
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යන්නේ නිහඬව නොවේ; අප රටේ වැඩි පිරිසකගේ හදවත් තුළට අඩු වැඩි වශයෙන් සියුම් වේදනාවක් ද එක් කරමිනි. පසුගිය මාස කිහිපය තුළ, කෙටි කාලයක් ඇතුළත ඉන්ධන මිල සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙම පීඩනය පෙරට වඩා තදින්ම දැනී තිබේ.
බැලූ බැල්මට මෙය හුදෙක් දේශීය ආර්ථික ගැටලුවක් ලෙස පෙනෙන්නට තිබුණද, සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් වෙනස්ය. මෙම මිල ඉහළ යාමේ මූලයන් ශ්‍රී ලංකාවෙන් බොහෝ ඈත මැදපෙරදිග කලාපයේ දිගහැරෙන ගැටුම්කාරී තත්ත්වයක පවතී. මෙම ගෝලීය තත්ත්වය හේතුවෙන් ලොව පුරා බොහෝ රටවලට බලපෑම් එල්ල වී ඇතත්, ශ්‍රී ලාංකිකයන් සිය දකුණු ආසියාතික අසල්වැසියන්ට වඩා බෙහෙවින් ප්‍රබල බලපෑමකට මුහුණ දෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

මෑත කාලීන දත්තවලට අනුව, වත්මන් අර්බුදය හමුවේ තෙල් මිල සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය බොරතෙල් බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාමට හේතු වී තිබේ. මෙවැනි මිල ඉහළ යාමක් අසාමාන්‍ය දෙයක් නොවේ. ඓතිහාසිකව බලන විට, මැදපෙරදිග ඇති වූ සෑම ගැටුමක්ම පාහේ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමට මඟ පාදා ඇත. ඒ අර්ථයෙන් ගත් කල, අප අද අත්විඳින තත්ත්වය හුරුපුරුදු ගෝලීය රටාවක කොටසකි. කෙසේ වෙතත්, මෙම කම්පනය විවිධ රටවලට දැනෙන ආකාරය එක හා සමාන නොවේ.
මෑත කාලීන දත්තවලට අනුව, වත්මන් අර්බුදය හමුවේ තෙල් මිල සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය බොරතෙල් බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාමට හේතු වී තිබේ. මෙවැනි මිල ඉහළ යාමක් අසාමාන්‍ය දෙයක් නොවේ. ඓතිහාසිකව බලන විට, මැදපෙරදිග ඇති වූ සෑම ගැටුමක්ම පාහේ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමට මඟ පාදා ඇත. ඒ අර්ථයෙන් ගත් කල, අප අද අත්විඳින තත්ත්වය හුරුපුරුදු ගෝලීය රටාවක කොටසකි. කෙසේ වෙතත්, මෙම කම්පනය විවිධ රටවලට දැනෙන ආකාරය එක හා සමාන නොවේ.
දකුණු ආසියානු කලාපය පුරා මෙහි බලපෑම අසමාන ලෙස ව්‍යාප්ත වී ඇත. පාකිස්ථානය සිය ඉන්ධන මිල දළ වශයෙන් සියයට 20කින් පමණ ඉහළ නංවා තිබේ. ඉන්දියාව ඇතැම් තෝරාගත් අංශවලට පමණක් සුළු මිල වැඩිවීම් සිදු කරමින්, බොහෝ ඉන්ධන මිල ගණන් සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීමට සමත්ව ඇත. බංග්ලාදේශය ඉන්ධන හිඟයකට සහ විදුලි බිඳවැටීම්වලට මුහුණ දුන්නද, රජයේ මැදිහත්වීම් හරහා මිල ඉහළ යාම පාලනය කිරීමට උත්සාහ කර තිබේ. මෙයට ප්රතිවිරුද්ධව, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන සලාක ක්‍රම සහ වැඩ කරන දින සීමා කිරීම වැනි බලශක්ති සංරක්ෂණ ක්‍රමවේදයන්ට ද යොමු වීමට සිදු විය.

මෙම රටාවට සමාන නමුත් තරමක් අඩු මට්ටමක පවතින තත්ත්වයක් නේපාලයෙන් දැකගත හැකිය. එහි ඉන්ධන මිල සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, නේපාලයේ එදිනෙදා ජීවිතයට එල්ල වන සමස්ත බලපෑම තරමක් අඩු මට්ටමක පවතී. මීට හේතුව නේපාලය සිය විදුලි උත්පාදනයෙන් සියයට 90 සිට 95 දක්වා ප්‍රමාණයක් ජල විදුලියෙන් ලබා ගැනීම නිසා තෙල් මත පවතින යැපීම අවම වීමයි. භූතානය මෙයටත් වඩා ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ විදුලි උත්පාදනයෙන් සියයට 100කට ආසන්න ප්‍රමාණයක් ජල විදුලියෙන් ලැබෙන අතර, මෙයින් අදහස් කරන්නේ ලෝක තෙල් මිල ඉහළ යාම ඔවුන්ගේ විදුලි පිරිවැයට කිසිසේත්ම බලපෑමක් නොකරන බවයි. එහි බලපෑම සමස්ත ආර්ථිකයටම දැනෙනවා වෙනුවට ප්‍රධාන වශයෙන් ප්‍රවාහන අංශයට පමණක් සීමා වේ.
මෙහිදී බරපතළ ප්‍රශ්නයක් මතු වේ. අර්බුදය මුළු ලෝකයටම පොදු එකක් නම්, ශ්‍රී ලංකාව සිය අසල්වැසි රටවලට වඩා දැඩි සහ වේදනාකාරී මිල ඉහළ යාමකට මුහුණ දෙන්නේ ඇයි?
මීට පිළිතුර ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව ආනයනික ඉන්ධන මත දක්වන දැඩි යැපීමෙනි. පුළුල් පරාසයක සැපයුම්කරුවන් සිටින සහ ශක්තිමත් මූල්‍ය කතිකාවතක් ඇති ඉන්දියාව මෙන් නොව, ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන්නේ ඉතා සීමිත විකල්ප කිහිපයක් සමඟිනි. අර්බුදකාරී අවස්ථාවලදී ජාත්‍යන්තර වෙළඳපොළෙන් හදිසියේ ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වන අතර, එවැනි කෙටි කාලීන මිලදී ගැනීම් (Spot Purchases) ඉතා මිල අධිකය. විශේෂයෙන්ම ගෝලීය ඉල්ලුම ඉහළ ගොස් සැපයුම අවිනිශ්චිත වී ඇති අවස්ථාවක මෙම මිල ගණන් බෙහෙවින් ඉහළ යයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය මෙම ගැටලුව තවත් තීව්ර කරයි. ඉන්ධන මිලදී ගනු ලබන්නේ ඇමරිකානු ඩොලර්වලිනි. නමුත් 2022 ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ඩොලර් සංචිත තවමත් පවතින්නේ සීමිත මට්ටමකය. ශ්‍රී ලංකා රුපියල දුර්වල වීම නිසා, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම දේශීය වශයෙන් ඉතා විශාල පිරිවැයක් බවට පත්වේ. සරලවම කිවහොත්, අපට වැඩිපුර ගෙවීමට සිදුව ඇත්තේ තෙල් මිල ඉහළ යාම නිසා පමණක් නොව, අපේ මුදලේ අගය අඩු වීම නිසාය.
තවත් ව්‍යුහාත්මක ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් ඉන්ධන ගබඩා පහසුකම් නොමැති වීමයි. ඉන්දියාව වැනි රටවල් උපායමාර්ගික සංචිත පවත්වාගෙන යන අතර, එමඟින් මිල අඩු කාලයේදී තෙල් ගබඩා කර තබාගෙන අර්බුදකාරී අවස්ථාවලදී ඒවා භාවිත කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. නමුත් ශ්‍රී ලංකාවට එවැනි ‘ස්වාරක්ෂක ධාරිතාවක්’ (Buffering Capacity) නැත. ත්‍රිකුණාමලයේ පවතින විශාල ඉන්ධන ටැංකි ප්‍රමාණය භාවිතයට නොගෙන තිබීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි. එම ටැංකි අපතේ ගිය අවස්ථාවක් බඳුය. මේ රජය බලයට පැමිණෙද්දී ඒවා ප්‍රතිසංස්කරණය කර, ලෝක වෙළඳපොළේ මිල අඩු කාලයේදී තෙල් ගබඩා කර තැබීමටත්, ඇතැම් ටැංකි ඉන්දියාවට බදු දීමටත් යෝජනා ඉදිරිපත් වී තිබුණි. එවැනි උපායමාර්ගයක් ක්‍රියාත්මක වූයේ නම් සැපයුම ස්ථාවර කර ගැනීමටත් මිල උච්චාවචනය වීම් අවම කර ගැනීමටත් හැකි වනු තිබුණි. කෙසේ වෙතත්, එම සැලසුම් පූර්ණ ලෙස ක්‍රියාත්මක නොවීම හෝ ඒවා හුදෙක් දේශපාලන පොරොන්දුවලට පමණක් සීමා වීම නිසා ගෝලීය මිල වෙනස්වීම් හමුවේ රට දැඩි අවදානමකට ලක්ව තිබේ.

බලශක්ති උත්පාදනය තවත් තීරණාත්මක සාධකයකි. විශේෂයෙන්ම ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකාව ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය කෙරෙහි දැඩි ලෙස විශ්වාසය තබයි. මෙය ඉන්ධන මිල සහ විදුලි පිරිවැය අතර ඍජු සම්බන්ධයක් ඇති කරයි. ඉන්ධන මිල ඉහළ යන විට විදුලි උත්පාදන පිරිවැය ඉහළ යන අතර, එය රජයට මෙන්ම පාරිභෝගිකයාට ද විශාල පීඩනයක් ඇති කරයි. අනෙක් අතට, අනෙකුත් දකුණු ආසියාතික රටවල් විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. උදාහරණයක් ලෙස ඉන්දියාව සිය විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ගල්අඟුරු මඟින් සපුරා ගන්නා අතර බංග්ලාදේශය ස්වාභාවික වායු මත රඳා පවතී. මේ නිසා තෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ තරම් වේගයෙන් හෝ ගැඹුරින් ඔවුන්ගේ මුළු ආර්ථිකයටම බලපාන්නේ නැත.
නේපාලය සහ භූතානය වැනි දකුණු ආසියාවේ කුඩා රටවල් සමඟ සැසඳීමේදී මෙම වෙනස වඩාත් පැහැදිලි වේ. කලින් සඳහන් කළා සේ නේපාලය ශ්‍රී ලංකාවට වඩා ආර්ථික වශයෙන් කුඩා වුවද, ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 90 සිට 95 දක්වා අතිමහත් ප්‍රමාණයක් සපුරා ගන්නේ ජල විදුලියෙනි. භූතානය මුළුමනින්ම පාහේ, එනම් සියයට 100කට ආසන්නව බලය ලබන්නේ ජල විදුලියෙනි. මේ හේතුව නිසා ගෝලීය තෙල් මිල ඉහළ යාම ඔවුන්ගේ විදුලි පිරිවැයට සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වියළි කාලගුණික තත්ත්වයන් පවතින විට තෙල් මත පදනම් වූ විදුලි උත්පාදනය තවමත් ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මේ හරහා ඉන්ධන මිල ඉහළ යාම මුළු ආර්ථිකය පුරාම ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමට ඉඩ සලසයි.

සරලවම කිවහොත්, භූතානය සහ නේපාලය වැනි රටවලට තෙල් මිල ඉහළ යාමේ බලපෑම දැනෙන්නේ ප්‍රධාන වශයෙන් ඉන්ධන පිරවුම්හලේදී පමණි. නමුත් ශ්‍රී ලංකාවට එම බලපෑම ඉන්ධන පිරවුම්හලේදී මෙන්ම විදුලි බිල හරහා ද දැනෙන අතර, එය සමස්ත ආර්ථික බලපෑම වඩාත් ප්‍රබල කිරීමට හේතු වේ.
මෙය අපව වඩාත් වැදගත් මාතෘකාවක් වන ‘පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තිය’ වෙත යොමු කරයි. 2030 වන විට සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 70 දක්වා ඉහළ නැංවීමට වත්මන් රජය පොරොන්දු වී තිබුණි. න්‍යායාත්මකව ගත් කල, මෙමඟින් ආනයනික ඉන්ධන මත යැපීම අඩු කර ගෝලීය තෙල් මිල කම්පනවලින් රට ආරක්ෂා කරගත හැක. නමුත් බලධාරීන්ගේ කයිකතන්දර කෙසේ වුවත් එහි ප්‍රගතිය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් මන්දගාමී වී ඇත.
ප්‍රායෝගික තලයේදී, සූර්ය බලශක්ති ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම, විශේෂයෙන් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති, බාධා රැසකට මුහුණ දී තිබේ. පරිපාලනමය ප්‍රමාදයන්, නියාමන අවිනිශ්චිතභාවය සහ ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන තුළ පවතින ආයතනික ප්රතිරෝධයන් නිසා සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට විශාල බාධා මතු වී ඇත. දිරිගැන්වීම් වෙනුවට එල්ල වන මෙවැනි අභියෝග නිසා බොහෝ දෙනෙක් ඉන් ඉවත් වී සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉන්ධන මත යැපීම අඩු කළ යුතු කාලයකදී පවා ශ්‍රී ලංකාව තවදුරටත් ඉන්ධන බලාගාර මතම දැඩි ලෙස රඳා පවතී.
අමතක නොකළ යුතු තවත් කරුණක් වන්නේ බදු පැනවීමයි. ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු බදු සංරචකයක් අන්තර්ගත වේ. ලෝක වෙළඳපොළේ මිල ඉහළ යන විට, ඉන්ධන බදු අඩු කිරීමෙන් පාරිභෝගිකයාට යම් සහනයක් ලබා දීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත්, රජයේ ආදායම් අවශ්‍යතා මත එම බදු බොහෝ දුරට එලෙසම පවත්වා ගෙන යනු ලබයි. මෙයින් අදහස් වන්නේ පාරිභෝගිකයා ගෙවන අවසාන මිල ලෝක වෙළඳපොළ තත්ත්වයන් පමණක් නොව, දේශීය මූල්‍ය තීරණ මත ද තීරණය වන බවයි.
මේ සියලු කරුණු එකට ගෙන බලන විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වය මැදපෙරදිග යුදමය අර්බුදයෙන් ඔබ්බට ගිය එකක් බවයි. ලෝක තෙල් මිල ඉහළ යාම මෙයට මුල පිරුවද, එහි බලපෑමේ බරපතළකම තීරණය වන්නේ දේශීය සාධක මතය; එනම් සීමිත සංචිත, දුර්වල මුදල් ඒකකය, ඉන්ධන මත පවතින දැඩි යැපීම, පුනර්ජනනීය බලශක්තියේ මන්දගාමී බව, භාවිතයට නොගත් ගබඩා පහසුකම් සහ බදු ප්‍රතිපත්ති මීට හේතු වී ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාම අසාමාන්‍ය එකක්ද? ගෝලීය සන්දර්භය තුළ මැදපෙරදිග අර්බුදයක් පවතින විට ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍ය දෙයකි. කෙසේ වෙතත්, අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ මිල ඉහළ යාම පැහැදිලිවම අසාමාන්‍යය. එමෙන්ම එය ජන ජීවිතයට එල්ල කරන බලපෑම ද වැඩිය. මෙහි වෙනස ඇත්තේ අර්බුදය තුළ නොව, රටේ සූදානම් වීමේ මට්ටම සහ ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය තුළයි.
එසේ නම්, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාම අසාමාන්‍ය එකක්ද? ගෝලීය සන්දර්භය තුළ මැදපෙරදිග අර්බුදයක් පවතින විට ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍ය දෙයකි. කෙසේ වෙතත්, අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ මිල ඉහළ යාම පැහැදිලිවම අසාමාන්‍යය. එමෙන්ම එය ජන ජීවිතයට එල්ල කරන බලපෑම ද වැඩිය. මෙහි වෙනස ඇත්තේ අර්බුදය තුළ නොව, රටේ සූදානම් වීමේ මට්ටම සහ ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය තුළයි.
අවසාන වශයෙන්, මැදපෙරදිග ගැටුම විසින් බලශක්ති පිරිවැය ඉහළ යාමේ ගෝලීය රැල්ලක් නිර්මාණය කර තිබේ. එය සෑම රටකටම බලපාන නමුත් එම බලපෑම සෑම රටකටම එක හා සමාන නොවේ. ශ්‍රී ලංකාව සිය ව්‍යුහාත්මක දුර්වලතා සහ ඉටු නොවූ ප්‍රතිපත්තිමය අවස්ථාවන් නිසා සිය අසල්වැසියන්ට වඩා වැඩි අවදානමකට ලක්ව සිටී. අර්බුදය ආරම්භ වන්නේ ඈත රටක වුවද, එහි අමිහිරි ප්‍රතිඵල ඉන්ධන පිරවුම්හල් අසලදී, විදුලි බිල හරහා සහ ජීවන වියදම ඉහළ යාම තුළින් අපට වඩාත් තදින් දැනෙමින් පවතී.
නිරංජන් චාමින්ද කරුණාතිලක