වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ පිහිටීම නිසා මෙහි පවතින ඉහල ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති වෙත දැඩි මානව බලපෑමක් එල්ලවී තිබෙන අතර වැඩි වන ජන ගහණයට අවශ්‍ය ඉඩකඩම්, නිවාස ආදී පහසුකම් සංවර්ධනය සදහා මෙම පරිසර පද්ධති භාවිතය නිසා ඒවා දැඩි ලෙස තර්ජනයට ලක්වෙමින් පවතී.

මෙරට වෙනත් කිසිඳු ස්ථානයක හමු නොවන ඉහල ජෛව වටිනාකම් සහිත පරිසර පද්ධති රැසකින් සමන්විත වන මෙම වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ප්‍රමුඛ වැසි වනාන්තරයක් වන යගිරල රක්ෂිත වනාන්තරය ඇතුළුව පැණිවැල් මූකලාන, ජම්බුගහහේන – නාවලකන්ද කඳු පංති වනාන්තර කලාපය, මීගහතැන්න සංරක්ෂිත වනාන්තරය, හලවල් කැලය සංරක්ෂිත වනාන්තරය, කහඹිලියාකන්ද සංරක්ෂිත වනාන්තරය, බටුකන්ද රජයේ කැලය, කනානකන්ද සංරක්ෂිත වනාන්තරය, බංගලාකන්ද රජයේ කැලය, කුමාරන්කන්ද රජයේ වනය, කළුගල යෝජිත රක්ෂිතය, ගමෙක් කන්ද රජයේ කැලය, විරකන්ද මුකලන යෝජිත රක්ෂිතය, කලුකොට්ට්ව කන්ද රජයේ කැලය, අව්වෙගල කන්ද සංරක්ෂිත වනය, බුලත්කන්ද රජයේ කැලය, යෝජිත කළුගල රක්ෂිතය වැනි තෙත් කලාපීය සදාහරිත වනාන්තර පද්ධති වලින් හා මල්ගස්ඕවිටදෙණිය කඩොලාන සංරක්ෂිත වනාන්නතරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වනාන්තරය, ලුල්බද්දුව කඩොලාන වනාන්තරය වැනි කඩොලාන වනාන්තර වලින්ද සමන්විත වේ. බෙන්තර ගඟ එක් මායිමක් වන මෙම කලාපය බෙන්තර ගඟ සහ කළු ගඟ හා බැඳුනු ජලවහන පද්ධතියකින්ද සමන්විත වේ. මේ නිසා මෙම සුවිශේෂී පරිසර කලාපය තුල ඉහල ශාක සහ සත්ත්ව විවිධත්වයක් ඇති අතර මෙරටට අවේණික වනජීවීන් විශාල ප්‍රමාණයක්ද මේ ආශ්‍රිතව වාසය කරයි. මෙහි හමුවන ශාක හා සත්ත්ව විශේෂ බොහොමයක් මෙරටට පමණක් ආවේණික වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වූ විශේෂ වේ. එම විශේෂයන්ගෙන් බහුතරයක් මෙම කලාපයටම ආවේණික වීමද විශේෂ ලක්ෂණයකි.

අනතුරකින් මිය ගිය කොළ දිවියෙක්

මෙම කලාපය තුල ඉහල සත්ත්ව විශේෂ ගණත්වයක් පවතින නමුත් ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපතක් සිදුවූ විට එම සතුන්ට අවශ්‍ය ප්‍රථිකාර ඇතුළු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පහසුකම් මෙම ප්‍රදේශයෙහි නොපවතී. සීග්‍රයෙන් ජනාකීර්ණ වන කලාපයක පිහිටීම නිසා මෙහි ඉඩම් වලට ඇති ඉල්ලුම ඉහල යාම සමග වනාන්තර ප්‍රමාණය අඩුවීමෙන් වන ජීවීන් හා මිනිසුන් අතර සිදුවන ඝට්ටනයන්ද ඉහල ගොස් ඇති අතර පසුගිය වසර කිහිපය තුල දුර්ලභ වන ජීවීන් විශාල ප්‍රමාණයක් අහිමි වීමද සිදුවිය.

මෙවැනි වටිනාකමක් සහිත රක්ෂිත කලාප තුල වෙසෙන වන ජීවීන් හට විවධ තර්ජණයන් මේ වනවිට එල්ල වෙමින් පවතී. මස් පිණිස ගෝනුන්, ඌරන්, ඉත්තෑවන් වැනි විශාල ක්ෂිරපායින් දඩයම් කිරීම, ජාන කොල්ලය හා වෙළඳාම සඳහා වටිනා ශාක විශේෂ සහ උරගයින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින්, දිලීර, ලයිකන වැනි ජෛව කොටස් එකතු කිරීම වැනි ජාවාරම් මෙම ප්‍රදේශයන් තුල හොර රහසේ සිදුවෙයි. මිරිදිය මත්ස්‍යන්ගේ ඉහල විවිධත්වයක් මෙහි පවතින අතර විසිතුරු මසුන් ලෙස අලෙවිය සඳහා ස්වාභාවික ජල දහරාවන්ගෙන් මසුන් හා ජලජ ජීවීන් එකතු කිරීමද විශාල වශයෙන් සිදුවේ.

අනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක් වනජීවී නිලදාරීන් නිරීක්ෂණය කරමින්

මෙම කලාපය තුල ඉහල සත්ත්ව විශේෂ ගණත්වයක් පවතින නමුත් ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපතක් සිදුවූ විට එම සතුන්ට අවශ්‍ය ප්‍රථිකාර ඇතුළු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පහසුකම් මෙම ප්‍රදේශයෙහි නොපවතී. සීග්‍රයෙන් ජනාකීර්ණ වන කලාපයක පිහිටීම නිසා මෙහි ඉඩම් වලට ඇති ඉල්ලුම ඉහල යාම සමග වනාන්තර ප්‍රමාණය අඩුවීමෙන් වන ජීවීන් හා මිනිසුන් අතර සිදුවන ඝට්ටනයන්ද ඉහල ගොස් ඇති අතර පසුගිය වසර කිහිපය තුල දුර්ලභ වන ජීවීන් විශාල ප්‍රමාණයක් අහිමි වීමද සිදුවිය.

අවතැන් වූ දඬු ලේන් පැටියෙක්

මෙවැනි ගැටළු වලක්වා ගැනීම සඳහා ඇති සුදුසු හා සාර්ථකම ක්‍රමය වන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වනජීවී කාර්යාලයක් ස්ථාපනය කොට වනජීවීන්ගේ රැකවරණය තහවුරු කිරීම නිසා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලයක් ස්ථාපනය කරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම ඉල්ලීම් කලද මේ වන තෙක් එම කාර්යාලය පිහිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී නොමැත. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පමණක් නොව සමස්ථ කළුතර දිස්ත්‍රික්කය තුලම වනජීවීන් සම්බන්ධව කටයුතු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටුවා නොමැති අතර වනජීවී කාර්යාලයකින් සිදුකල යුතු කාර්යන් සිදුකරවා ගැනීමට නම් හික්කඩුව වනජීවී කාර්යාලය හෝ අත්තිඩිය වනසත්ත්ව රෝහල සම්බන්ධ කරගත යුතුවේ. නමුත් එම ආයතන හරහා අවශ්‍ය සේවාව ලබාගන්නා විට තුවාල ලබා අවතැන්වන වන ජීවීයා මිය ගොස් හමාරය. එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුල සිදුවිය.

අනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලයක අවශ්‍යතාවය දැනුණු පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කල ඉල්ලීම් වලට පිළිතුරක් නොලැබුනු නිසාවෙන් 2021 වර්ෂයේදී ජනමාධ්‍ය හරහා මේ පිලිබඳව කතිකාවතක් ඇති කල අතර ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමු වී වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලක් ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුට අමාත්‍යාංශය හරහා නියෝග ලබාදී තිබුණි.

තුවාල ලබා අවතැන් වූ කළු වඳුරෙක්

ඉන්පසු එම කාර්යාලය පිහිටුවීම සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍ය වූ අතර එය සොයා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම නිසා ඒ සඳහාද අවශ්‍ය සහාය ලබා දෙමින් ගොඩනැගිලි සොයා දී තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු වාර්තා ලබා ගැනීමට සහය දැක්වූ අතර එලෙස සොයා දුන් ගොඩනැගිල්ලක 2022.03.01 දින සිට වනජීවී කාර්යාලය පිහිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය පවා ලබා ගැනීමට හැකි විය. ඉන් පසු ඉදිරි වැඩකටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ වෙත ලිඛිතව යොමු කලත් ඔවුන් ක්‍රියාත්මක නොවීය. ඉන්පසුවද එම කාර්යාලය ස්ථාපිත නොවූ බැවින් ඒ පිළිබඳ දුරකථනයෙන් විමසීමේදී කාර්යාලය සඳහා අවශ්‍ය කාර්යාලීය උපකරණ සපයා ගැනීම අපහසු බව දන්වන ලදි. ඒ අනුව එකල පරිත්‍යාශීලින් මගින් අවශ්‍ය කාර්යාල උපකරණ සපයා දීමටද අවශ්‍ය කටයුතුද සම්පාදනය කර දෙන ලදි.

තුවාල ලබා අවතැන් වූ උකුස්සෙක්

එසේ සිදු කලද අනුමැතිය ලැබී ඇති කාර්යාලය පිහිටුවීමේ ඇති ප්‍රමාදය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතර ඉන්පසු ඔවුන් ඒ සඳහා මූලික වූ ප්‍රධාන හේතුව වශයෙන් අවසානයට දක්වා සිටියේ ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 යන චක්‍රලේඛය නිසාවෙන් සහ දෙපාර්තමේන්තු සේවක හිඟය නිසා මෙම කාර්යාලය ස්ථාපිත කිරීමට නොහැකි බවයි.

තුවාල ලබා අවතැන් වූ මීමින්නෙක්

මෙම ප්‍රදේශය තුල ඉහල ජෛව විවිධත්වයක් පැවතියද මෙම පරිසර පද්ධති ආශ්‍රිතව තවමත් නිසි අධ්‍යයනයක් සිදුවී නොමැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් හට මෙන්ම විද්‍යාඥයන්ටද පර්යේෂණ කටයුතු සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත්වන කළුතර දිස්ත්‍රික්කයටම වනජීවී කාර්යාලයක් නොමැති අතර වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ටාසය තුළ වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත වනජීවී කාර්යාලයක් ස්ථාපනය කිරීමෙන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රක්ෂිත හා වනජීවීන් වෙතද ආරක්ෂාවක් ලබා දිය හැකි වේ.

තුවාල ලබා අවතැන් වූ රන් පිළිහුඩුවෙක්

පසුගිය වසර ගණනාව තුල කෙතරම් ඉල්ලීම් කලද වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවි කාර්යාලය ස්ථාපනය කිරීමට පැවැති රජයන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ අතර එමනිසාවෙන් අපගේ වටිනා වනජීවී සම්පත් රැසක් රටට අහිමි විය. එබැවින් මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා වර්තමාන ජනාධිපති තුමන්ද දැනුවත් කර ඇත. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වනජීවී කාර්යාලයක් මෙම ප්‍රදේශය තුල පවත්වාගෙන ගෙන යා හැකි නම් මෙම ප්‍රදේශයයේ වන ජිවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වනජීවී ජාවාරම් නවතා දැමීමට හැකියාව ලැබෙනු ඇත. එමගින් වනජීවීන්ට සිදුවන හදිසි අනතුරු වලදී ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන නිසා හදිසි අනතුරු නිසා සිදුවන වන ජීවී හානි වලක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

වෙඩි වැදී තුවාල වූ ගෝණෙක්

එමෙන්ම මෙම ප්‍රදේශය තුල ඉහල ජෛව විවිධත්වයක් පැවතියද මෙම පරිසර පද්ධති ආශ්‍රිතව තවමත් නිසි අධ්‍යයනයක් සිදුවී නොමැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් හට මෙන්ම විද්‍යාඥයන්ටද පර්යේෂණ කටයුතු සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත්වන කළුතර දිස්ත්‍රික්කයටම වනජීවී කාර්යාලයක් නොමැති අතර වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ටාසය තුළ වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත වනජීවී කාර්යාලයක් ස්ථාපනය කිරීමෙන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රක්ෂිත හා වනජීවීන් වෙතද ආරක්ෂාවක් ලබා දිය හැකි වේ.

වෙඩි වැදී මිය ගිය ගෝණෙක්

එබැවින් මේ පිළිබඳව සැලකිල්ලට ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන ජීවී අපරාධ සහ වන ජිවින්ට සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගත හැකි වනජීවී කාර්යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

වැඩි විස්තර අවශ්‍ය වේ නම් – 0710580734

පේශල පසන් කරුණාරත්න

හරිත දනව්ව