සත්ව අවිහිංසාව ආගමික සංස්කෘතික උරුමයක් නොවේ. එය දියුණු මානව ලක්ෂණයකි

ශ්‍රී ලාංකේය අපට සත්ව අවිහිංසාව උරුම වන්නේ ආගමික සහ සංස්කෘතිකමය ධාරාව තුළ පමණි. නොඑසේ නම් විෂයානුබද්ධව අපට සත්ව හිමිකම්, සත්ව අවිහිංසාව, සත්ව සුබසාධනය පිළිබද සංකල්ප ආදිය අපේ දැනුම් පද්ධතිය තුළ හෝ සමාජීය විඥානයට ඇතුළු වී නැත. එයට හොදම උදාහරණය වන්නේ ලංකාවේ පශූ වෛද්‍ය විද්‍යාව හදුන්වා දීමට තුඩු දුන් කාරණයයි.

එක් වකවානුවක ශ්‍රී ලංකාවේ foot and mouth decease (මුඛ හා කුර රෝගය) යනුවෙන් නම් කරන ලද රෝගයක් හදුන් ගන්නට ලැබුණු අතර එය වැළදුණු සතුන්ට පිළියම් කරනු පිනිස විදේශීය පශූ වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් පශූ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව අප රට තුළ ආරම්භ කෙරිණි. එදා මෙදා තුළ තවමත් අප රට තුළ පශූ වෛද්‍ය විද්‍යාව ව්‍යාප්තව පවතින්නේ මාංශ පිනිස සතුන් පාලනය කිරීම සදහා පමණි. එනම් සත්ව අවිහිංසාව පිළිබද ඒ තුළ කතාබහක් නැත.

නමුත් ඉන්දියාවේ පවා මෙය සතුන්ගේ හිමිකම් සහ අයිතිවාසිකම් පිළිබදව සහ සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් ව්‍යාප්තව පවතින්නකි. එපමණක් ද නොව සතුන්ට ද මෙම මිහිතලය තුළ ජීවත් වීමට මිනිසා හා සමාන අයිතියක් පවතින බව සපථ කරමින් විවිධ විද්‍යාත්මක සහ සමාජීය වැඩසටහන් පවා ඔවුන් ක්‍රියාත්මක කරති. මේ තත්වය තුළ බෞද්ධ රටක් වුව ද අප සිටින්නේ ඉතාම පසුපසින් බව වටහා ගත යුතු ය.
Ethology නොහොත් සත්ව චර්යාවේදය නම් වූ විෂය ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ඉගැන්වේ. නමුත් මේ සදහා අවම වශයෙන් සිංහල වචනයක් පවා නිර්මාණය වී නැත.

මෙකී විෂය විශ්ව විද්‍යාල මට්ටමින් හදාරනු ලැබූ Animal Behaviorist නැතහොත් සත්ව චර්යාවේද විද්‍යාඥයින් ලෝකයේ බොහොමයක් රටවල සිටිති. ඔවුන් සත්ව අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙති. ස්වභාවේදය නොහොත් Naturalism නම් වූ විෂය හදාරනු ලැබූ Naturalist නොහොත් ස්වභාවවේද විද්‍යාඥයින් ද ඉහත කී පරිදි සත්ව පැවැත්ම පිළිබදව සාධනීය ආකල්ප දරති. නමුත් අපේ රටේ ඉහත කී සත්ව චර්යා විද්‍යාඥයින් හෝ ස්වභාවවේද විද්‍යාඥයින් නමින් හදුන්වන පිරිස් නැත. එවැන්නන් ගැන අසා ඇත්තේ ද ඉතා සුළු පිරිසක් පමණි. ඉහත කී පරිදි අපේ රටේ සමහර විශ්ව විද්‍යාලවල පශූ වෛද්‍ය පිඨ තිබුණ ද ඒවායේ අධ්‍යයනයන් පවතින්නේ මාංශ පිණිස සත්ව පාලනය කිරීම සදහා පමණක් වීම කණගාටුවට කාරණයකි.

සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් අපේ රටේ මුල් බැසගෙන ඇති කාරණය වන්නේ බුදු දහමට අනුව සතුන් මැරීම පාපයක් වන බැවින් සතුන් මැරීම සිදු නොකළ යුතු බව මිස, මිහිතලය තුළ සතුන්ට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරනු පිනිස සතුන් නොමැරිය යුත්තක් නිසා නොවන බවයි. මේ නිසා විද්‍යාත්මකව සහ මානව ශාස්ත්‍රීය වශයෙන් සත්ව අවිහිංසාව, සත්ව හිමිකම් සහ සත්ව සුබ සාධනය වැනි දෑ පිළිබද ව අපේ රටේ අසන්නට දකින්නට පවා නොලැබීම පුදුමයට කාරණයක් නොවේ.

බොහොමයක් රටවල සත්ව ඝාතනයට අවසර ලැබෙන්නේ මිනිසාගේ පරිභෝජනය සදහා පමණි. ඒ සදහා වන නිදසුනක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය. කිතුණු බැතිමතුන් මුනිවරයෙකු ලෙස සළකන ශාන්ත අන්තෝනි මුනිද්‍රයන් වහන්සේ සමුද්‍රයට අධිපති දෙවියන් ලෙස සැළකේ. උන් වහන්සේගේ දේශනාවෙහි සදහන් වන්නේ සමුද්‍රයෙහි වාසය කරන කෝටි සංඛ්‍යාත විශේෂවලට අයත් මත්ස්‍යයින්ගෙන් තමන්ගේ ආහාරයට ගත නොහැකි කිසිම මත්ස්‍යයෙකුගේ ජීවිතය විනාශ කිරීමට මිනිසාට අවසරයක් නැති බවකි. එය අපේ සංස්කෘතියේ ද පවතින්නකි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘අපේ ගම‘ කෘතියෙහි එක් පරිච්ඡේදයක මේ පිළිබද අවස්ථා සම්බන්ධයක් තිබේ.

මසුන් බෑමට යන පොඩි ළමයා නම් වූ තරුණයා තමන් සමීපයේ සිටින කොලු ගැටයෙකු සිය කමිසයේ සිටින දිමියෙකු අල්ලා වතුරට දමනු දකියි. එවිට පොඩි ළමයා “තෝ පණ පිටින් අපා ගත වෙන්නද හදන්නේ“ යනුවෙන් අසනු ලබයි. තමන් විසින් මසුන් බෑම සිදු කරනු ලබන්නේ තම ජීවනෝපාය සදහා වන බැවින් එහි වරදක් නැති වුව ද පරිභෝජනයට නුසුදුසු සතුන් නිරපරාදේ මරණයට පත් කිරීම පණ පිටින් අපාගත වන පවක් ලෙස ඔහු දකී. උදාහරණයක් ලෙස කාම්බෝජයේ වර්තමානයේ පවතින මත්ස්‍ය වෙළදසැල්වල මාංශ සදහා මසුන් අලෙවි කරනු ලබන්නේ ප්‍රාණය සහිතව ය. මරන ලද මසුන් අලෙවි කරන්නේ නැත.

අප රට තුළ මෙය ආගමික සංස්කෘතික ලක්ෂණයක් නොවූයේ නම් අපි ද ආදීවාසී වැදි ජනතාව මෙන් දකින දකින සතුන් මරන්නට පෙළඹී නොතිබේ ය යන්න විශ්වාස කළ නොහැකිය. ඒ අතින් බැලූ විට බුදු දහම ඇදහීමට අප පුරුදුව සිටින අපට වඩා බුදු දහම නොඅදහන ඉන්දියානුවන් සත්ව අවිහිංසාව යන කාරණයේ දී අපට වඩා ඉදිරියෙන් සිටිති. මන්ද යත් ඉහත කී පරිදි සත්ව චර්යා විද්‍යාඥයින් සහ ස්වභාවේද විද්‍යාඥයින් විසින් සත්ව අයිතීන් සුරැකීමට පෙළ ගැසී ඇති හෙයිනි. නමුත් එවැනි පිරිස් අප රට තුළ දකින්නට නොලැබීම අප කෙතරම් අමානුෂීය ද යන්නට නිදසුන් සපයනු ඇත.

දුලංජලී මුතුවාඩිගේ

සතුන්ටත් හිමි අපේ ලෝකය