සැමට සතුට බෙදන සොකරි නාටකයේ පරාජිත පෙම්වතා;පරයා


සිංහල භාෂාවෙහි අසභ්‍ය නොවන, එහෙත් ප්‍රබල ලෙස නිග්‍රහාත්මක අර්ථ පළ කරන වදන් අතරින් ප්‍රධානත්වය හිමි වන වදනක් ලෙස “පරයා” යන්න හැඳින්විය හැකිය. සිංහල ශබ්දකෝෂවලට අනුව “පර” යන්නෙහි අන්‍ය, සතුරු, පිටස්තර, පහත් ආදී අරුත් කිහිපයක් පවතින අතර “අන්‍ය” හෝ “සතුරු” යන අරුත් ඒ අතුරින් මුල් තැනක් ගනී. මෙම වදනට අනුරාධපුර යුගය හෙවත් දසවන සියවස තෙක් දිවයන අතීතයක් ඇති බව එය ධම්පියා අටුවා ගැටපදය සහ අමාවතුර වැනි පුරාණ සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල ද සඳහන් වීමෙන් පෙනී යයි.

සිංහලයෙහි මෙන්ම පාලි, සංස්කෘත සහ දෙමළ ආදී පෙරදිග භාෂා ගණනාවක ද මෙම “පර” යන වදන දක්නට ලැබේ. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ “පරයර්” (Paraiyar) යන අස්පර්ශනීය කුල නාමය පදනම් කරගනිමින්, සමාජයෙන් කොන් කරන ලද පුද්ගලයා හැඳින්වීමට “Pariah” යනුවෙන් මෙම වදන ඉංග්‍රීසි බසට ද නැංවී ඇත. එහි අර්ථය ද පෙරදිග භාෂාවන්හි “පර” යන්නෙන් කියැවෙන “පිටස්තර” හෝ “සමාජයෙන් බැහැර වූ” යන අරුතට බෙහෙවින් සමාන ය.

අප සමාජයෙහි වර්තමානයේ නිග්‍රහ පිණිස යෙදෙන “පරයා” යන වදන අසභ්‍ය ගණයට නොවැටෙනුයේ, එහි මූලික අර්ථය සදාචාර විරෝධී ලිංගික හැඟවුමක් නොව දේශපාලනික හා සමාජයීය වශයෙන් “අන්‍යයා” හෝ “සතුරා” යන්න නිරූපණය කරන බැවිනි. එමෙන්ම, මෙම “පරයා” යන වදන සාමාන්‍ය සමාජයේ කෙතරම් ප්‍රචලිත ද යත්, සියවස් කිහිපයකට පෙර සිට අප රටේ උඩරට ගැමියන් අතර ප්‍රචලිත සොකරි නම් ජන නාටකයේ “පරයා” නම් වන අතිශය ජනප්‍රිය චරිතයක් තිබීමෙන් ම එහි ඇති සමාජයීය මුල් බැස ගැනීම වටහා ගත හැක. එහි පරයා යනු සොකරිගේ සහ ඇගේ සැමියා වන ගුරුසාමිගේ සේවකයා ය. නමුත් සොකරි නාටකයේ පරයා ගැන විමසුමට පෙර සොකරි පිළිබඳ මූලික විමසුමක් කිරීම ද වැදගත් ය.

අප සමාජයෙහි වර්තමානයේ නිග්‍රහ පිණිස යෙදෙන “පරයා” යන වදන අසභ්‍ය ගණයට නොවැටෙනුයේ, එහි මූලික අර්ථය සදාචාර විරෝධී ලිංගික හැඟවුමක් නොව දේශපාලනික හා සමාජයීය වශයෙන් “අන්‍යයා” හෝ “සතුරා” යන්න නිරූපණය කරන බැවිනි. එමෙන්ම, මෙම “පරයා” යන වදන සාමාන්‍ය සමාජයේ කෙතරම් ප්‍රචලිත ද යත්, සියවස් කිහිපයකට පෙර සිට අප රටේ උඩරට ගැමියන් අතර ප්‍රචලිත සොකරි නම් ජන නාටකයේ “පරයා” නම් වන අතිශය ජනප්‍රිය චරිතයක් තිබීමෙන් ම එහි ඇති සමාජයීය මුල් බැස ගැනීම වටහා ගත හැක. එහි පරයා යනු සොකරිගේ සහ ඇගේ සැමියා වන ගුරුසාමිගේ සේවකයා ය. නමුත් සොකරි නාටකයේ පරයා ගැන විමසුමට පෙර සොකරි පිළිබඳ මූලික විමසුමක් කිරීම ද වැදගත් ය.

ලක්දිව පවත්නා පැරණිම ගැමි නාටක විශේෂයක් වන සොකරි උඩරටට සීමා වූවක් බව ප්‍රසිද්ධ ය. පාසල් පෙළපොත් ආදියේ සඳහන් වන අන්දමට එය බොහෝ දුරට උඩරට ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත ව පවතී. ඒවායේ සඳහන් වන අන්දමට ප්‍රධාන වශයෙන් හඟුරන්කෙත, මාතලේ, කොටුවේගොඩ, කොනතලගල, පාතහේවාහැට, සපුලියැද්ද, හපුගස්දෙණිය, හේනවල, ලග්ගල, තලාතුඔය, නිල්දණ්ඩාහින්න, බටුවත්ත, බදුල්ලේ දික්පිටිය, දඹුල්ලේ කළුන්දෑව හා උඩ පේරාදෙණිය යන ප්‍රදේශ ඒ අතර වන බව සඳහන් ය. නමුත් එම තොරතුරු සමකාලීන වශයෙන් කෙතරම් සත්‍ය ද යන්න සම්බන්ධ නිශ්චයක් මා තුළ නැත.

ඒ කෙසේ හෝ උඩරට ප්‍රදේශවල ගැමියන් කෘෂිකාර්මික සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් පූජාර්ථයෙන් කරනු ලබන අභිචාර ක්‍රමයක් ලෙසත් සිදු කරන නිසා මෙය ශාන්තිකර්ම විශේෂයක් බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි. අතීතයේ ගොයම් කපා අස්වනු නෙළාගත් පසු විවේක සුවයෙන් කල් ගෙවන ගැමියෝ වෙසක්, පොසොන් (අප්‍රේල්, මැයි, ජූනි) මාසවල දී මෙම නාටකය රඟ දැක්වූහ. එහි දී ලිංගිකත්වය ද යම් පමණකට මුසු හාස්‍ය රසයෙන් පිරි සොකරි නර්තනයක් රඟ දැක්වීමෙන් හා නැරඹීමෙන් ගැමියෝ මහත් වූ ආස්වාදයක් ලැබූහ. ඒ අනුව ගැමි සමාජයේ සාමූහික ව රඟ දක්වනු ලබන සොකරි, සශ්‍රීකත්වය සේම විනෝදාස්වාදය අරමුණු කර ගත් ජන රංගනයක් බව පැහැදිලි ය.

වර්තමානයේ දී ගැමි නාටක අභාවයට යා නොදී සංරක්ෂණය කර ගැනීමේ වැදගත්කම සලකා, පාසල් ශිෂ්‍යයන් අධ්‍යාපනික අවශ්‍යතා අරමුණු කරගෙන සොකරි නාටකය රඟ දක්වනු ලැබේ. ඒ අනුව පිටපතක් නොමැතිව අතීතයේ රඟදැක්වුණු සොකරි නාටකය මේ වන විට පිටපත් වශයෙන් ද සැකසී තිබේ. එම නාටකයේ කතා සාරය මෙලෙසිනි:

ඉන්දියාවේ කාසි දේශයෙහි (වර්තමානයේ වාරානසී) ගුරුහාමි නමින් යුත් වියපත් ආඬිගුරෙක් රූමත් යුවතියක වූ “සොකරි” නම් කාන්තාවක සරණ පාවා ගනී. එය මන්ත්‍ර ගුරුකම් බලයෙන් සිදුවූවක් බව ද පැවසෙයි. විවාහ වී බොහෝ කලක් ගත වන තුරුත් දරු සම්පතක් නොලැබූ බැවින් කතරගම දෙවියන්ට බාරයක් ඔප්පු කිරීම සඳහා ඔවුහු ලක්දිවට පැමිණෙති. එය ඔවුන් ජීවනෝපායක් සලසා ගනු පිණිස පැමිණි ගමනක් ලෙස ද ඇතැම් සම්ප්‍රදායන්වල සඳහන් ය. ඔවුන් සමග මෙහෙකරුවා වන පරයා සහ කාලි අම්මා ද ලක්දිවට පැමිණෙති. මෙම කාලි අම්මා යනු අදටත් ඉන්දියාවේ මෙන්ම අප රටේ චිරප්‍රසිද්ධ කාලි මෑණියන් ය. පදිංචි වීමට ඉඩමක් සොයන අතරතුරේ දී හමු වූ තඹරාවිට නම් ගමෙහි ඔවුහු පදිංචි වෙති. එක් දිනක් ගුරුහාමි වතුර ගෙන ඒමට යෑමේ දී ගමේ වෙදරාලගේ බල්ලා ගුරුහාමිගේ කකුල සපා කයි. ඊට ප්‍රතිකාර කිරීම සඳහා වෙදරාල පැමිණෙන්නේ සොකරිය පිළිබඳ ඇල්මකිනි. කලක් ප්‍රතිකාර කිරීමෙන් පසු මැදියම් රැයක දී වෙදරාල සොකරිය සමග පලා යයි. කතරගම දෙවියන්ට කරන කන්නලව්වකින් පසු මග සලකුණු දැක වෙදරාලගේ නිවසේ සිටි සොකරිය ගුරුහාමි විසින් කැඳවා ගෙන එනු ලබන්නීය. කථාව අවසන් වන්නේ වෙදරාලට දාව සොකරියට දරුවකු ලැබීමෙනි. එහෙත් මේ දරුවා කාගේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් නාට්‍යයෙන් ඉදිරිපත් නොවේ. එහෙත් අවසානයේ ගුරුහාමි සොකරි සමග සාමදානයෙන් ජීවත් වෙයි. ඒ ඇයට සොකරි අම්මා යනුවෙන් දේවත්වයක් හිමිවීමෙන් පසුව ය. නමුත් සොකරි නාටකයේ එන මෙම කතා පුවත ප්‍රාදේශික වශයෙන් වෙනස්කම් සහිත බව ද පෙනේ. එහි දී සොකරියට දරුවකු ලැබීම මගින් සශ්‍රීකත්වය සංකේතනය කෙරේ. නාට්‍ය අවසානයේ සොකරිය ලබන දරුවා සුරතල් කිරීම ද, දරුවා ප්‍රේක්ෂකයන්ට පිළිගැන්වීම ද, අවසානයේ කෙරෙන සෙත් පැතීම ද කෘෂිකාර්මික සමාජයේ සමෘද්ධිය සංකේතවත් කරන්නකි.මෙය රැයක් පහන් වන තුරු කමතක් වැනි එළිමහන් තැනක රඟ දැක්වෙන්නකි.

සොකරි නාටකයේ චරිත වලට රඟබිමට ආරාධනා කිරීම සඳහා කවි යොදා ගන්නා අතර, චරිත ස්වභාවය පිළිබඳ හඳුන්වා දීමට ද එම ගායනා යොදා ගැනේ. එහි දී සොකරිගේ චරිතය පිළිබඳ මෙලෙස විස්තර කෙරේ:

අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී මල් ගවසන්නී කොණ්ඩය ගොතා හෙළන්නී තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී සේල අඳින්නී පටකින් ඔමරි කරන්නී

මෙය සුනිල් සරත් පෙරේරා සූරීන් විසින් රචනා කරන ලදුව සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් විසින් තනුව යොදා ගායනා කරන ලද “සිනා නඟන්නී ලැසි ලැසි ගමනින් එන්නී” ගීත රචනය හා බෙහෙවින් සමාන බව පෙනේ.

සොකරි උඩරට සාම්ප්‍රදායික කුලවත් කාන්තාවකගේ ස්වරූපයට සමාන වන සේ ඔසරියකින් හැඩගන්වා ඇති අතර, සොකරිය අතට සහ පයට සිහින් ගෙජ්ජි ද, කරට ඇට මාල ද, කනට කරාබු ද, අතට වීදුරු වළලු ද පළඳා ඇත. සොකරිගේ චරිතය ද පිරිමින් රඟපාන බැවින් බොරු කොණ්ඩයක් පළඳී. කොණ්ඩය මල් වැලකින් සරසයි. නළල් පටියක් ද පලඳින සොකරියගේ අතෙහි මල් පොකුරක් ද ඇත. ඇතැම් ප්‍රදේශවල මල් පොකුර වෙනුවට වර්ණ කිහිපයක රෙදි කැබැල්ලක් භාවිත කෙරේ.

වියපත් ආඬිගුරෙකු වන ගුරුසාමි උඩරට වෙස් නැට්ටුවෙකු ලෙස වෙස් ගන්නා අතර ඇඳුමේ පහළ කොටස උඩරට වෙස් නර්තන ශිල්පියකුගේ ඇඳුම් කට්ටලයට (එනම් සඟලට) බෙහෙවින් සමාන ය. ඇතැම් අවස්ථාවල දී ගුරුහාමි ලෙස පෙනී සිටින චරිතය ඉණට පච්චවඩමක් සහ පයට සීලම්බු පළඳී. හිසට මුණ්ඩාසනය පලඳිනුයේ තුන් පැත්තකට තරු තුනක් සේ ය. දෑතේ, දෙපයේ, පපුවේ මෙන් ම නළලේ ද සුදු පාටින් ඉරි ඇඳ ඇත්තේ ඔහු ආඬි ගුරකු බව සනාථ කිරීම පිණිස ය.

සොකරි නාටකයේ වෙදරාල කොණ්ඩය පිටුපසට බැඳ සිටින අතර, කණ්ණාඩියක් සහ දිගු රැවුලක් පැලඳ සිටී. කුදු බව පෙන්වීමට පිටට කොට්ටයක් බැඳ ඇත. එමෙන් ම බඩ ඉදිරියට නෙරා ඇති බව පෙන්වීමට ද කොට්ටයක් බැඳ ඇත. මේස් බැනියමක් ඇඳ ඊට උඩින් කෝට් කබායක් ද සරමක් ද ඇඳ ඉණට පටියක් ද බැඳ වියපත් බව පළ කිරීම පිණිස අතට සැරයටියක් ගෙන එයි. වෙදරාලගේ පුතා ලෙස හඳුන්වන කොස්තානා කුඩා දරුවකු මෙන් සරසා ඇත. ඔහු කොට කලිසමක් සහ බැනියමක් ඇඳ සිටී. කොළපතකින් සකස් කළ වෙස් මුහුණ කුඩා දරුවකුගේ ස්වභාවය ප්‍රදර්ශනය කරයි. සූප්පුවක් කරේ එල්ලා ඇති අතර බොහෝ අවස්ථාවන්හි වෙස් මුහුණෙහි කටට සූප්පුව තබා ගෙන නර්තනය ඉදිරිපත් කරයි.

සොකරි නාට්‍යයේ එන චරිත අතරින් ප්‍රේක්ෂකයා සහ නාට්‍යය අතර සජීවී සබඳතාව ගොඩනගන වඩාත්ම ක්‍රියාශීලී සහ හාස්‍යජනක චරිතය වන්නේ පරයා ය. ඔහු ගුරුහාමිගේ සහ සොකරියගේ මෙහෙකරුවා හෙවත් අතවැසියා ලෙස පෙනී සිටිය ද සොකරි නාටකය තුළ පරයා ඊට වඩා පුළුල් කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ. පරයාගේ චරිතය මුලින්ම ප්‍රේක්ෂකයා තුළ හාස්‍යය ජනිත කරන්නේ ඔහුගේ පෙනුමෙනි. ඔහු තරමක් ඉරුණු කමිසයක් සහ කොට කලිසමක් අඳියි. මුහුණට කොළපතින් සැකසූ වෙස් මුහුණක් සහ හිසට කේතුකාකාර හිස්වැස්මක් පලඳියි. අතෙහි සැරයටියක් සහ රෙදි මල්ලක් දරා මඟියකුගේ ස්වරූපයෙන් සිටින මොහු, අසම්මත පෙනුමකින් යුත් විකටයෙකුගේ ස්වරූපය ගනී.

පරයා ඉතා මුඛරි හෙවත් කටකාර චරිතයකි. ඔහු සිංහල බස හැසිරවීමේදී දක්වන දුර්වලතා සහ වැරදි උච්චාරණය ප්‍රේක්ෂකයා සිනහවට පත් කරයි. නමුත් ඔහු ගුරුසාමිට වඩා සිංහල බස දන්නා බවක් පළ කරයි. ගුරුහාමි කාසී රට ආඬියකු බැවින් ඔහු පවසන දෑ ප්‍රේක්ෂකයාට සිංහලෙන් පැහැදිලි කර දීම හෝ ගුරුහාමි සහ ප්‍රේක්ෂකයා අතර පණිවිඩ හුවමාරු කරන්නා ලෙස පරයා කටයුතු කරයි. පරයා තමාගේ ස්වාමියා වන ගුරුහාමිට පක්ෂපාතී වන අතරම, සොකරිය දෙස ඇඹලයකු මෙන් ගිජු බැලුම් හෙළමින් ඇය කෙරෙහි ඇති ඇල්ම රසිකයන් හමුවේ ප්‍රදර්ශනය කරයි. මෙය රසිකයන්ට ඉමහත් විනෝදාස්වාදයක් ලබා දෙන්නකි. කෙටියෙන් කිවහොත් පරයා යනු සොකරි නාට්‍යයේ එන හුදු මෙහෙකරුවෙකු පමණක් නොව, මුළු නාට්‍යය පුරාම රංග වින්දනය පවත්වාගෙන යන විකට චරිතයයි. ඔහු සමාජයේ පහළ ස්ථරය නියෝජනය කරමින්, ස්වාමියාට දක්වන පක්ෂපාතීත්වය හා විවේචනාත්මක ස්වරූපය සේම මිනිස් සහජ දුර්වලතාත් එකසේ නිරූපණය කරන සජීවී චරිතයකි.

එමෙන්ම ගුරුහාමි හෝ සොකරිය මෙන් පරයා ශාස්ත්‍රීය හෝ පිළිවෙළකට නටන්නේ නැත. ඔහු බෙර තාලයට අනුව උඩ පනිමින්, අතපය විසි කරමින්, ගිය ගිය තැන පෙරළෙමින් නර්තනයේ යෙදෙන්නේ හාස්‍යය මතු වන පරිදි ය.

“පරයා එන්නේ වටපිට නිතර බලන්නේ කට දොඩවන්නේ ගිය ගිය තැන පෙරළෙන්නේ කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ”

යනාදී කවි මඟින් පරයාගේ ස්වභාවය රසිකයන් හමුවේ විස්තර කෙරේ. එහි දී පරයා යනු ගුරුහාමිගේ සේවකයා වුවද, ඔහු බොහෝ විට හැසිරෙන්නේ ස්වාමියාට වඩා ඉහළින් සිටීමට උත්සාහ කරන අයෙකු ලෙසිනි. ඔහු සොකරිය කෙරෙහි අනියමින් නොමනා බලපෑම් කරන්නේ ද ඒ අතරේ ය. එහෙත් ඒ සෑම විටෙකම සොකරි පරයාව දමනය කරන්නීය. එහෙත් ඒ තරවට්ටුවකින් හෝ තමන් හා නොමනා ඇසුරකට ඉඩ දෙමින් නොවේ; ඔහු ලවා තමන්ට අවශ්‍ය පරිදි ඔහුගේ සේවය ලබා ගැනීමට ඉඩ තබා ගනිමිනි. පරයා සොකරිට ලොබ බඳින සෑම විටම ඇය ඉතා උපායශීලීව හා කපටි ලෙස එය මඟහැර පරයාව තම වැඩකටයුතු සඳහා පමණක් යොදා ගනී. ඒ අනුව අපට පෙනී යන්නේ සොකරි යනු හුදු නිෂ්ක්‍රීය කාන්තාවක නොව, උපායශීලී ලෙසින් පිරිමින් තම වසඟයට ගෙන තමන්ට අවශ්‍ය දේ ඉටු කරවා ගන්නා සවිඥානික චරිතයක් බවය. නමුදු මේ ආකෘතියේ සොකරිලා වර්තමානයේ නොමැතිද? යන්නට පිළිතුරක් නොදෙන මම එම පිළිතුර ඔබටම භාර කරමි.

වියපත් ගුරුහාමි තමට වඩා දුබල අයෙකු නිසා පරයා ඔහුට ගෞරවයක් නොදක්වන බව පැහැදිලි ය. පරයා නිතරම ගුරුහාමිව උසුළුවිසුළුවට ලක් කරනුයේ ඒ අනුව ය. තම සැමියා වන ගුරුහාමි සහ පරයා අතර ඇති මෙම විෂම සබඳතාවය පිළිබඳව සොකරි තුළ ආරෝවක් නොමැති බව සහතික වන අතර, ඇත්ත වශයෙන්ම පරයා ලවා තම සැමියා වන ගුරුහාමි අපහසුතාවයට පත් වනු දැකීමෙන් සොකරි යම් ආශ්වාදයක් ලබන බවක් පෙනෙන්නට තිබේ. ඒ සොකරිය තුළ තම සැමියා කෙරෙහි ඇති වෛතසික ප්‍රතිවිරෝධය (Resentment) නිසා ද විය හැක. ඒ අනුව ඇය තම කායික සන්තෘප්තිය පිණිස කෙසේ වෙතත් ගුරුහාමිගේ දුබලතාවයට බැට දීමට පරයාගේ සක්‍රීය බව යොදා ගන්නා බව පෙනෙයි.

නමුත් නාට්‍යයේ සේම පරයාගේ චරිතයේ ද හැරවුම් ලක්ෂය වන්නේ සුනඛයකු සපා කෑ ගුරුහාමිට ප්‍රතිකාර කිරීම පිණිස වෙදරාළගේ ආගමනයයි. එමෙන්ම වෙදරාල පරයා ගැන තැකීමක් නොකොට සොකරිය සමඟම සබඳතා ගොඩනැඟීමට දරන වෑයම පරයාට නොරිසි වෙයි. ඒ අනුව පරයා වෙදරාළ කෙරෙහි අකමැත්තක් දක්වන්නේ තමන්ට වඩා උගතෙකු හා සමාජයේ පිළිගැනීමක් ඇති අයෙකු පැමිණීම නිසාය. එහි දී, පරයා බිය වන්නේ වෙදරාළ සොකරිය අත්පත් කර ගනු ඇතැයි කියාය. අවසානයේ සිදුවන්නේ ද එයමය; නැතහොත් වෙදරාළ සොකරිය රැගෙන පලා යාම ය.

සොකරි නාටකයේ පරයා යනු හුදෙක් සේවකයෙකු පමණක් නොව, මුළු නාට්‍යයේම “හාස්‍යය” (Humour) සහ “උපහාසය” (Satire) ගොඩනගන චරිතයයි. සමාජයේ පහළම පන්තිය නියෝජනය කරන ඔහු ස්වාමියාගේ දුබලතා පෙන්වා දෙමින් වැඩවසම් ක්‍රමය උපහාසයට ලක් කරයි. ඒ අතරේ නාටකයේ සෙසු චරිත සහ ප්‍රේක්ෂකයා අතර පාලමක් ලෙස ක්‍රියා කරයි.

ඒ අනුව සොකරි නාටකයේ පරයා යනු හුදෙක් සේවකයෙකු පමණක් නොව, මුළු නාට්‍යයේම “හාස්‍යය” (Humour) සහ “උපහාසය” (Satire) ගොඩනගන චරිතයයි. සමාජයේ පහළම පන්තිය නියෝජනය කරන ඔහු ස්වාමියාගේ දුබලතා පෙන්වා දෙමින් වැඩවසම් ක්‍රමය උපහාසයට ලක් කරයි. ඒ අතරේ නාටකයේ සෙසු චරිත සහ ප්‍රේක්ෂකයා අතර පාලමක් ලෙස ක්‍රියා කරයි.

සොකරි කෙරෙහි ආශාවක් දැක්වුවද, අවසානයේ ඇයගේත් වෙදරාළගේත් උපායන් හමුවේ පරයා පරාජයට පත් වනුයේ සොකරිය දිනා ගැනීම සම්බන්ධයෙන් ඔහු නිසි උපාය මාර්ග අනුගමනය නොකිරීම නිසා විය හැක. ඒ අනුව සොකරි නාටකය පුරා විසිරී ඇති පරයාගේ චරිතය ගැමි සමාජ ඇතුළාන්තයේ ඇති ආශාවන්, ඊර්ෂ්‍යාවන් සහ අවිහිංසක මෝඩකම් මැනවින් නිරූපණය කරන කැඩපතකි. නමුත් අපගේ ගැමි නාටකවල දක්නට ලැබෙන චරිත මනෝ විශ්ලේෂණවලට ලක් කළ නොහැකිය යන ඇතැම් වියතුන් අතර පවතින දුර්මත නිසා, මෙවන් කලා කෘතීන් මුල් කොට අපගේ අතීත ගැමි සමාජය වෙත සියුම් මානව විද්‍යාත්මක දෘෂ්ටීන් එල්ල කිරීමේ හැකියාව අවප්‍රමාණ වී තිබේ.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය