
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය.
GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද?
එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි GMOA සංගමය රජය විසින් අවදි කරනු ලැබුවේ වෛද්‍ය පත්වීම් සහ ස්ථාන මාරු ක්රමයේ වෙනසක් කිරීමට යාමෙනි.
රජය පවසන පරිදි මෙම ස්ථාන මාරු ක්රමයේ වෙනස්කම් කිරීමට හේතු මොනවාද?
GMOA නිලධාරීන් සහ ඔවුන්ගේ නෑදෑ හිතවතුන් තමන්ට රුචි පරිදි අවශ්‍ය ස්ථානවල වසර ගණනාවක් රැඳී සිටිමින් සියලු පහසුකම් ලබන අතරතුර, අනෙක් සාමාජිකයන් වෙනුවෙන් පෙනී නොසිටීම අසාධාරණයක් ලෙස රජය සැලකීම මෙයට හේතුවයි.
මෙයින් රජයට සිදුවන හානිය කුමක්ද?
මෙහිදී රජයට සිදුවන සෘජු හානියක් නොපෙනේ. නමුත් GMOA සාමාජිකයන් අතර කලකිරීමක් හටගෙන, ඔවුහු එම සංගමයෙන් ඉවත්වී වෙනත් වෛද්‍ය සංගම්වල පිහිට පැතීමට පෙළඹෙති. එසේ වුවද, රජයට තම දේශපාලන බලපෑම් මත වෛද්‍ය මාරුවීම් වෙනස් කර ගැනීමට නොහැකි වීම පිළිබඳ පසුතැවිල්ලක් තිබීමට ඉඩ ඇත.
GMOA මෙම මාරුවීම් ක්රමයේ වෙනස්කම්වලට විරුද්ධ වන්නේ ඇයි?
සමහරවිට රජය පවසන පරිදි බොහෝ නිලධාරීන් සිය පෞද්ගලික වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා විය හැක. නමුත් දුෂ්කර ප්‍රදේශවලට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් යවා වසර දෙකක් එතැන රැඳී සිටීමට සැලැස්වීම වෙනුවට, අනෙකුත් වෘත්තීන්හි මෙන් දේශපාලන මැදිහත්වීම් මත ස්ථාන මාරු සිදු කිරීමට ඉඩ ලැබුණහොත් එය ජාතික අපරාධයක් වනු ඇත. දැනටමත් සිදුවී ඇති පරිදි, වෛද්‍යවරුන් නොමැතිකම නිසා දුෂ්කර පළාත්වල කුඩා රෝහල් සිය ගණනක් වැසී යාම වැළැක්විය නොහැකි වනු ඇත.
එමෙන්ම, එම දුෂ්කර ප්‍රදේශවලට පත්වීම් ලබන වෛද්‍යවරුන් රජයේ සේවයෙන් ඉල්ලා අස් වී, වඩා වාසිදායක නගරාසන්න ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට හෝ විදේශගත වීමට පෙළඹීම නිසා මෙරට වෛද්‍ය හිඟය තවත් උග්‍ර වේ.
සටන් නැවැත්වීමට GMOA පාර්ශ්වයෙන් රජයෙන් ඉල්ලා සිටිය හැකි ඉල්ලීම් මොනවාද?
- දුෂ්කර සේවය: දුෂ්කර ප්‍රදේශවල සේවය පෙර පරිදිම පවත්වාගෙන යාම හෝ නිසි ක්‍රමවේදයකට අනුව සැබෑ දුෂ්කර ප්‍රදේශ හඳුනා ගැනීම. එමඟින් සාමාජික වෛද්‍යවරුන් මුහුණ දෙන අපහසුතා අවම කරගත හැක.
- දේශපාලන බලපෑම්: වෛද්‍ය ස්ථාන මාරුවීම් සඳහා දේශපාලන බලපෑම් ඇති නොවන බවට රජය සහතිකයක් ලබා දීම. මෙයින් GMOA ඉල්ලීම් ඉටු වන අතරම දෙපාර්ශ්වයේම ආත්මභිමානය හා ගෞරවය ද සුරැකේ.
සටන දිගටම ගියහොත් GMOA සතු ‘බර අවි’ මොනවාද?
දැනට බාහිර රෝගී අංශයට (OPD) පමණක් සීමා වී ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, ක්‍රමයෙන් හදිසි අනතුරු අංශ, දැඩි සත්කාර ඒකක, සූතිකාගාර, ශල්‍යාගාර, ළමා රෝග ඒකක, පිළිකා ඒකක සහ ලය රෝහල් ඇතුළු සියලුම සේවාවන් දක්වා ව්‍යාප්ත කරමින් රජයේ ප්‍රතිචාරයක් ලැබෙන තුරු සේවයෙන් ඉවත් වීමයි.
සටන දිගටම ගියහොත් රජය සතු ‘බර අවි’ මොනවාද?
- සේවය හැර ගියා සේ සලකා වෛද්‍යවරුන් සේවයෙන් පහ කිරීම.
- විදේශීය වෛද්‍යවරුන් ගෙන්වීම, විශ්‍රාමික වෛද්‍යවරුන් සේවයට බඳවා ගැනීම හෝ හමුදා වෛද්‍ය බලකායේ සහාය ලබා ගැනීම.
මෙයින් ජනතාවට සේවය සැලසී සෞඛ්‍ය සේවය යහපත් මට්ටමක පවතිනු ඇත්ද?
එය ඉතා අවිනිශ්චිතය. GMOA සතුව විශාල වෛද්‍ය පිරිසක් සහ විශේෂඥ වෛද්‍යවරුන් සිටින බැවින්, රෝහල් කටයුතු පෙර පරිදිම සාර්ථකව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත. ප්‍රතිකාර ප්‍රමාද වීම, සැත්කම් කල් යාම, දිගු පෝලිම් ඇතිවීම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම වැනි බරපතළ ප්‍රතිවිපාක මෙයින් ඇති විය හැක.
විසඳුම:
රජය පැත්තෙන්:
- වෛද්‍ය මාරුවීම් සඳහා දේශපාලන මැදිහත්වීම් නොකරන බවට ප්‍රසිද්ධ සහතිකයක් ලබා දීම.
- දුෂ්කර ප්‍රදේශ හඳුනා ගැනීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා එකඟතාවයකට පැමිණීම. මන්ද වෛද්‍යවරුන් මුහුණ දෙන සැබෑ දුෂ්කරතා දන්නේ එම ප්‍රදේශවල සේවය කළ වෛද්‍යවරුන් මිස රජය හෝ සංගමයේ ඉහළ නිලධාරීන් නොවන බැවිනි.
වෛද්‍යවරුන්ගේ පහසුකම්: නිල නිවාස, ජලය, විදුලිය සහ ගමනාගමනය වැනි මූලික අවශ්‍යතා මෙන්ම, දරුවන්ගේ අධ්‍යාපනය, පවුලේ සාමාජිකයන්ගේ වගකීම් සහ රෝහලේ සේවක හිඟය වැනි කරුණු ද මෙහිදී වැදගත් වේ. වෛද්‍ය සේවය යනු හුදු කාර්යාල සේවයක් නොව මිනිස් ජීවිත බේරා ගැනීමකි. පහසුකම් නොමැතිව රෝගියෙකු මියගියහොත්, කුපිත වන ජනතාව ඉදිරියේ වෛද්‍යවරයාගේ හා ඔහුගේ පවුලේ අයගේ ජීවිත පවා අනතුරේ වැටේ.
අත්දැකීම් ඇසුරින්: වසර 4ක් දුෂ්කර කඳුකර රෝහලක එකම MBBS වෛද්‍යවරයා ලෙස, අවම සේවක පිරිසක් සහ පහසුකම් රහිතව මා අසරණ වූ වාර ගණන අනන්ත ය. රෝගියෙකු මියගියහොත් ඇති වන මරණ බිය පිළිබඳව මහජනතාව නොදන්නා නිසා ඔවුහු වෛද්‍ය සංහතියටම අපහාස කරති.
සාරාංශය: GMOA මාධ්‍ය සාකච්ඡා මඟින් ජනතාවට සත්‍යය පැහැදිලි කළ යුතු ය. රජය පවසන පරිදි යම් වරප්‍රසාද භුක්ති විඳින්නේ නම් ඒවා අත්හළ යුතුය. දෙපාර්ශ්වයම තමන්ගේ මාන්නය පසෙක තබා අසරණ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුය.
දෙපාර්ශ්වයම ‘බර අවි’ පාවිච්චි කර අසරණ ජීවිත මරුවාට ගොදුරු වුවහොත්, එම ජීවිත නැවත ලබා දීමට රජයට හෝ GMOA වෙත හැකියාවක් නැත. එම ගොදුර ඔබේම මව, පියා, දරුවා හෝ සමීපතමයෙකු විය හැකි බව මතක තබා ගන්න.
දෙපාර්ශ්වයම ‘බර අවි’ පාවිච්චි කර අසරණ ජීවිත මරුවාට ගොදුරු වුවහොත්, එම ජීවිත නැවත ලබා දීමට රජයට හෝ GMOA වෙත හැකියාවක් නැත. එම ගොදුර ඔබේම මව, පියා, දරුවා හෝ සමීපතමයෙකු විය හැකි බව මතක තබා ගන්න.
විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ