ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳව මේ වන විට සමාජ කතිකාවක් පැන නැඟී තිබේ.ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කරන ලද කරුණු දැක්වීමකට අනුව ය.අනිල් වික්‍රමසිංහ මහතා ජනපති පදවියට පත් වීමේ ප්‍රජාතන්ත්‍රීය භාවය පිළිබඳ නිශ්චයකට ඒම සම්බන්ධ දැනුමක් මා තුළ නැත. එය භික්ෂූනට අදාල විෂය පථයක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් හැදෑරීමේ සිතක් ද මා තුළ පහළ නොවේ. එහෙත්, ථේරවාදී භික්ෂු කතිකාවත් පනත සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය මතයක් ඉදිරි පත් කිරීමේ යම් හැකියාවක් අප තුළ තිබේ.අප මෙසේ ප්‍රයෝජනයට ගන්නේ එම අවකාශයයි. බෞද්ධ ධර්ම විනය සම්ප්‍රදාය අනුව භික්ෂුවට ප්‍රජා නායකත්වයක් තබා පූජකත්වයක් වත් හිමි කර ගත නොහැක.ඒ සිද්ධාන්තමය වශයෙන් භික්ෂුව ප්‍රජා නායකත්වයෙන් හා , පූජකත්වයෙන් පවා බැහැර ශ්‍රමණ සම්ප්‍රදායනට අයිති වන බැවිනි.නමුත් අපගේ භික්ෂු සමාජය අද වන විට එම ධර්ම විනය සම්ප්‍රදායෙන් පිට පැන ඉහත සඳහන් නොගැලපෙන මාවත් වල බොහෝ දුරක් “වැඩම කරමින්” මං මුලා වන තත්වයක් පෙන්න්නුම් කරයි. මෙම “පොට වරදවා ගැනීම”ට මෑත කාලීන,ආසන්නතම හේතුව ලෙස වල්පොල රාහුල හිමියන් විසින් 1946 වසරේ ලියන ලද ‘භික්ෂුවකගේ උරුමය’ කෘතිය දැක්විය හැක.නමුත් ‘භික්ෂුවක ගේ උරුමය’ යනු තත්කාලීන සමාජයේ පැවැති සමාජ, දේශපාලනික පසුබිම තුළට භික්ෂු සම්ප්‍රාප්තිය සිදුවිය යුතු අන්දම පිළිබඳ ඓතිහාසික සමාජමය අර්ථ කථනයකි ඒ හැරුණු කොට මූලික බුදු සමයට අනුව සිදු කෙරෙන ධර්ම විනයානුකූල විනිශ්චයක් නොවේ.නමුත්, අද පවා අප රටේ ඇතැම් භික්ෂුහු එය ත්‍රිපිටකයටත් වඩා හිස් මුදුනේ තබා පිළිගනු පෙනෙයි.එවක ඒ සම්බන්ධ විද්වත් මතවාද ගොඩනැඟුණු අතර හේන්පිටගෙදර ඥානාවාස හිමියන් සහ මහාචාර්ය ඩබ්ලියු. එස්. කරුණාරත්න ආදී ගිහි පැවිදි විද්වතුන් එම කෘතිය “භික්ෂුවකගේ උරුමය’ පිළිබඳ ධර්ම විනයානුකූල අර්ථ දැක්වීමක් සේ සැළකීම බරපතල ශාස්ත්‍රීය මුලාවක් බව අවධාරණය කරන ලදී. එහෙත්, එම කෘතියේ අඩංගු කරුණු සමකාලීන තරුණ භික්ෂු ප්‍රජාව අතරේ ජනප්‍රිය සංස්කෘතික පුබුදුවක් ඇති කිරීමට සමත් වූ අතර එයට එරෙහි ව මත පළ කළ මහාචාර්ය ඩබ්ලියු. එස්. කරුණාරත්න මත් පැන් සහ දුම් පානය කරන්නකු බැවින් ඔහුගේ එම මත බෞද්ධයන් ගණන් නොගත යුතු බවට ප්‍රචාරයක් එවක දේශපාලනයට පිවිසි භික්ෂූන් විසින් පතුරුවා හරින ලද බව ද පැවසෙයි.ඒ එවක භික්ෂූන් තම ශාසනික උරුමය වන ධර්ම විනය ප්‍රඥප්තීන් ගෙන් අත් මිදී සමාජ දෙශපාලන කටයුතු වල යෙදීමේ අවකාශයක් උදා කර ගනු පිණිස ය.
මේ අතර අලෙවිකරණය පදනම් කර ගත් නූතන සමාජයේ සෑම දෙයකටම වෙළඳ වටිනාකමක් ආරෝපණය කිරීමේ සම්භාවිතාවක් දක්නට ලැබේ. ඒ අනුව මිනිසා ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සංතෘප්ත කිරීම සඳහා ද වෙනම ව්‍යාපාර සහ ජාවාරම් ජාලයක් නිර්මාණය වී තිබේ. අප රටේ වැඩිම ජන කොටසක් විසින් අදහනු ලබන බුද්ධාගම මුල් කොට ද මෙම ව්‍යාපාර සහ ජාවාරම් යාන්ත්‍රණය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙයි. ඉතා අකමැත්තෙන් වුවත් කිව යුත්තේ ඒ සඳහා අප රටේ භික්ෂු ප්‍රජාවෙන් සැළකිය යුතු කොටසක් දැඩි ලෙස සම්බන්ධ වී සිටින බවකි. සම්මත ශාසන සම්ප්‍රදායෙන් බැහැරට තමන් බුදු බව රහත් බව ලැබූ බව මාධ්‍ය මගින් ජනතාවට පවසන ඇතැම් භික්ෂුන් එම ප්‍රකාශ ඔස්සේ විදේශීය බලවේග මගින් යොමු කරන මහා ධනස්කන්ධයන් ගෙන් සුවිසල් මාලිගා තනා මහා ධන කුවේරයන් සේ පස්කම් සැප විඳිනු දක්නට ලැබේ. මෙය ශ්‍රී ලාංකේය බුදු සසුනේ මෙන්ම පොදුවේ ජන සමාජයේ ද බරපතල අවනතියකට තුඩු දෙන්නකි.ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධ සංඝ සමාජයේ පොදු කතිකාවක් නිර්මාණය වී ඇත්තේ එවන් පසුබිකය ය. යෝජිත නව කෙටුම්පත මගින් ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට හිමි වන බව නිසැක ය.ඒ බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමි පසුගිය දා ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කර තිබුණි. ඒ අතර ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව කිසියම් භික්ෂූවක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී අදාළ සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමට නීතිමය ප්‍රතිපාදන හිමි කරවීම මෙම පනතේ මූලික අරමුණ ය. මෙය ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශවයන්ට අදාළව කතිකාවක් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද, සෑම භික්ෂූවක් විසින් ම එකී භික්ෂූවකට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද, යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන්ට දණ්ඩන පැනවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි. 2016 ජනවාරි මස 12 වන දින මෙය එවක බුද්ධශාසන අමාත්‍ය වරයා විසින් මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර මෙම පනතට අනුව ”නිකාය හෝ පාර්ශ්වය” යනුවෙන් සඳහන් කරනු ලබන එක් එක් ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මේ පනතේ කාර්යය සඳහා එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතත් සකස් කර සම්මත කර ගත හැකි ය.ඒ සඳහා කිසිදු රාජ්‍ය මැදිහත් වීමක් නැත.මෙය ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාල කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද සෑම භික්‌ෂූවක විසින් ම එකී භික්‌ෂූවටට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද යම් ලියාපදිංචි කරන ලද කෙටුම් පතකි.කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන්ට දණ්ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.ඒ තීරණයට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින හෝ ප්‍රතික්‌ෂේප කරන භික්‌ෂූවක මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්‌ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝූ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී රුපියල් පනස් දහසකට නොඅඩු දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඒ භික්‌ෂූව යටත් විය යුතු ය. ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව අර්බුදකාරී තත්වයනට පත් සෑම විටෙකම එවක රාජ්‍ය පාලකයන් ධර්මධර, විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතියට පැමිණ කතිකාවක් ඇති කොට භික්ෂු ශාසනය ශෝධනය කළ අතිශය ප්‍රකට කරුණකි. පොලොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාවත, නිස්‌සංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් සංඝ සමාජයේ ව්‍යාකූලත්වය පිටු දැකීමට කටයුතු කළ එවක කතිකාවත් බව සනාථ වී තිබේ.එවක ඒවා සම්පාදනයට මෙන්ම ඒවායින් ඇතිකර ගන්නා ලද සම්මත ව්‍යවස්‌ථාවන් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය දේශපාලනික සහාය හෙවත් රාජ්‍ය බලය ලබා දීම සම්බන්ධයෙන් එදා මෙදා තුර කිසිදු භික්ෂුවක් එරෙහි නොවෙති. නමුදු එසේ රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව භික්‍ෂු ශාසනයේ චිරස්‌ථිතිය හා පාරිශුද්ධිය අපේක්‍ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කථිකාවත මල්වතු මහාවිහාර පාර්ශ්වීය අභිනව කතිකාවත, ශාසනාරක්‍ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් කිහිපයක් ඇති කර ගන්න ලදී.එසේ වුව ද ඒවාට රාජ්‍ය අනුග්‍රහයෙන් ලබා ගත් නෛතික බලයක් නොමැති වූයෙන් අපේක්‍ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය.එනයින් බලන විට ධර්මධර විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇති කර ගන්නා ලද ශාසනික කතිකාවත් වලට රාජ්‍ය අනුග්‍රහය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොව ඓතිහාසික සංසිද්ධියක් බවත් බව පැහැදිලි ය. මේ අතර එය පසුගිය යහපාලන රජය සමයේ මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම මත මැදගොඩ අභයතිස්ස අතුරැලියේ රතන වැනි දේශපාලනමය නැඹුරුවක් සහිත භික්ෂූහු ඊට විරුද්ධ වූහ.එය මහින්ද රාජපක්ෂ මහතා ගේ දේශපාලන අභිලාෂයක් මත හික්ෂු සමාජය හා රජය අතර ගැටුමක් ඇති කරවීමේ සැලසුම් සහගත ක්‍රියාවක් බවට ද සමහරකු විසින් එය අර්ථ දක්වන ලදී.නමුදු 1956 වසරේ තම දේශපාලන බලය සඳහා සමකාලීන සංඝ සමාජය මෙවන් අනිසි “කිති කැවීමකට” ලක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඊට වසර තුනකට පසු භික්ෂු චීවරයක් තුළින් මතු වූ පිස්තෝලයකින් ම වෙඩි කා මරණයට පත් වූ පුවත ද අප මෙහි දී අමතක කළ යුතු නැත.
2016 වසරේ යළි පිමිදුණු එම පසුබිම යටතේ ඒ සමයේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කළ තිබ්බට්ය්වාවේ සිද්ධත්ථ මල්වතු මහනාහිමියෝ ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කොට නීති ගත කිරීම සඳහා ‘දේශපාලන පක්ෂ සහ වෙනත් පටු පරමාර්ථයන්හි නොපිහිටා කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.අතීතයේ රට පාලනය කරනු ලැබූ රජවරුන්ගේ ප්‍රධානත්වයෙන් ධර්මධර සහ විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතීන්ට පැමිණ කතිකාවත් ඇති කොට භික්ෂු ශාසනය ශෝධනය කළ ආකාරය ඉතිහාස වාර්තා පෙන්වා දෙන බවත් මල්වතු මහානායක හිමියන් ගේ ලිපියේ සඳහන් කර තිබිබිණ.
මේ අතර ථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක් බවත් මෙමඟින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට රජය මගින් නීතී පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත් එවක අස්ගිරි පාර්ශ්වයේ මහනායක අපවත් වී වදාළ ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියෝ ද කීහ. මෙම පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ මහසංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ද උන්වහන්සේ කියා සිටියහ.
භික්ෂු කතිකාවත පිළිබඳ ඒ දිනවල ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙතින් පක්ෂව හා විපක්ෂව මතුවෙමින් තිබෙන අදහස් සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කැරමින් මහනාහිමියෝ මේ බව ප්‍රකාශකැර සිහියහ.. ඒ ඒ භික්ෂු නිකායික හා පාර්ශ්ව මගින් සම්පාදනය කරනු ලබන භික්ෂු කතිකාවත් රජය මගින් ලියාපදිංචි කිරීම පමණක් සිදුකරන බව අවධාරණය කළ හිටපු අස්ගිරි මහ නා හිමියෝ එසේ වුවත් භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත විය යුතු ඇතැම් අභ්‍යන්තරික කරුණු කිහිපයක් ද මෙම පනත්වලට ඇතුළත් කැර තිබීම ගැටලු සහගත බව ද කියා සිටියහ. මෙහි දී ඉහත සඳහන් හේතුමත ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සහමුලින් පිටු දැකිය යුතු බවට උන් වහන්සේ ගේ අදහස් වෙනස් කරවීම පිණිස අප සහෝදර හික්ෂූන් කිහිප නමක් උන් වහන්සේ බැහැ දැක ඒ සම්බන්ධ කරුණු කියා සිටියහ. එවිට උන් වහන්සේ සිනා සී ප්‍රකාශ කොට ඇත්තේ “කොස් ගෙඩියක් අතට ගන්න කොට මතු පිට කටු ඇනෙනවා තමයි.ඒත් අපිත් කලබල නොවී ඒ කොස් ගෙඩිය පළලා මදුළු එළියට ගන්න විදිහක් බලමු”යන්න ය ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට බිය වන භික්ෂූන් වෙත අපට දීමට ඇති පණිවිඩය ද එයම ය. කදුරුපොකුණේ සුමංගල හිමි