වාහනයක් ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ?

මීට දස වසරකට පමණ ඉහත දී මගේ මිතුරෙකු පැදවූ වෑන් රථයක් කැලණිය වරාගොඩ ආසන්නයේදී අනතුරට පත්විය. ඉන් ඔහු බරපතළ තුවාල ලැබූ අතර වෑන් රථයට ද තදබල ලෙස හානි විය.පසුව දැනගන්නට ලැබුණු අන්දමට මෙම අනතුරට හේතුව වී ඇත්තේ පාර හරහා කළු බළලෙකු පැනීම ය. මගේ මිතුරා ඒ බළලාගේ ජීවිතය බේරීමට දැරූ උත්සාහයේදී රථය පාලනය කරගත නොහැකිව එය අනතුරට පත්ව ඇත.
මුලදී රාගම මහ රෝහලට ඇතුළු කළ මගේ හිතවතා පසුව ඥාතීන් විසින් වත්තල පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදි. ඒ අනුව ඔහුගේ සුවදුක් බැලීම පිණිස එහි ගිය මම නිකමට මෙන් එම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව ඔහුගෙන් අසා සිටියෙමි. එහෙත්, එහිදී ඔහු කී දෙයකින් මගේ සිතට පිවිසියේ බලවත් විස්මයකි. ඔහු කී අන්දමට කළු බළලාගේ පාර පැනීම සිදුව ඇත්තේ රිය අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට කලින් සහ එය සිදු වූ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් එපිටදී ය. එමෙන්ම මගේ මිතුරාට ඉතා හුරුපුරුදු මාර්ගයක් වූ එහි, අනතුර සිදු වූ ස්ථානය නිශ්චයකොට දැක්වීමටද ඔහු අපොහොසත් විය.
සාමාන්‍යයෙන් මෙබඳු අනතුරක් නිසා සිදුවන මානසික ප්‍රකම්පනයකදී එම සිද්ධිය සේම ඊට පෙර පසු මතක තාවකාලිකව හෝ නිත්‍ය වශයෙන් මතකයෙන් ගිලිහී යාමට පුළුවන. ඒ අනුව අනතුර සිදුවූ ස්ථානය නිශ්චිතව පැවසීමේ හැකියාවක් මගේ හිතවතා සතුව නොතිබීම අරුමයක් නොවේ. නමුදු ඔහු කී අන්දමට කළු බළලා පාර පැනීම සහ අනතුර සම්බන්ධ පරස්පරතාව තවදුරටත් විමසා බැලිය යුතු යැයි මට සිතිණි.

වෑන් රථය අනතුරට ලක්වී ඇත්තේ මාර්ගයේ තරමක වංගු සහිත ස්ථානයක තාප්පයක ගැටීමෙනි. කාපට් ඇතිරීම නිසා මාර්ගයේ මතුපිට සුමට ස්වභාවයක් ගෙන තිබීම මත පැයට කිලෝමීටර් පහනක හැටක වේගයකින් වුව එම පාරේ වාහන ධාවනය කළ හැක. මාර්ගය ඊට වඩා පළලින් යුතු වී නම් එම වේගය තවත් වැඩි කරගැනීමට එහි වාහන පදවන රියදුරන්ට හැකිවනු ඇත.
අනතුර සිදුවූ ස්ථානයේ පදිංචිකරුවන් කී අන්දමට එය සිදුව ඇත්තේ ඉරු දිනයක පෙරවරු හතට පමණ ය. රියදුරුට නින්ද යාම හෝ හදිසියේ තිරිංග ක්‍රියාත්මක කිරීමකදී ලිස්සා යාම නිසා වාහනය මෙලෙස තාප්පයේ ගැටෙන්නට ඇතැයි ඔවුහු අනුමාන කළහ. එහෙත් එම අනතුරට අදාළ ‘කළු බළල් කතාව’ එම ප්‍රදේශවාසීන් නොදැන සිටියේ එය මගේ හිතවතාගේ ඥාති මිත්‍රාදීන් අතරේ පමණක් සන්නිවේදනය වූවක් බැවිනි.

එදා උදේ මම ගෙදරින් පිටත් වුණේ බිස්නස් වැඩකට යන්න. ඒත්,ගෙදරින් පිටත්වෙලා විනාඩි දෙක තුනක්වත් යන්න හම්බ වුණේ නෑ එකපාරටම වාහනේ ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නා. ඒක වුණේ මට හිතාගන්නවත් බැරි විදිහට. ඇත්තෙන්ම ඒ වෙලාවේ මගේ හිත සෑහෙන්න ගැස්සුණා. ඒ වගේම මම දැනගෙන හිටියා ඒක අසුබ පෙරනිමිත්තක් බව.

එවරෙඩි ලාංඡනයේ කලු බළලා

“එදා උදේ මම ගෙදරින් පිටත් වුණේ බිස්නස් වැඩකට යන්න. ඒත්,ගෙදරින් පිටත්වෙලා විනාඩි දෙක තුනක්වත් යන්න හම්බ වුණේ නෑ එකපාරටම වාහනේ ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නා. ඒක වුණේ මට හිතාගන්නවත් බැරි විදිහට. ඇත්තෙන්ම ඒ වෙලාවේ මගේ හිත සෑහෙන්න ගැස්සුණා. ඒ වගේම මම දැනගෙන හිටියා ඒක අසුබ පෙරනිමිත්තක් බව. ඒහින්දා වාහනේ ආපහු හරවාගෙන ගෙදර යනවද කියන හිතේ දෙගිඩියාවෙන් ඉස්සරහට යනකොට තමයි ඔය ඇක්සිඩන්ට් එක වුණේ.” පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මගේ මිතුරා කීය.
කිසියම් ගමනක් වනවිට කළු බළලෙකු පාර පැනීම කිනම් හෝ නපුරක්,අයහපතක් පිළිබඳ පෙරනිමිත්තක්ය යන විශ්වාසය අප රටට, සමාජයට පමණක් ආවේණික වූවක් නොවේ. මෙය අද වනවිට ලොව පුරා පැතිරගත් ජන විශ්වාසයකි. ඇමරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය ගොඩනැගිලිවල දක්නට ලැබෙන යක්ෂ බළලා (Demon cat) පිළිබඳ විශ්වාසය සහ මෙසේ පාර හරහා පනින කළු බළලුන් අතර විශ්වාසයේ යම් සබැඳියාවක් තිබේ දැයි මම නොදනිමි.

ඇමරිකාවේ ධවල මන්දිරයේ සහ කැපිටල් ගොඩනැගිල්ලේ වරින් වර දර්ශනය වූ බව පැවසුණු යක්ෂ බළලා අවතාරයක් මිස සත්‍ය බළලෙක් නොවේ. දහනව වන සියවසේ ආරම්භයේ පමණ සිට වරින් වර දර්ශනය වූ මෙම යක්ෂ බළලා මුල්කොට ඇමරිකානු ඉතිහාසයේ සුවශේෂී ඛේදවාචක සිදුවූ බවට සාක්ෂි තිබේ. ඒබ්‍රහම් ලින්කන්, ජෝන් එෆ් කෙනඩි යන ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ ඝාතනවලට පෙර දර්ශනය වූ මෙම යක්ෂ බළලාට එක්දහස් නවසිය හතළිහේ මුල් භාගයේ දෙවන ලෝක යුද සමයෙන් පසු සිදුවූ දෙයක් නැත. අද වනවිට හුදෙක් ඇමරිකානු සමාජය තුළ පවත්නා මිථ්‍යා විශ්වාස වලින් එකක් බවට පත්ව තිබේ. ඒ අනුව අද මෙය සැලකෙනුයේ ඇමරිකානු ජනකාන්ත මිථ්‍යා මතයක් ලෙස පමණි. නමුත් 1898 නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹූ ඇමරිකාවේ එවරෙඩි සමාගම 1930 දශකයේ දී එම බැටරි සඳහා නවයේ ඉලක්කමකින් පනින කළු බළල් රුවක් එක් කොට තිබිණ. ඒ බළලකුට පණ නවයක් ඇතැයි යන ජන විශ්වාසය මුල් කොට එවරෙඩි බැටරියේ බලය ලොවට කියා පෑමට විය යුතු ය.ඒ කෙසේ හෝ අප කුඩා කාලයේ අපගේ නිවස අද්දර නිවසක කළු පැහැති බළලකු සිටි අතර අපි ඌ “එවරෙඩි” යනුවෙන් හැඳින්වීමට පුරුදු ව සිටියෙමු.

අද සමාජයේ බොහෝ දෙනෙක් කඩපොළට යාම, පවුලේ වෛද්‍යවරයා හමුවට යාම වැනි කෙටි ගමන් සඳහාද තම වාහන භාවිතා කරති. එහෙත්, එදිනෙදා ජීවිතය හා සබැඳි කෙටි ගමන් බිමන්වලදී මෙම කළු බළල් අසුබ නිමිත්ත හෙවත් අනතුරු හැඟවීම එතරම් බලාත්මක වන බවක් දැනගන්නට නැත. ඒ අනුව මෙම කළු බළලාගේ පාර පැනීම යන ගමනේ අරමුණ සහ දුර ප්‍රමාණය අනුව සළකා බරපතළ ලෙස සැළකිල්ලට ගත යුතු බවක් පෙනේ.

කිසියම් ගමනක් යනවිට මාර්ගය ඉදිරියෙන් කළු බළලෙකු පැනීම අසුබ නිමිත්තක් වනුයේ බොහෝ විට වාහන ගමනාගමනයේදී පමණි. පයින් ගමනක් බිමනක් යනවිට බොහෝවිට දක්නට ලැබෙන මෙම කළු බළල් දර්ශනය එතරම් අසුබ එකක් සේ සළකනු නොලැබේ.ඒ අනුව ඉන් අනියමින් පැවසෙනුයේ මෙම කළු බළලාගේ අනතුරු හැඟවීම වාහන ගමනාගමනය හා සම්බන්ධ නූතන මිථ්‍යාවක් බව ය.
අද සමාජයේ බොහෝ දෙනෙක් කඩපොළට යාම, පවුලේ වෛද්‍යවරයා හමුවට යාම වැනි කෙටි ගමන් සඳහාද තම වාහන භාවිතා කරති. එහෙත්, එදිනෙදා ජීවිතය හා
සබැඳි කෙටි ගමන් බිමන්වලදී මෙම කළු බළල් අසුබ නිමිත්ත හෙවත් අනතුරු හැඟවීම එතරම් බලාත්මක වන බවක් දැනගන්නට නැත. ඒ අනුව මෙම කළු
බළලාගේ පාර පැනීම යන ගමනේ අරමුණ සහ දුර ප්‍රමාණය අනුව සළකා බරපතළ ලෙස සැළකිල්ලට ගත යුතු බවක් පෙනේ.
මගේ හිතවතා පැදවූ වාහනය ඉදිරියෙන් කළු බළලෙකු පාර පැනීම සහ ඊට ආසන්නතම මොහොතකදී එය අනතුරකට පත්වීම කිහිප අයුරකින් විස්තර කළ හැක. ඉන් පළමුවැන්න ඔහු වැදගත් වශයෙන් සැළකූ ව්‍යාපාරික කටයුත්තක් සඳහා වාහනය නිවසින් පිටතට ගෙන මඳ වේලාවකින් අසුබ නිමිත්තක් සේ සළකන කළු බළලෙකු පාර පනිනු දැකීම ය. ඉන් හටගත් මානසික ව්‍යාකූලත්වය පදනම් කරගෙන ඇති වූ අවිනිශ්චිතතාව මුල්කොට රියදුරකු සතුව තිබිය යුතු මාර්ග සංවේදීතාව එක් නිමේෂයක් තුළ අවප්‍රමාණ වීම මෙම අනතුරට හේතු වන්නට ඇත. තමන් ගමන් ගන්නා මාර්ගය ඉදිරියේ වූ කුඩා වංගුවක දී රථය පාලනය කරගත නොහැකිව එය ඉදිරියේ වූ තාප්පයක ගැටුණේ එබැවිනි.

දිවා කාලයේ කෙසේ වෙතත් රාත්‍රී කාලයේ කළු බළලුන් වාහන ඉදිරියෙන් පාර පැනීම නම් අසුබ තත්ත්වයක් බව ය. එහෙත්, ඒ එම බළලුන්ට මිස වාහන පදවන්නවුන්ට හෝ ඒවායේ ගමන් කරන්නවුන්ට නොවේ. ඊට හේතුව වාහන පදවන රියැදුරන් හට වාහනයේ සිරස් පහන් ආලෝකයෙන් එම කළු බළලුන් හරිහැටි දර්ශනය නොවීම ය.

එමෙන්ම මීට පෙර තමුන් අත්නොවිඳි අන්දමේ බිහිසුණු අනතුරකට මුහුණ දුන් මගේ හිතවතාට ඒ කම්පනය මුල්කොට ඊට පෙර තමන් දුටු අසුබ නිමිත්ත,
සංකේතාත්මක පරිකල්පයක් ලෙස පිබිද ව්‍යාජ මතකයක් සේ මතක ගබඩාවේ තැන්පත්වීමක් ලෙසද අර්ථකථනය කිරීමට පුළුවන.
ධාවනය කෙරෙන වාහන ඉදිරියෙන් කළු බළලුන් පාර පැනීම බිහිසුණු පෙරනිමිත්තක් බවට වන කළු බළල් මුලාව ( Black cat fallacy) නම් මිථ්‍යාව ලොව පුරා පැතිර ඇත්තේ මෙවන් සාධක මුල්කර ගනිමිනි.
මේ සියලු කරුණු පවසා අවසන් වශයෙන් තහවුරු කළ යුත්තක් ද තිබේ. එනම් දිවා කාලයේ කෙසේ වෙතත් රාත්‍රී කාලයේ කළු බළලුන් වාහන ඉදිරියෙන් පාර පැනීම නම් අසුබ තත්ත්වයක් බව ය. එහෙත්, ඒ එම බළලුන්ට මිස වාහන පදවන්නවුන්ට හෝ ඒවායේ ගමන් කරන්නවුන්ට නොවේ. ඊට හේතුව වාහන පදවන රියැදුරන් හට වාහනයේ සිරස් පහන් ආලෝකයෙන් එම කළු බළලුන් හරිහැටි දර්ශනය නොවීම ය.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්