින් නිරෝගී සෛලවලට හානි වීම වළකයි. පුද්ගලාරෝපිත ප්‍රතිකාර මගින් දිවි ගලවා ගැනීමේ අනුපාතය සැලකිය යුතු මට්ටමකින් ලෙස ඉහළ නැංවිය හැකිය. පිළිකාවේ මුල් අවධියේ දී හෝ අවදානම් වැඩි පුද්ගලයින් සඳහා රෝගය වැළැක්වීමේ පියවරක් ලෙස පවා භාවිත කළ හැකිය.
පුද්ගලාරෝපිත mRNA පිළිකා එන්නතක් වන Enteromix සොයාගැනීම, මානව වර්ගයාගේ මාරාන්තික රෝග අතුරින් එකක් වන පිළිකාවට එරෙහි සටනේ බලාපොරොත්තුවක් බඳුය. තවමත් විශ්වීය ප්‍රතිකාරයක් නොවන නමුත්, එය ලොව පුරා මිලියන ගණනක් රෝගීන් සඳහා නව හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කරන විප්ලවීය ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් රුසියාවෙන් සොයා ගත් නව පිළිකා එන්නත මානව සංහතියේ සුවිසල් ජයක් වනු ඇති බවට අපට සතුටු විය හැකිය.
පුද්ගලාරෝපිත mRNA පිළිකා එන්නතක් වන Enteromix සොයාගැනීම, මානව වර්ගයාගේ මාරාන්තික රෝග අතුරින් එකක් වන පිළිකාවට එරෙහි සටනේ බලාපොරොත්තුවක් බඳුය. තවමත් විශ්වීය ප්‍රතිකාරයක් නොවන නමුත්, එය ලොව පුරා මිලියන ගණනක් රෝගීන් සඳහා නව හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කරන විප්ලවීය ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් රුසියාවෙන් සොයා ගත් නව පිළිකා එන්නත මානව සංහතියේ සුවිසල් ජයක් වනු ඇති බවට අපට සතුටු විය හැකිය. ජීවන රටා සහ පාරිසරික වෙනස්කම් හේතුවෙන් පිළිකා ඇති වීමේ අනුපාතය වේගයෙන් ඉහළ යන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා, මේ විස්මයජනක සොයා ගැනීම ඉමහත් සැනසුම්දායක පණිවිඩයක් රැගෙන එයි. මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, මුල් රෝග විනිශ්චය කිරීමේ වැඩසටහන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට නැවත පැමිණීම සමඟ ඒකාබද්ධ වූ විට, Enteromix වැනි එන්නත්, ගෝලීය පිළිකා ගැටලුව අවම කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය.
මේ ගමන තවමත් අවසන් වී නැත. එන්නතට තවදුරටත් දැඩි පරීක්ෂණ සහ ජාත්‍යන්තර අනුමැතිය අවශ්‍ය වේ. නමුත් අඛණ්ඩ සහයෝගිතාව සහ විද්‍යාත්මක ප්‍රගතිය සමඟ, පිළිකාව මාරාන්තික තර්ජනයක් බවට පත් වන්නට ඉඩ නොදී කළමනාකරණය කළ හැකි, ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක් බවට පත් කිරීමට ලෝකය පෙර නොවූ විරූ හැකියාව ලබා ගනිමින් සිටී.
නිරංජන් චාමින්ද කරුණාතිලක