සචින් ගේ පුත් අර්ජුන් විවාහ ගිවිස ගනියි

සචින් තෙන්දුල්කාර් ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් පසුගිය සතියේ මාධ්‍ය තුළ ලොකු මාතෘකාවක් බවට පත්ව සිටියා. ඊට හේතු වුණේ ඔහු විවාහ ගිවිස ගැනීම යි.

මේ වනවිට 25 වැනි වියෙහි පසුවන අර්ජුන් විවාහ ගිවිස ගත්තේ සානියා චන්දෝක් නැමැති තරුණියක සමග යි. 26 වැනි වියෙහි පසුවන ඇය ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්. ඔවුන් ගේ ව්‍යාපාර ප්‍රධාන වශයෙන්ම පැතිරී ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය වැනි සුපිරි හෝටල ඔවුන් සතු බව පැවසෙනවා.

අර්ජුන් ගේ විවාහ ගිවිස ගැනීමත්, ඔහුගේ පියාගේ විවාහයත් අතර යම් යම් සමානකම් පෙන්වා දීමටත් ඇතැම් මාධ්‍ය කටයුතු කර තිබෙනු දැකිය හැකි වුණා. සචින් විවාහ වී සිටින්නේ ළමා රෝග වෛද්‍යවරියක වූ අංජලී මේතා සමග යි. සචින් විවාහ වෙද්දී ඔහුටත් වැඩි වයසක් නැහැ. අංජලී විවාහ කර ගැනීමට තමා තුළ අදහසක් ඇති බව සචින් ඇයගේ මව්පියන්ට පවසා ඒ සඳහා ඔවුන්ගේ අවසරය ඉල්ලද්දී ඔහු පසු වූයේ 19 වැනි වියේ යි. ඉන්පසු ඔහු අංජලී සමග විවාහ වෙද්දී වයස අවුරුදු 22 ක් පමණ යි.

අර්ජුන් ගේ ආදරවන්තිය සානියා අර්ජුන්ට වඩා වසරකින් වැඩිමල්. අංජලීත් සචින්ට වඩා වැඩිමල් වන අතර ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 5 කුත් මාස 5 ක්.අර්ජුන් සහ සානියා අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය වැඩි ප්‍රසිද්ධියක් නැතිව ඉතා චාම් ආකාරයෙනුයි පවත්වා තිබුණේ. මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට ඊට සහභාගි වී තිබුණේ පවුල්වල අය සහ ඔවුන්ට සමීපම කිහිප දෙනෙකු පමණයි.

අර්ජුන් ගේ ආදරවන්තිය සානියා අර්ජුන්ට වඩා වසරකින් වැඩිමල්. අංජලීත් සචින්ට වඩා වැඩිමල් වන අතර ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 5 කුත් මාස 5 ක්.

අර්ජුන් සහ සානියා අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය වැඩි ප්‍රසිද්ධියක් නැතිව ඉතා චාම් ආකාරයෙනුයි පවත්වා තිබුණේ. මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට ඊට සහභාගි වී තිබුණේ පවුල්වල අය සහ ඔවුන්ට සමීපම කිහිප දෙනෙකු පමණයි.

සචින් සිය පවුල සමග

අර්ජුන් සහ සානියා දිගු කලෙක සිටම මිතුරන් වූ බවත් පැවසෙනවා. සානියා අර්ජුන්ගේ සොහොයුරිය වන සාරාගේත් සමීප මිතුරියක්.

අර්ජුන් සිය පියාගේ අඩි පාරේ යමින් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටියත් තවමත් එහි ශක්තිමත් ස්ථාවරයක් ඇති කර ගැනීමට සමත් වී නැහැ. සචින් ලෝක පූජිත වූයේ පිතිකරුවකු ලෙස වුවත් අර්ජුන් පන්දු යවන්නකු හැටියටයි ක්‍රීඩා කරන්නේ. ඔහු වමත් වේග පන්දු යවන්නෙක්.

ඔහුට තවමත් ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබී නැහැ. ගෝව ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අර්ජුන් දේශීය ක්‍රිකට් තරගාවලිවලට සහභාගි වෙනවා. පසුගිය කාලයේ ඔහු අයි.පී.එල්. තරග කිහිපයකටත් සහභාගි වුණා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කරමින්.

අර්ජුන් ගේ පෙම්වතිය සානියා ගැනත් පසුගිය දිනවල මාධ්‍ය තුළ බොහෝ තොරතුරු පළ වී තිබුණා. ඇය සතුන් පිළිබඳ විශාල කරුණාවක් දක්වන කෙනෙකු බවයි සඳහන් වන්නේ. සත්ව සුබසාධන ක්ෂේත්‍රයේ ඇය වෘත්තීය සුදුසුකම් ලබා සිටින කෙනෙක්.

අර්ජුන් සහ සානියා

සතුන් වෙනුවෙන් සේවා සපයන ස්පා (Spa) ආයතනයක් ද ඇය ආරම්භ කර තිබෙනවා. එය හැඳින්වෙන්නේ Mr. Paws Pet Spa & Store යනුවෙන්. සානියා මෙම ආයතනය ආරම්භ කර තිබුණේ 2022 වසරේ යි. ඇය ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ උපාධිධාරිනියක් බවත් සඳහන්.

අර්ජුන් තෙන්දුල්කාර් පවුලේ බාලයා යි. ඔහුට වැඩිමල් සහෝදරියක සිටින අතර ඇගේ නම සාරා. ඇගේ වයස අවුරුදු 27 ක්.

සාරා පෝෂණවේදය පිලිබඳ උපාධිධාරිනියක්. ඇය එම උපාධිය ලබා ගෙන තිබෙන්නේ ලන්ඩනයේ විශ්වවිද්‍යාලයකින්. සාරා සමාජ මාධ්‍ය තුළත් බෙහෙවින් ජනප්‍රිය සහ ක්‍රියාකාරී කෙනෙකු වන අතර ඒ තුළ මිලියන ගණනක් ඇයගේ රසික රසිකාවියන් බවට පත්ව සිටිනවා.

ඇය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් කටයුතු කරන කෙනෙක්. ඇය විසින් ආරම්භ කරන ලද එක්තරා ආයතනයක් ගැන පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම ආයතනයේ නම Pilates Academy X Sara Tendulkar. මෙය ශාරීරික මානසික සුවතාව පිළිබඳ ආයතනයක් බවයි සඳහන් වන්නේ. මීට ටික දිනකට පෙර මෙම ආයතනය විවෘත කිරීමේ උත්සවයට ඇගේ පවුලේ අය මෙන්ම අර්ජුන් ගේ පෙම්වතිය සානියාත් සහභාගි වී සිටිනු දැකගන්නට ලැබුණා.

සාරා ගේ ආදර සම්බන්ධතා ගැනත් පසුගිය කාලයේ නොයෙකුත් කතන්දර පළ වුණා. ඉන්දියාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ෂුබ්මන් ගිල් සහ සාරා අතර ආදර සම්බන්ධයක් ඇති බවටත් මෙයට ටික කලකට පෙර ආරංචි පැතිරුණා. 2019 වසරේ සිට ඉන්දියාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ගිල් මේ වනවිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයත් දරනවා. රෝහිත් ෂර්මාගෙන් පසු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ ඔහු යි.

කෙසේ නමුත් මෙයට මාස කිහිපයකට පෙර ප්‍රකාශයක් කරමින් ගිල් පවසා තිබුණේ මේ වනවිට තමා සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගැන අවධානය යොමු කරන බව සහ කිසිවකු සමග ආදර සම්බන්ධයක් නොපවත්වන බව යි.

සාරා සහ බොලිවුඩ් නළු සිද්ධාන්ත් චතුර්වේදි අතර සම්බන්ධයක් තිබූ බවත් පැවසෙනවා. නමුත් එය වැඩි කල් නොපැවතුණු බවයි සඳහන් වන්නේ. සති කිහිපයක ඇසුරකින් පසු ඔවුන් මෙම සම්බන්ධය නතර කර තිබූ බව මාධ්‍ය වාර්තාවල දැක්වුණා. නමුත් ඊට හේතුවක් ගැන කිසිවක් සඳහන් වුණේ නැහැ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්