
2025 වසර අවසන් වෙමින් තිබේ. වසර අවසන් වෙමින් පවතිද්දී බොහෝ රජයේ කාර්යාලවල බොහෝ දෙනෙක් දක්නට නැත. කෙටි දුර ප්‍රවාහන සේවාවල ද වෙනදාට වඩා අඩු සෙනඟක් දකින්නට ලැබේ. බොහෝ දෙනෙක් වසර පුරා එකතු වූ නිවාඩු වසර අවසානයේ දී එකවර ගැනීමේ කැමැත්තක් පවතින නිසා මෙවැනි තත්ත්වයක් දකින්නට ලැබේ. නමුත් සියලු දෙනාටම එවැනි තත්ත්වයක් භුක්ති විඳිය නොහැක. ඇතැමුන්ගේ නිවාඩු වසර අවසන් වන විටත් අවසන් වී තිබේ. නැතහොත් නිවාඩු ඉතිරිව තිබුණ ද ආයතනවල පවතින නීති රීති නිසා එකවර නිවාඩු ලබාගැනීමේ හැකියාවක් නැත.
නමුත් බටහිර රටවල් දෙස බලද්දී නිවාඩු ගැනීම පිළිබඳ පෙනෙන්නේ මේ ආකාරයට නොවේ. බොහෝ බටහිර රටවල එකවර මාසයක් තරම් දිගු කාලයක් නිවාඩු ගත කරන අවස්ථාවන් ද දැකිය හැකිය. ලෝකයේ නිවාඩු වැඩිම රටක් වුව ද ශ්‍රී ලංකාවේ අපට එවැනි නිවාඩු භුක්ති විඳීමක් නොලැබෙන්නේ යැයි ද විටෙක සිතේ. “යුරෝපයේ සහ බටහිර රටවල මිනිසුන් හැම වෙලේම නිවාඩු ගත කරනවා වගේ පේනවා.” දිගු නත්තල් නිවාඩු, නිහඬ නගර, හිස් කාර්යාල සහ සිසිර හෝ ගිම්හාන කාලයේ වසා දැමීම් නිසා එම රටවල ජීවිතය දිගු විවේකයක් ලෙස පෙනේ.

නමුත් අපි තරමක් සමීපව බැලුවොත්, කතාව ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බව දැකිය හැකිය. ඇත්තටම, ලෝකයේ බොහෝ රටවලට වඩා වැඩි රාජ්‍ය නිවාඩු සංඛ්‍යාවක් ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. මාසික පෝය දින, බෞද්ධ ආගමික උත්සව, හින්දු උත්සව, මුස්ලිම් නිවාඩු, ක්‍රිස්තියානි සැමරුම් සහ ජාතික දිනවලින් අපේ දින දර්ශනය පිරී තිබේ. සෑම මාසයකටම අවම වශයෙන් එක් නිවාඩුවක් හෝ ලැබේ. මේ දින මගින් රටේ සංස්කෘතික හා ආගමික විවිධත්වය පිළිබිඹු කරන අතර වසර පුරා මිනිසුන්ට නිතර විවේකයක් ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ නිවාඩු සාමාන්‍යයෙන් කෙටි සහ වසර පුරා විසිරී තිබීමයි. සතියේ කුමන හෝ දිනයක වැටෙන නිවාඩුවක් භුක්ති විඳ නැවත සේවයට යාම සිදු වෙයි. එක දිගට නිවාඩු නොමැති නිසා එය ආර්ථිකය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන්නේ ද නැත. කාර්යාල වැසී, ඊළඟ උදෑසන නැවත විවෘත වන අතර ජන ජීවිතය දිගටම ගලා යයි. මුළු ආර්ථිකයම එකට මන්දගාමී වන ජාතික වශයෙන් ලැබෙන දීර්ඝ විරාමයක් අපට නැත. විවේකය නිතර ලැබුණත්, එය ලැබෙන්නේ කුඩා කොටස් වශයෙනි.
වෙනස නම්, ශ්‍රී ලංකාවේ නිවාඩු සාමාන්‍යයෙන් කෙටි සහ වසර පුරා විසිරී තිබීමයි. සතියේ කුමන හෝ දිනයක වැටෙන නිවාඩුවක් භුක්ති විඳ නැවත සේවයට යාම සිදු වෙයි. එක දිගට නිවාඩු නොමැති නිසා එය ආර්ථිකය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන්නේ ද නැත. කාර්යාල වැසී, ඊළඟ උදෑසන නැවත විවෘත වන අතර ජන ජීවිතය දිගටම ගලා යයි. මුළු ආර්ථිකයම එකට මන්දගාමී වන ජාතික වශයෙන් ලැබෙන දීර්ඝ විරාමයක් අපට නැත. විවේකය නිතර ලැබුණත්, එය ලැබෙන්නේ කුඩා කොටස් වශයෙනි.

දැන් අපි යුරෝපයට සහ උතුරු ඇමරිකාවට යමු. පුදුමයට කරුණක් නම්, මෙම රටවල රාජ්‍ය නිවාඩු ඇත්තේ අපට වඩා බෙහෙවින් අඩුවෙනි. සාමාන්‍යයෙන් වසරකට දින දහයක් හෝ දොළහක් පමණි. එය ශ්‍රී ලංකාවේ මුළු නිවාඩු ගණනින් භාගයකටත් වඩා අඩු ය. එසේ නම්, ඔවුන් වැඩියෙන් විවේක ගන්නවා සේ අපට දැනෙන්නේ ඇයි? එහි රහස තිබෙන්නේ නිවාඩු යොදාගන්නා කාලය තුළය. බටහිර රටවල නිවාඩු ගැනීම සිදුවන්නේ එක්වර, නිවාඩු ගොන්නක් (Clustered) ආකාරයටය. නත්තල් සහ අලුත් අවුරුද්ද කෙටි කාලයක් තුළ පැමිණෙන අතර, මිනිසුන් සිය වාර්ෂික නිවාඩු ද මේ කාලයට එකතු කර ගනී. පාසල් වැසී යයි, කාර්යාලවල සිටින්නේ ඉතා සුළු පිරිසකි, මුළු නගරම නිහඬ වන බවක් පෙනේ. එහි ප්‍රතිඵලය වන්නේ සතියක් හෝ සති දෙකක් පවා පැවතිය හැකි දිගු, සාමකාමී විවේකයකි. එය නිල රාජ්‍ය නිවාඩු දින කිහිපයක් පමණක් පවතින රටක් වුවද, දීර්ඝ නිවාඩු සමයක් ලෙස පෙනේ. අනෙක බොහෝ බටහිර රටවල සේවකයන්ට ලැබෙන වැටුප් සහිත වාර්ෂික නිවාඩු ශ්‍රී ලංකාවට වඩා වැඩි ය. එබැවින් බොහෝ බටහිර රටවල වර්ෂාවසාන නිවාඩුවලට මේවා ද එකතු කර ඉතා දීර්ඝ නිවාඩු එකවර ලබා ගැනීමක් දැකිය හැකිය.

මේ රටාවට ගැඹුරු හේතු තිබේ. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ, අතීතයේ ශීත කාලය පැමිණීමත් සමඟ සියල්ල මන්දගාමී විය. ගොවිතැන, ඉදිකිරීම් සහ ගමන් බිමන් අපහසු විය. කෙටි දින සහ සීතල කාලගුණය නිසා විවේකය අනිවාර්ය විය. කාලයත් සමඟ, නත්තල් සහ අලුත් අවුරුද්ද විරාමයක් ගැනීමට, නිදහසේ සිටීමට සහ පවුලේ අය සමඟ සිටීමට කදිම අවස්ථා බවට පත් විය. අද වන විට තාක්‍ෂණය ශීත කාලයේ බලපෑම අඩු කර ඇතත්, එම සම්ප්‍රදාය තවමත් ශක්තිමත්ව පවතී.
නිවර්තන රටක් වන ශ්‍රී ලංකාවේ එවැනි ශීත කාලයක් කිසිදා තිබුණේ නැත. රැකියා සහ දෛනික ජීවිතය වසර පුරාම පවතී. ගොවිතැන, සංචාරක ව්‍යාපාරය සහ කුඩා ව්‍යාපාර දීර්ඝ නිවාඩු වෙනුවෙන් නතර වන ස්වභාවයක් දකින්නට නැත. එබැවින්, එක් දිගු විවේකයක් වෙනුවට, ශ්‍රී ලංකාවේ වසර පුරා බොහෝ කුඩා නිවාඩුවල රිද්මයක් දකින්නට ලැබේ.

අපි ආසියාව දෙස බැලුවොත්, බොහෝ රටවලින් ද දකින්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව හා සමාන රිද්මයකි. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය වැනි දකුණු ආසියානු රටවල බොහෝ ආගමික හා සංස්කෘතික නිවාඩු තිබේ. ඇතැම් රටවල ශ්‍රී ලංකාවට වඩා නිවාඩු පවා වැඩි ය. නමුත්, ශ්‍රී ලංකාවේ මෙන්, මේ නිවාඩු දින විසිරී ඇත. දීවාලි හෝ ඊද් වැනි විශාල උත්සව ප්‍රීතිය ගෙන දුන්නත්, ඒවා සාමාන්‍යයෙන් දින කිහිපයක් පමණක් පවතී. රටක් ලෙස එක දිගට නිවාඩු සමයක් දකින්නට ලැබෙන්නේ නැත.
නැගෙනහිර සහ අග්නිදිග ආසියාව තරමක් වෙනස් අත්දැකීමක් ලබා දෙයි. චීනය, වියට්නාමය සහ දකුණු කොරියාව වැනි රටවල සමස්තයක් ලෙස නිවාඩු අඩු ය. නමුත් ඔවුන්ගේ නිවාඩු එක් ප්‍රධාන සිදුවීමක් සඳහා ඉතිරි කර ගනී. ඉන් එකක් වන්නේ චන්ද්‍ර මාසය අනුව උදාවන අලුත් අවුරුද්දයි (Lunar New Year). මේ කාලය තුළ සියල්ල මන්දගාමී වේ. මිනිසුන් සංචාරය කරයි. ව්‍යාපාර වසා දමයි. මුළු රටම සාමූහිකව විවේකයක් ගනී. මේ කාලය අවසන් වූ පසු ජීවිතය නැවත වේගවත් වේ. මේ නිවාඩු සමය උදා වන්නේ ශීත කාලය හෝ වර්ෂාවසානය නිසා නොවේ. එය එක් අතකින් ඔවුන්ගේ සම්ප්‍රදායකි; අනෙක් අතට පවුලේ සාමාජිකයන් සමඟ එකට එක්ව සිටින්නට යොදා ගැනීමකි.

ජපානය තනි රටක් ලෙස ගතහොත් එහි තත්ත්වය ද වෙනස්ය. එහි ගෝල්ඩන් වීක් (Golden Week) වැනි නිවාඩු පොකුරු කිහිපයක් තිබේ. නමුත් එවිට පවා රට දිගු කලක් සම්පූර්ණයෙන්ම වසා දමන්නේ නැත. වැඩ සංස්කෘතිය සහ අඛණ්ඩතාව වැදගත් වේ. මැද පෙරදිග නිවාඩු, ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනය අනුගමනය කරයි. ඊද් සැමරුම් දින කිහිපයක විවේකයක් ගෙන එයි. නමුත් මෙම දින සෑම වසරකම වෙනස් වන නිසා ස්ථිර නිවාඩු සමයක් නැත. එක් වසරක එය ගිම්හානයේදී, තවත් වසරක ශීත ඍතුවේදී පැමිණිය හැකිය. ජීවිතය මොහොතකට නතර වී, පසුව අඛණ්ඩව ගලා යයි.
අප්‍රිකානු මහාද්වීපය ගතහොත් එහි රිද්මය ශ්‍රී ලංකාවට සමීප බවක් දැනේ. බොහෝ අප්‍රිකානු රටවල් ආගමික නිවාඩු සහ ජාතික දින සමරන නමුත් මේවා වසර පුරා විසිරී ඇත. විශේෂයෙන්ම කිතුනු බහුතරයක් සිටින රටවල නත්තල් සහ අලුත් අවුරුද්ද වැදගත් වන නමුත් දිගු කාලීන වසා දැමීම් දුර්ලභ ය. මිනිසුන් දෛනික ආදායම මත රඳා පවතින නිසා කෘෂිකර්මාන්තය, වෙළෙඳපොළ සහ අවිධිමත් රැකියාවන් අඛණ්ඩව දැකිය හැකිය.

ඕස්ට්‍රේලියාවේ නිවාඩු තත්ත්වය වඩාත් සිත්ගන්නා සුළු ය. එහි දෙසැම්බර් සහ ජනවාරි මාස බටහිර රටවල් මෙන් ශීත සමයක් නොවේ. ඔවුන්ට ඒවා ගිම්හාන මාස වේ. එහෙත් ඕස්ට්‍රේලියානුවෝ ද වසර අවසානයේ දිගු විවේකයක් භුක්ති විඳිති. දිගු ගිම්හාන නිවාඩුව සඳහා පාසල් වැසී යයි. බොහෝ දෙනෙක් සංචාරය කරති. කාර්යාල මන්දගාමී වේ. දිගු නිවාඩු සමයන් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම ශීත කාලය නිසාම නොවන බව මෙයින් පෙනේ.
ඕස්ට්‍රේලියාවේ නිවාඩු තත්ත්වය වඩාත් සිත්ගන්නා සුළු ය. එහි දෙසැම්බර් සහ ජනවාරි මාස බටහිර රටවල් මෙන් ශීත සමයක් නොවේ. ඔවුන්ට ඒවා ගිම්හාන මාස වේ. එහෙත් ඕස්ට්‍රේලියානුවෝ ද වසර අවසානයේ දිගු විවේකයක් භුක්ති විඳිති. දිගු ගිම්හාන නිවාඩුව සඳහා පාසල් වැසී යයි. බොහෝ දෙනෙක් සංචාරය කරති. කාර්යාල මන්දගාමී වේ. දිගු නිවාඩු සමයන් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම ශීත කාලය නිසාම නොවන බව මෙයින් පෙනේ.

ලතින් ඇමරිකාව ගතහොත් එහි නිවාඩු තත්ත්වය බටහිර සහ ආසියානු රටවල පවතින ස්වභාවයේ අතරමැදි තත්ත්වයක් දැකිය හැකිය. මෙම රටවල යුරෝපයට වඩා නිවාඩු වැඩි නමුත් ශ්‍රී ලංකාවට වඩා අඩුය. නත්තල්, අලුත් අවුරුද්ද සහ පාස්කු කෙටි නිවාඩු පොකුරු ලෙස ගැනීම සිදු වෙයි. නමුත් ජාතික වශයෙන් දීර්ඝ වසා දැමීම් දකින්නට නැත. ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල මෙන්, විශේෂයෙන්ම අවිධිමත් අංශවල ජීවිතය දිගටම ගමන් කරයි.

අපි මේ සියල්ල එකට ගත් විට අපූරු රටාවක් දිස් වේ. ශ්‍රී ලංකාවේ වසර පුරාම නිවාඩු විසිරී තිබේ. සිංහල – දෙමළ අලුත් අවුරුද්ද හෝ නත්තල සති අන්තයකට සමීපව උදා නොවූණහොත් එතැන දීර්ඝ නිවාඩුවක් නැත. ඇත්තේ තනි නිවාඩුවක් පමණි. පෞද්ගලික වශයෙන් නිවාඩු ගැනීමක් දැකිය හැකි වුව ද ජාතික වශයෙන් දීර්ඝ නිවාඩු සමයක් දකින්නට නැත. බටහිර රටවල වසර පුරා විසිරී ඇති නිවාඩු අවම වුවත්, ඔවුන් විවිධ හේතු නිසා වර්ෂාවසානයේ ජාතික වශයෙන් දීර්ඝ නිවාඩු සමයක් ගත කරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ දීර්ඝ නිවාඩු සමයක් නොමැති නිසා නිවාඩු ගැනීම ආර්ථිකය මන්දගාමී කරන්නට හේතු නොවන නමුත් බටහිර රටවල වර්ෂාවසානය, ශීත සමය සහ නිවාඩු සමය නිසා ආර්ථිකය මන්දගාමී වනු දැකිය හැකිය.

එබැවින් සැබෑ වෙනස වන්නේ නිවාඩු වැඩිපුර ගන්නේ කුමන රටක ද අඩුවෙන් ගන්නේ කුමන රටක ද යන්න නොව, නිවාඩුව ගන්නා ආකාරයයි. ශ්‍රී ලංකාව නිතර නමුත් කෙටියෙන් විවේක ගනී. බටහිර රටවල් අඩුවෙන් නමුත් දීර්ඝ ලෙස විවේක ගනී. සියලු රටවල් සංස්කෘතිය, දේශගුණය සහ දෛනික ජීවිතය මත ස්වාභාවික ආකාරයෙන් නිවාඩු ලබා ගැනීම් වර්ධනය කරගෙන ඇත. සෑම රටක්ම වැඩ, සැමරුම් සහ විවේකය සමබර කර ගැනීමට තමන්ගේම මාර්ගයක් සොයාගෙන තිබේ. එම අර්ථයෙන් ගත් කල සියල්ලෝම තම රටට ආවේණික වූ ආකාරයකින් නිවාඩු ගනිමින් සිටිති.
නිරංජන් චාමින්ද කරුණාතිලක