ශබ්ද දූෂණය සහ මුතු රාජා සම්බන්ධ තායිලන්ත ආදර්ශය

2001 වසරේ සත් හැවිරිදිව සිටිය දී තායිලන්ත රජ පවුලේ තිළිණයක් ලෙස මෙරටට ලැබූ ආසියාවේ දිගම දළකාර ඇතකු වන මෙහි දී මුතුරාජා ලෙස නම් තැබුණු හස්තියා නැවත තායිලන්ත බලධාරීන් ගේ භාරයට පත්ව මේ වන විට දෙහිවල සත්වෝද්‍යානයේ සිටියි.ඒ අලුත්ගම කන්දෙ විහාරය භාරයට පත් මුතු රාජා ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ දී ලත් දරුණු වද හිංසා මත බරපතල ලෙස ගිලන් ව ඇති පසුබිමක ය.ඒ අනුව වසර විසි දෙකකට පසුව ඔහු ගේ විසි නව වන වියේ දී ලබන ජූලි පළමු වන දා මුතුරාජා නැවත තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත ය. ඒ සඳහා යොදා ගැනීමට නියමිත රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL-76 දරන භාණ්ඩ ප්‍රවාහන යානයේ ඒ සඳහා ඇති යෝග්‍යතාව ද තායිලන්ත බලධාරීන් විමසා ඇති බව දෙහිවල සත්වෝද්‍යාන නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂ රැඳවුමක බහා ඒ භාණ්ඩ ප්‍රවාහන යානයට ඇතුළු කරන මුතුරාජාට එතුළ දී අසන්නට ලැබෙන ශබ්දය කෙසේ ඔරොත්තු දේද යන්න විශේෂඥ මත ඇසුරින් විමසා බැලීමට පවා තායිලන්ත බලධාරීන් කටයුතු කොට ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙය බෙහෙවින් පැසසිය යුතු තත්වයකි.

අධික ලෙස ශබ්දය නිකුත් කිරීම නීතියේදී “ශබ්ද දූෂණය” ලෙස හඳුන්වයි.ශබ්ද දූෂණය වලක්වාලීම සදහා යොදා ගත හැකි පනත් ලෙස දණ්ඩ නීති සංග්‍රහය,අපරාධ නඩු විධාන සංග්‍රහය,පොලිස් ආඥා පනත හා ජාතික පරිසර අධිකරිය පනත යන පනත් පෙන්වා දිය හැකිය.ශබ්ද දූෂණය යනු “මහජන කරදරය ” යටතට අයත් වන තවත් එක් අංගයකි.මහජන කරදරය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තියේ අර්ථ නිරූපණය කර ඇත.ඒ අනූව මෙම වරදට වරදකරුවෙකු වන අයෙකුට මාස තුන දක්වා සිර දඩුවම් නියම කිරීමට අධිකරණයට බලය ඇත යන්න ඒ පිළිබඳ නීතමය අර්ථ කථනයයි.

ලෝකය යන මිනිසුන් ගෙන් සැදුම් ලත් මිනිසුන් සඳහාම වන භෞතික ව්‍යුහයක් ය යන්න ලෝකයේ අනාගත පැවැත්මට පවා බිහිසුණු අන්තරායක් ඇති කරන බරපතල මිථ්‍යාවකි.ඒ අනුව අප මේ මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් පොදු උරුමයක් ය යන ස්වභාවික යුක්තිය මත පදනම් වන සනාතන ධර්මතාවට අවනත විය යුතු මය.

අධික ශබ්දයෙන් මිනිසුන්ටත් වඩා පීඩා විඳින්නෝ ගෘහාශ්‍රිත සතුන් හා වනජීවීහු ය. තද නින්දක වෙසෙන බල්ලන් බළලුන් වැනි සතුන්ට ගසකින් වැටෙන කොලයක ශබ්දය පවා ඇසෙන බව නිරීක්ෂණය වී තිබේ.ඊට වඩා අඩු සූක්ෂම ශබ්ද තරංග පවා ග්‍රහණය කර ගැනීමේ ඉහළ ශ්‍රවණ හැකියාවක් ඇති සියලු ජීවීන් මිනිසුන්ට සාපේක්ෂව ශබ්ද නිසා වැඩි චර්යාත්මක ගැටලුවලට මුහුණ දෙන බව නොරහසකි.සුනාමි ,භූමි කම්පා,නාය යාම් වැනි ස්වාභාවික විපත් සූක්ෂම ශබ්ද තරංග ඔස්සේ මිනිසුන්ට කලින් ග්‍රහණය කර ගන්නා නිවෙස්වල සුරතල් සතුන් කලබල වීම, මුලුගැන්වීම හෝ උඩුබිරීම වැනි චර්යා පෙන්නුම් කරන්නේ එබැවිනි.එමෙන්ම රතිඤ්ඤා දැල්වීම් වැනි ඔවුනට දැරිය නොහැකි අධික ශබ්දයන්ට ඔවුන් දක්වන ප්‍රතික්‍රියාවක් ඔබට ද රහසක් නොවනු ඇත ඒ අනුව .”ශබ්ද දූෂණය යනු “මහජන කරදරය ” යටතට අයත් වන තවත් එක් අංගයකි.යන සංකල්පය නවීන ලෝකයට ගැලපෙන සේ සංශෝධනය විය යුතුමය.මක් නිසා ද අප ජීවත් වන පරිසරය කෙසේවත් මිනිසුන් ගේ තනි උරුමයක් පමණක් නොවන බැවිනි.

අධික ශබ්දය කුරුල්ලන් වැනි සතුන්ටත් දැරිය නොහැකි අතර ඇතැම් සතුන් ශබ්දය නිසා ඇතිවන ශ්‍රවණාබාධ හේතුවෙන් විලෝපිතයන්ට පහසුවෙන් ගොදුරක් වන අවස්ථා ද තිබේ. මේ හැරුණු විට බාහිර ශබ්දයන් නිසා ජීවීන්ගේ ප්‍රජනන කටයුතු සඳහා අවශ්‍ය ලිංගික සන්නිවේදන විරුද්ධ ලිංගිකයාට ඇසීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රජනනය කිරීමට නොහැකි වී සත්ව ගහනය අඩුවීමටද හේතු වේ. සත්ව සංඥා පද්ධතිය බිඳවැටීමෙන් අපට ආවේණික දුර්ලභ සතුන් වඳ වී යාමත් පරිසර පද්ධතියේ සමතුලිතතාවට අවශ්‍ය ඇතැම් සතුන් පහසුවෙන් නැතිවී යාමටත් ශබ්ද දුෂණය හේතු වෙන බව මින් පැහැදිලි ය. එමෙන්ම වනයේ කිහිප දෙනා වශයෙන් සැරිසරන වන අලින් නැවත සුවිසල් රංචුවක් ලෙස එකතු වීමට ද මෙම සූක්ෂම ශබ්ද තරංග ඉවහල් වන බව අනාවරණය වී තිබේ.

වර්තමානයේ මෙම ශබ්ද දූෂණයට අවිචාරවත් ශබ්ද විකාශන භාවිතය ද ඉවහල් වී තිබේ.අද බොහෝ උත්සව රැස්වීම් ආදියේ සත්ව විකාශන භාවිතය පිළිබඳව විමසා බැලීමේ දී පෙනී යනුයේ එය තරඟකාරී රැල්ලක් බවට පත්ව ඇති අයුරකි.මෙවන් ශබ්ද විකාශන භාවිතයන් මේ වන විට ලොව නොදියුණුම රටවල් කිහිපයකට සීමා වී තිබේ.ශ්‍රී ලංකාව ද ඉන් එක් රටකි.

ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමේ දී පොලිසියෙන් නීත්‍යානුකූලව බලපත්‍රයක් ලබාගත යුතුම ය. ජාතික උත්සවයක් පැවැත්වෙන ස්ථානයක දී හැර වෙනත් කිසිම අවස්ථාවක දී ස්ථානයක දී ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ග පුරා සවිකිරීමට අවසරයක් නොමැත.එහෙත් අද ඒම නීතිය කුණු කානු පල්ලේ ය. 2005/38 මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුව පදනම් කරගෙන පොලිස්පතිවරයා විසින් 2031/2007 චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එහි ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර පිළිබඳ උපදෙස් සහ නීතිමය කරුණු රැසක්ම එහි දක්වා තිබේ.මේ වන විට අමු අමුවේ උල්ලංඝනය කෙරෙන එම නීති මෙසේ ය.
කිසියම් පරිශ්‍රයක පැවැත්වෙන වැඩටසහනක් සඳහා ශබ්ද විකාශනය කිරීමට ඇම්ප්ලිෆයර්, හෝන්, බෆල් හෝ වෙනත් ආකාරයේ ශබ්ද උත්පාදන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සඳහා බලත්‍රයක් ලබාගත යුතු වෙයි. එලෙස ලබාගන්නා බලපත්‍රයේ කොන්දේසි ඇත. එම‌ කොන්දේසි අනුව සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර අදාල බලපත්‍රය ලබාගත් පරිශ්‍රය ඇතුළට හරවා සවිකළ යුතු අතර ඒවා පොළොවට අංශක 45ක ආනතියකින් සවිකිරීම අනිවාර්ය වෙයි. කිසිදු ශබ්ද විකාශන යන්ත්‍රයක් පරිශ්‍රයෙන් පිටතට හරවා සවි නොකළ යුතුය. පොළොවට සමාන්තරව  විහිදෙන ලෙස හෝ හෝ අහස දෙසට හරවා හෝ සවිකිරීමට අවසරයක් නැත. එමෙන් ම ශබ්දය විකාශය කරන කාලයේ දී මෙම ශබ්ද විකාශනය එම පරිශ්‍රය තුළට ඇසෙන තීව්‍රතාව ඩෙසිබල් 65 නොඉක්මවා තිබිය යුතු අතර පරිශ්‍රයෙන් පිටතට කිසිසේත්ම ශබ්දය ඇසෙන පරිදි සවි කිරීමට නීතිමය අවසරයක් නැත.ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමේ දී එම විකාශනය සඳහා තමන්ගේ අකමැත්තක් නැතැයි සවිකරනු ලබන සෑම ශබ්ද විකාශන යන්ත්‍රයක් වෙනුවෙන් ම වෙන වෙනම ප්‍රදේශවාසීන් 05 දෙනකුගේ සාක්ෂි සටහන් කරගෙන එම කරුණු ළඟම ඇති අධිකරණයට වාර්තා කර අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතුය.

මෑතක සිට අප රටේ ඇතැම් පූජනීය ස්ථානවල සිදුකෙරෙන අධික ඝෝෂාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය බාහිර සමාජයට සේම සත්ව ප්‍රජාව ඇතුළු හාත්පස පාරිසරික පද්ධතියට ද අහිතකර ලෙස බලපාන බව සනාථ වී තිබේ.එනිසා එම ස්ථානවල ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතය ඒවායේ ආගමික කටයුතුවල යෙදෙන්නවුන් උදෙසා පමණක් යොදා ගනිමින් එමගින් බාහිර සමාජයට සහ පරිසර පද්ධතීන්ට එල්ල විය හැකි බලපෑම් අවම කිරීමට පියවර ගන්නා ලෙස බුද්ධිමත් සමාජයෙන් කෙරෙන ඉල්ලීම් නිමක් නැත.එතෙත් ජාවාරම්කරණයට තතු වූ ආගමික ස්ථාන භාරකාරත්වයගේ බලය ඉහ වහා යමින් පවතින යුගයක ඒ සම්බන්ධ නව නීති සම්පාදනය කෙසේ වෙතත් පවතිනා නීති ද පොත් පත තුළ මුළුගැන්වී තිබෙනු දක්නට පුළුවන.ඒ අනුව අප පවසනුයේ ආසියාතික රටක් වන තායිලන්තයේ බලධාරීන් මුතුරාජා වෙනුවෙන් පළ කරන මෙම සංවේදිතාව ද ජාතියක් වශයෙන් අප ආදර්ශයට ගත යුතු බවකි.

රේණුකා ගමගේ

එතෙර - මෙතෙර