ශ්‍රී ලංකේය හේතුවාදයේ පියා ඒබ්‍රහම් ටී කොවුර් බුදු සමයේ සතුරෙක් ද?

vinivida

මේ දිනවල සමාජ මාධ්‍ය ඇසුරු කරන්නවුන් හට නිරාගමික යන වදන කොතෙකුත් හමු වී තිබිය හැක.එමෙන්ම ඔවුන් සමාජ ජාල මඟින් විවිධ ආගමික විශ්වාස නිර්දය ලෙස විවේචනය කරන අතරේ ඔවුනට එරෙහි වන්නෝ එම නිරාගමිකයන් “නිරා “යන කෙටි සරදම් වදනින් හඳුන්වන අවස්ථා ද දක්නට පුළුවන .එමෙන්ම මෙම නිරාගමිකයන් හැඳින්වීම පිණිස අප රටේ බහුලවම යෙදෙන ඉංග්‍රීසි වදනක් ද වේ.එනම් Atheistic යන්න ය.එහෙත්, එහි සැබෑ අරුත වනුයේ අදේවවාදී යන්න මිස නිරාගමික යන්න නොවේ.නිරාගමික යන්න ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Irreistic යනුවෙනි.ඒ කෙසේ හෝ මේ වන විට ආගම් විරෝධී බලවේග ලොව බොහෝ සමාජයන් තුළින් පැන නැඟෙමින් තිබේ.ආගම් විරෝධය යනු ආගමික විශ්වාස සහ පිළිවෙත් කෙරෙහි ඇති විරෝධයයි.සමාජ සම්මත සංවිධානාත්මක ආගම් වලට මෙන්ම අසංවිධානාත්මක අධිස්වභාවික විශ්වාස වලට ද ජන සමාජයට හිතකර සේම අහිතකර ආගමික වත්පිළිවෙත් සහ ආගමික ආයතන යනාදියට ද එරෙහි වීම මෙම ආගම් විරෝධයට අයත් වේ. මාක්ස්–ලෙනින්වාදී සෝවියට් සංගමය විසින් ආගම් වල වර්ධනයට එරෙහි වීම සඳහා රාජ්‍ය අදේවවාදය නම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට තිබේ.නමුත් අප රටේ රාජ්‍ය පිළිවෙත ඊට ඉඳුරාම වෙනස් ය.

නමුත් මෙම ආගම් විරෝධය සහ ප්‍රතිදේවවාදය ( Antitheism ) එකි`නෙකට වෙනස් වේ. ප්‍රතිදේවවාදීන් දෙවියන්වහන්සේ සහ වෙනත් දිව්‍යමය භූතාර්ථ විශ්වාස කිරීමට පමණක් එරෙහි වන අතර, ආගම් විරෝධීහු ඊට වඩා පුළුල් වූ අන්‍ය ආගමික විශ්වාස වලටද එරෙහි වෙති. ආගම් විරෝධීන් අතර අදේවවාදීන් හෝ ප්‍රතිදේවවාදීන් සිටිය හැකි මුත්, අදේවවාදීන් සහ ප්‍රතිදේවවාදීන් සියල්ලෝම ආගම් විරෝධීහු නොවෙති. නමුත් බුදු සමය දේවවාදී හෝ අදේවවාදී දහමක් නොවේ.මානව විදාඥයන් විසින් එය විස්තර කරනුයේ දේවවාදී නොවන (Nontheistic ) දහමක් ලෙස ය.ඊට හේතු වනුයේ බුදු දහමේ ක්ෂාරය තුළ ඒක හෝ බහු දේවවාදයක සළකුණක් වත් නොතිබීම ය.

හේතුවාදය සහ හේතුඵලවාදය අතර පවත්නා නාමික සමාන බව ද අප මෙහි දී සැලකිල්ලට ගත යුතු වේ. නමුදු අද වන විට සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයෙන් සියයට අනූවකටත් වඩා සිතනුයේ හේතුවාදය ආගම් විරෝධී චින්තන ධාරාවක් බව ය.ඊට හේතුව ඔවුන් නිරාගමික බව හා ආගම් විරෝධය එකි`නෙක පටලවා ගැනීම නිසා ය. එය ද බලවත් මුලාවකි.

හේතුඵලවාදය හෙවත් පටිච්ච සමුප්පාදය යන්න හඳුන්වා දෙන ඉංග්‍රීසි වදන Causality යන්න ය.හේතුඵලවාදය පිළිබඳව කතා කරන විට ඊට අතිශයින් සමාන්තර ගමනක යන නිරාගමික චින්තන ධාරාවක් වන හේතුවාදය පිළිබඳව ද සඳහන් කළ යුතුය.හේතුවාදය සහ හේතුඵලවාදය අතර පවත්නා නාමික සමාන බව ද අප මෙහි දී සැලකිල්ලට ගත යුතු වේ. නමුදු අද වන විට සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයෙන් සියයට අනූවකටත් වඩා සිතනුයේ හේතුවාදය ආගම් විරෝධී චින්තන ධාරාවක් බව ය.ඊට හේතුව ඔවුන් නිරාගමික බව හා ආගම් විරෝධය එකි`නෙක පටලවා ගැනීම නිසා ය. එය ද බලවත් මුලාවකි.

හේතුවාදය යන Rationalism ඉංග්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා වී අවසානයේ මෙම හේතුවාදය යන වදන ඒ සඳහා යෙදී ඇත්තේ අඩමානයට මෙනි. කෙසේ හෝ අද වන විට එය හේතුවාදය වශයෙන්ම සිංහල බසෙහි පැලපදියම් වී තිබේ.Rationalism.යන ඉංග්‍රීසි වදන සඳහා ලොව පිළිගත් අරුත් ගැන්වීම් දෙකක් තිබේ.

ඒ මෙලෙසිනි.

1. නිගමනයන් හෝ ක්‍රියාවන් ආගමික විශ්වාසයන් හෝ භාවාත්මක ප්‍රතිචාරයන් ම නොව තර්කය සහ දැනුම මත පදනම් විය යුතුය යන විශ්වාසය හෝ න්‍යාය

2. දැනුමෙහි නිශ්චිත පදනම අත්දැකීම් මත නොව තර්ක බුද්ධිය මත පිහිටිය යුතු ය යන න්‍යාය

ඒබ්‍රහම් තෝමස් කොවුර්

කෙසේ හෝ ශ්‍රී ලාංකීය හේතුවාදයේ පියා වශයෙන් සැලකෙන එහි සමාරම්භක සභාපති ඒබ්‍රහම් තෝමස් කොවුර් විසින් එක්දහස් නවසිය හැටේ දශකයේ ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පිහිටුවීමත් සමඟ එය සියලු ආගමික සංස්කෘතික සාරධර්ම පද්ධතීන් නිශේධනය කරන ශූන්‍යතාවාදයක් ( Nihilism) යන මතය රට පුරා පැතිර ගොස් තිබේ. නමුත් එය මුළුමනින් සාවද්‍ය වූවක් බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් ශ්‍රී ලාංකීය හේතුවාදයේ පියා වශයෙන් සැලකෙන එහි සමාරම්භක සභාපති ඒබ්‍රහම් තෝමස් කොවුර් ගේ චරිතාපදානයෙන්ම ලබා ගත හැක.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය කොවුර්ගේ මෙම අගනා අදහස් දැක්වීමට මුල පිරෙනුයේ පරගම්මන සිරිල් විජේසිංහ නම් මහතකු 1968 ඔක්තෝබර් හත්වන දා ‘සිලෝන් ඔබ්ස්වර්’ පුවත්පත සඳහා ලියනු ලැබූ ලිපියකි. විජේසිංහ මහතාගේ ලිපිය මෙලෙසිනි.
“පුනරුත්පත්තිය, කර්මය, බුද්ධත්වය ආදී සියලු ආගමික විශ්වාසයන් හේතුවාදය මගින් ප්‍රතික්ෂේප වන බව අප රටේ හිඳින ප්‍රමුඛතම හේතුවාදියා වන ඒබ්‍රහම් ටී. කොවුර් මහතා නොබෝදා දේශනයකදී සඳහන් කොට ඇත.ඔහුගේ එම ප්‍රකාශය වෙත මගේ අවධානය යොමුව තිබේ. ඒ ඔහුගේ හේතුවාදී සංගමයේ නිලධාරීන්ගෙන් වැඩි දෙනකු බොදු වත් පිළිවෙත් අනුගමනය කරන්නවුන් බව මා පෞද්ගලිකව දන්නා නිසාය. (කොවුර් මහතා කෙසේ කීව ද) මෙම මහතුන්ට පුනරුත්පත්තිය ආදී ආගමික විශ්වාස පරම සත්‍යයක් මිස බොරු නොවේ.ඒ අනුව මෙම විෂයය පිළිබඳව කොවුර් මහතා දරන ස්ථාවරය පිළිබඳව මෙම මහත්වරුන් සිතනුයේ කුමක්ද ? යන්න දැන ගැනීම අපට වැදගත් වනු ඇත. මේ සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ සමාජයෙන් ‘මිථ්‍යා විශ්වාස’ දුරු කරලීමට පෙර ඒවා තම සාමාජිකයන් වෙතින් ඉවත් කිරීම ශ්‍රී ලංකා හේතුවාදී සංගමයට වඩාත් ඵලදායී විය හැකි බව ය’.(උපුටා දැක්වීම අවසන් )

සිරිල් විජේසිංහ මහතාගේ මෙම අභියෝගාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් එවක ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මගින් ප්‍රකාශිත The Ceylon Rationalist Ambasidor ලිපි කළඹ මගින් ආචාර්ය කොවුර් දී ඇත්තේ මෙබඳු අතිශය සහනශීලී පිළිතුරකි.

’හේතුවාදය මගින් සියලු ආගමික විශ්වාස ප්‍රතික්ෂේප වන බව මෑතකදී මා ප්‍රකාශ කළ බවක් විජේසිංහ මහතා පවසා ඇත. මා කිසිවිටෙකත් එබඳු ප්‍රකාශයක් කොට නැත.එපමණක් නොව මගේ ප්‍රකාශය වාර්තා කළ පුවත් පතේ ද එවැන්නක් සඳහන්ව නැත.කිසිදු ආගමක යහපත්, සාදාචාරාත්මක අංග ප්‍රතික්ෂේප කිරීමට හේතුවාදීන්ට අවශ්‍ය නැත. ඔවුහු එසේ නොකරති. ඔවුන් පසුබට නොවනුයේ ආගම් හා සබැඳුණු මිථ්‍යා විශ්වාස ප්‍රතික්ෂේප කිරීමට පමණි. අනෙක බොහෝ ආගම් වලින් ඉදිරිපත් කෙරෙන යහපත් සදාචාරාත්මක ඉගැන්වීම් එම ආගම්වල ඒකාධිකාරයන් නොවන බව ද හේතුවාදීහු දනිති.එනිසා ඒවා ආගම් හා සබැඳුණු මිථ්‍යාවන් හා කලවම් කර නොගන්නා හේතුවාදීහු ඇතැම් ආගමික භක්තිමතුන්ටත් වඩා හොඳින් එම සදාචාර ධර්ම පිළිපඳිති’.

එසේ පවසන ආචාර්ය කොවුර් එහි මෙසේ ද සඳහන් කර ඇත.‘ශ්‍රී ලංකා හේතුවාදී සංගමය එම අරමුණු හා එක්වන සැමට එක සේ විවෘත ප්‍රජාතාන්ත්‍රික ප්‍රජා ව්‍යුහයකි.දැනට ගුප්ත අන්ධකාරයේ ගිලී ඇති තර්කයටත්, විමර්ශනයටත් ලක් කළ හැකි සෑම දෙයක් කෙරෙහිම සංවිධානශීලී වීම එහි මූලික අරමුණු අතර වෙයි …. එමෙන්ම ජාති,ආගම්, කුල ආදිය මුල් කර ගනිමින් සමාජීය, දේශපාලනික, ආර්ථිකමය වශයෙන් මානව සංහතියේ අභිවෘද්ධියට එරෙහිව සිදුකෙරෙන නොවිධිමත් බලපෑම්වලට විරෝධය පෑම ද සංගමයේ අරමුණකි. ලෞකික ( Secular) වූ ආචාර ධර්මීය විනයවත් අධ්‍යාපනයක් තුළින් බුද්ධිමත්,සදාචාරාත්මක පුරවැසියන් සමාජයට දායක කරවීම සංගමයේ අරමුණ ය.ලංකා හේතුවාදී සංගමයේ සියලු සාමාජිකයෝ මෙම පොදු අරමුණු උදෙසා ක්‍රියා කරති.අන් බොහෝ අය සේම අප සාමාජිකයෝ ද කුඩා වියේ සිට ආගම්වල නාමයෙන් විවිධ අන්ධ මිථ්‍යා විශ්වාස මගින් හැසිරවුණු මනැස්වලින් යුක්ත වූවෝ වෙති. අපගේ අරමුණ වනුයේ ඒ තුළින් මුදා ගන්නා ඔවුන් හේතුවාදී චින්තනයට යොමු කිරීම ය. මෙහි දී ආගම් වලින් මෙන් ඔවුන්ගේ සිතීමේ හා විමසීමේ නිදහසට අප විසින් වැට කඩොලු බඳිනු නොලැබේ. ඒ අනුව ඇත්තෙන් නැත්ත වෙන්කර ගැනීමට ඇති හැකියාව මත එම මිථ්‍යා විශ්වාස එකි`නෙක දුරු කර ගැනීමට ඔවුනටම හැකියාව ලැබෙනු ඇත. එබැවින් හේතුවාදී සංගමයේ සාමාජිකයන් ආගම් විශ්වාස මුලිනු`පුටා දැමිය යුතුය යන විජේසිංහ මහතාගේ උපකල්පනය හුදු සාවද්‍ය එකක් බව කිව යුතුය. ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සාමාජිකයන් වැඩි දෙනකු බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන බව විජේසිංහ මහතා පෞද්ගලිකව දැන හිඳින්නට පුළුවන. එය අපට ප්‍රශ්නයක් නොවේ. එමෙන්ම ලෝකය මැවූ සර්වබලධාරී දෙවියකු පිළිබඳවත්, මරණින් මතු ඉවත්ව යන ආත්මයක් පිළිබඳවත් සංකල්ප මුළුමනින්ම බැහැර කොට ඇති බුදු දහමින් ශේෂ වී ඇති බුද්ධාගම දැනට පවත්නා සෙසු ආගම් අතුරින් වඩාත්ම හේතුවාදී ආගම බව ද කිව යුතුය. එමෙන්ම සෙත් කවි, නැකත්, පිරිත්,පුනරුත්පත්තිය, ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක, ධාතු වන්දනා, බෝධි පූජා, යක්ෂ, ප්‍රේත විශ්වාස සූනියම්, නැකත් ආදී බුදු දහමේ මූලික හරයනට අයත් නොවන දේ නූතන බෞද්ධයන් එහි මූලික ඉගැන්වීම් ලෙස පිළිගන්නා බව ද හේතුවාදීහු හොඳින් දැන අවබෝධ කරගෙන හිඳිති.”(උපුටා දැක්වීම අවසන්)

ආචාර්ය කොවුර් සඳහන් කළ අන්දමට සෙත් කවි, නැකත්, පිරිත්,පුනරුත්පත්තිය, ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක, ධාතු වන්දනා, බෝධි පූජා, යක්ෂ, ප්‍රේත විශ්වාස සූනියම්, නැකත් ආදිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ තැනැත්තා ගේ බෞද්ධකම ගිලිහී යනු ඇතැයි බොහෝ දෙනෙක් සිතති.එහෙත් මේ වන විට ලෝකයේ දියුණු ජන සමාජයන් තුළ ප්‍රවර්ධනය වෙමින් පවත්නා ලෝකායත බුදු සමය ( Secular Buddhism ) තුළ ද මේ ආගමික අංග කිසිවක් නැත.ලෝකායත බුදු සමය යනු මිනිසා ගේ මෙලොව යහපැවැත්මට ඉවහල් වන ප්‍රායෝගික සහ සදාචාරාත්මක දර්ශනයකි. එය මූලික බුද්ධ දේශනා වල හරය පදනම් ව මිනිසා ගේ ලෞකික යහපැවැත්ම තහවුරු කර ගත හැකි දියුණු මානවීය චර්යා පද්ධතියකි.

ඉහත සඳහන් ලිපිවල සිංහල පරිවර්තන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මගින් සංස්කරණය කරන ලද හේතුවාදී සංදේශය කෘතියෙහි ද සඳහන් වී ඇත. 1974 වසරේ මුල් වරට සංස්කරණය වූ හේතුවාදී සංදේශයේ ද්විතිය සංස්කරණය අජිත් තිලකසේන සූරීන් විසින් යාවත්කාලීන අංග ද එක්කොට 2004 වසරේ යළි සංස්කරණය කොට තිබේ.
ආචාර්ය කොවුර් සඳහන් කළ අන්දමට සෙත් කවි, නැකත්, පිරිත්,පුනරුත්පත්තිය, ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක, ධාතු වන්දනා, බෝධි පූජා, යක්ෂ, ප්‍රේත විශ්වාස සූනියම්, නැකත් ආදිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ තැනැත්තා ගේ බෞද්ධකම ගිලිහී යනු ඇතැයි බොහෝ දෙනෙක් සිතති.එහෙත් මේ වන විට ලෝකයේ දියුණු ජන සමාජයන් තුළ ප්‍රවර්ධනය වෙමින් පවත්නා ලෝකායත බුදු සමය ( Secular Buddhism ) තුළ ද මේ ආගමික අංග කිසිවක් නැත.

ලෝකායත බුදු සමය යනු මිනිසා ගේ මෙලොව යහපැවැත්මට ඉවහල් වන ප්‍රායෝගික සහ සදාචාරාත්මක දර්ශනයකි. එය මූලික බුද්ධ දේශනා වල හරය පදනම් ව මිනිසා ගේ ලෞකික යහපැවැත්ම තහවුරු කර ගත හැකි දියුණු මානවීය චර්යා පද්ධතියකි.

ආගමික නොවන ප්‍රවේශයක් වන ලෝකායත බුදු සමය සම්ප්‍රදායන් කෙරෙහි එල්බ නොගෙන ප්‍රායෝගික ප්‍රඥාව සහ මානසික පුහුණු අංශ කෙරෙහි අවධානය යොමු කරයි. පුද්ගල,පවුල්,ප්‍රජා සහ සමාජමය වශයෙන් පැවතිය යුතු වගවීම හා වගකීම,යථා භූත ඥානය,සියළු මිනිසුන් හා සතුන් කෙරෙහි පැතිර ගත් දයානුකම්පාව පාරිසරික සාධක පදනම් වන සහනශීලීත්වය ඇතුළු සෙසු මූලික බෞද්ධ මූලධර්ම ලෝකායත බුදු සමය මඟින් අවධාරණය කෙරේ.එමෙන්ම බුදුන් වහන්සේ යනු දෙවියන් වහන්සේ වැනි කිසිදු ලෙසකින් යථාර්ථවාදී ලෙස ග්‍රහණය නොවන මනෝ මූලික චරිතයක් ලෙස නොව පරමාදර්ශී ඓතිහාසික පුද්ගලයෙකු ලෙස අවධාරණය කෙරේ.එය බුද්ධ දේශනා මඟින් ද මනාව අවධාරණය කෙරෙන්නකි.ඒ අනුව ලෝකායත බෞද්ධයන් විශ්වාස කරන්නේ එම වෙනස සඳහා තමන්ව පරිවර්තනය කර ගැනීම පමණක් නොව, සියල්ලන්ගේම යහපැවැත්ම ප්‍රවර්ධනය කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා තම ජීවිත වලින් සැලකිය යුතු කොටසක් අනිවාර්‍යයෙන් කැප කළ යුතු බවකි.වර්තමානයේ කවුරුන් කෙසේ සිතුව ද සැබෑ හේතුවාදියා යනු ආගමික ඉගැන්වීම් සහ එහි සදාචාරාත්මක අංග වහකදුරු කරගත් ආගම් විරෝධියකු නොව පවත්නා සියළු තත්වයන් කෙරෙහි සහනශීලී ආකල්ප දරන්නකු බව වටහා ගැනීමට ආචාර්ය කොවුර්ගේ ඉහත සඳහන් ප්‍රකාශයම ප්‍රමාණවත් වෙතැයි මට සිතේ.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර