
ඉස්ලාමය යනු මනුෂ්‍යත්වය, සාමය සහ සහෝදරත්වය පදනම් කරගත් දහමකි. එහෙත්, එම ප්‍රජාව විසින් සිදු කරනු ලබන ඇතැම් ක්‍රියාකාරකම් අද වන විට දැඩි ලෙස ලෝක අවධානයට යොමුව තිබේ. විශේෂයෙන්ම 2026 වසරේ පවතින දේශපාලනික පසුබිම තුළ, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු ජනාධිපතිවරයාගේ සැලසුමකට අනුව ඝාතනය වීම හුදු පුද්ගල ඝාතනයක් පමණක් නොව, එය නියත වශයෙන්ම ගෝලීය දේශපාලනය ද කළඹවන්නකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ලොව පුරා මුස්ලිම්වරුන්ගෙන් කොටසක් අතිශය ශෝකයට පත් වන අතර තවත් කොටසක් ඒ සම්බන්ධයෙන් වෙනත් මත දරති. මේ තත්ත්වය යටතේ ඉස්ලාමයට එරෙහිව එල්ල වන මෙබඳු කෲරත්වයන්ගේ අවසාන ඉලක්කය කුමක් විය හැකිද යන්න ගැඹුරින් විමසා බැලිය යුතුය.
ඉතිහාසයේ විවිධ සන්ධිස්ථානවලදී මුස්ලිම්වරුන් අතර ඇති වූ මතවාදී සහ දේශපාලනික වෙනස්කම් හේතුවෙන් මේ වන විට එය විවිධ නිකායන් කරා විභේදනය වී තිබේ. මෙම බෙදීම ඇති වූයේ මූලිකවම ශාස්තෘවරයාණන්ගේ අභාවයෙන් පසු ඊළඟ නායකයා හෙවත් කලිෆා තෝරා ගැනීමේදී ඇති වූ මතවාදී පරතරයෙනි. මෙය කාලයත් සමඟ දේවධර්මීය වෙන්වීමක් දක්වා වර්ධනය වූ අතර, අද වන විට එය හුදෙක් ආගමික මට්ටමක පවතින ගැටලුවක් නොව භූ-දේශපාලනික බල අරගලයකට පෙරළී ඇත.
වර්තමානය වන විට ඉස්ලාමයේ ප්‍රධාන නිකායන් ලෙස සුන්නි, ෂියා, සුෆී සහ ඉබාඩි හඳුනාගත හැකිය. සමස්ත ලෝක ජනගහනයෙන් මුස්ලිම්වරුන් බිලියන 1.8ක් පමණ ජීවත් වන අතර ඉන් 80-85%ක් හෙවත් බිලියන 1.6ක් පමණ නියෝජනය කරන්නේ සුන්නි මුස්ලිම්වරුන්ය. ෂියා මුස්ලිම්වරුන් 10-15%ක් හෙවත් මිලියන 200ක් පමණ වන අතර ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය ඉරානයයි. මීට අමතරව ඉරාකය, බහරේනය සහ අසර්බයිජානය ෂියා බහුතරයක් වෙසෙන රටවල් වන අතර සුෆී, ඉබාඩි සහ කිසිදු නිකායකට අයත් නොවන පිරිස ඉතිරි කොටස නියෝජනය කරති.
වර්තමානය වන විට ඉස්ලාමයේ ප්‍රධාන නිකායන් ලෙස සුන්නි, ෂියා, සුෆී සහ ඉබාඩි හඳුනාගත හැකිය. සමස්ත ලෝක ජනගහනයෙන් මුස්ලිම්වරුන් බිලියන 1.8ක් පමණ ජීවත් වන අතර ඉන් 80-85%ක් හෙවත් බිලියන 1.6ක් පමණ නියෝජනය කරන්නේ සුන්නි මුස්ලිම්වරුන්ය. ෂියා මුස්ලිම්වරුන් 10-15%ක් හෙවත් මිලියන 200ක් පමණ වන අතර ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය ඉරානයයි. මීට අමතරව ඉරාකය, බහරේනය සහ අසර්බයිජානය ෂියා බහුතරයක් වෙසෙන රටවල් වන අතර සුෆී, ඉබාඩි සහ කිසිදු නිකායකට අයත් නොවන පිරිස ඉතිරි කොටස නියෝජනය කරති.

බහුවිධ සමාජයක් වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව බාහිරට තනි අනන්‍යතාවක් සහිත පිරිසක් ලෙස පෙනුණද, ඔවුන් තුළ ද විවිධ නිකායික බෙදීම් පවතී. මෙරට මුස්ලිම්වරුන්ගෙන් 95%කට වඩා සුන්නි නිකායිකයන් වන අතර ඉතා සුළු පිරිසක් ෂියා දහම අදහන්නෝ වෙති. මෙම දෙපාර්ශ්වය අතර පවතින මතවාදී වෙනස්කම් සහ ආගමික වතාවත්වල විවිධත්වය නිසා ඇතැම් අවස්ථාවල නොරිස්සුම් සහගත තත්ත්වයන් නිර්මාණය වේ. බොහෝ විට පෞද්ගලික මට්ටමින් සහ ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ගනුදෙනු සිදු වුවද, ආගමික සහ දේශපාලනික මට්ටමින් සැලකිය යුතු දුරස්ථභාවයක් පවතී. මෙම අභ්‍යන්තර බෙදීම තීව්ර වීමට ජාත්‍යන්තර දේශපාලනය ද ඍජුවම බලපාන අතර සුන්නි මුස්ලිම්වරු සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සමඟත්, ෂියා මුස්ලිම්වරු ඉරානය වැනි රටවල ආගමික දර්ශනයන් සමඟත් සබඳතා පවත්වති. මෑතකදී ඉරාන නායකත්වයට එල්ල වූ ප්රහාරයන්ට එරෙහිව ඇතැම් රටවලින් එල්ල වූ අසංවේදී ප්‍රතිචාර මගින් පැහැදිලි වන්නේ දිගුකාලීන සමගියකට නිකායික වෙනස්කම් තවමත් බාධාවක්ව පවතින බවයි.
ලංකාවේ ෂියා ප්‍රජාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා හඳුනාගත හැකිය. ඉන් වඩාත් කැපී පෙනෙන සහ සංවිධානාත්මක කණ්ඩායම වන්නේ 18 වන සහ 19 වන සියවස්වලදී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට වෙළඳාම සඳහා පැමිණි දාවුදි බෝරා ප්රජාවයි. ඔවුන් ප්‍රධාන පෙළේ අපනයන සහ ආනයන ව්‍යාපාරිකයන් ලෙස ප්‍රකට අතර කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි හුසේනි පල්ලිය ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. ඔවුන්ටම ආවේණික වූ ‘ලිසාන් අල්-දාවත්’ නම් භාෂාවක් සහ සුවිශේෂී ඇඳුම් පැළඳුම් රටාවක් පවතී. අනෙක් කොටස වන්නේ ‘දොළොස්වන ඉමාම්වරයා’ විශ්වාස කරන, සංඛ්‍යාත්මකව ඉතා කුඩා ඉත්නා අෂාරි ප්රජාවයි. මොවුන් ප්‍රධාන වශයෙන් කොළඹ සහ ඒ අවට නාගරික ප්‍රදේශවල ජීවත් වන ඉරාන, පාකිස්ථාන සම්භවයක් සහිත හෝ එම දර්ශනය වැළඳගත් දේශීය මුස්ලිම්වරු වෙති.

මෙම ප්‍රජාවන් දෙකෙහි ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පවතී. සුන්නි මුස්ලිම්වරු මුහම්මද් නබිතුමාගෙන් පසු අබු බකර් (රලි) තුමා නායකයා ලෙස පිළිගන්නා අතර ෂියා මුස්ලිම්වරු නබිතුමාගේ බෑණනුවන් වන අලි (රලි) තුමා සහ ඔහුගේ පරම්පරාව නායකයන් ලෙස පිළිගනිති. යාච්ඤා කිරීමේදී සුන්නිවරු දිනකට පස් වතාවක් වෙන් වෙන්ව යාච්ඤා කරන අතර ෂියා මුස්ලිම්වරු ඇතැම් විට එම පස් වතාවේ යාච්ඤාවන් තුන් වතාවකට ගොනු කර සිදු කරති. ආගමික උත්සව සම්බන්ධයෙන් ගත් කල දෙපාර්ශ්වයම ඊදුල් ෆිතර් සහ ඊදුල් අල්හා සමරන නමුත් ෂියා ප්‍රජාව ‘ආෂුරා’ දිනය ඉතා වැදගත් කොට සලකති. ශ්‍රී ලංකාවේ ෂියා ප්‍රජාව ඉතා සාමකාමී සහ පාලිත පිරිසක් වන අතර ඔවුන් ව්‍යාපාරික, අධ්‍යාපනික සහ සුභසාධන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. විශේෂයෙන්ම බෝරා ප්‍රජාවගේ ආගමික නායකයා වරින් වර ලංකාවට පැමිණීම මෙරට සංචාරක ව්‍යාපාරයට ද විශාල උත්තේජනයක් සපයයි.
ඉස්ලාමීය ලෝකයේ අභිවෘද්ධිය උදෙසා දේවධර්මීයව නොව ප්‍රායෝගිකව සහ දේශපාලනිකව සහජීවනයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවකි. අන්‍යෝන්‍ය අවිශ්වාසය පවතින තාක් කල් ඉන් වාසි ලබන්නේ බාහිර බලවේගයන් බැවින්, ජාත්‍යන්තර දේශපාලන න්යායපත්රවලට වඩා තමන් වෙසෙන රටේ පොදු අනන්‍යතාව සහ සාමකාමී සහජීවනය උදෙසා සියලු නිකායිකයන් එක්සත් විය යුතුය.
මුස්ලිම් ප්‍රජාව තුළ පවතින මෙම අසමගිය නිසා බාහිර බලවතුන් විසින් ඔවුන්ව ‘බෙදා පාලනය කිරීමේ’ උපක්‍රමය සඳහා යොදා ගනු ලබයි. නිකායික මතභේද මුල් කරගෙන කලාපීය යුද්ධ සහ අභ්‍යන්තර ගැටුම් සඳහා සම්පත් සහ කාලය වැය කිරීම දියුණුවට බාධාවකි. එසේම ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) වැනි ආයතන තුළ තීරණ ගැනීමේදී මෙම බෙදීම ආයතනික මන්දගාමී බවක් ඇති කරයි. පොදු ගැටලු හමුවේ එක් ප්‍රජාවක් ලෙස පෙනී සිටීමට ඇති හැකියාව දුර්වල වීම සහ අන්තවාදී ප්රවණතා ව්‍යාප්ත වීමට ඉඩකඩ විවර වීම මෙහි ඇති භයානකම ප්රතිඵලයයි. අවසාන වශයෙන්, සුන්නි-ෂියා සමගිය නොමැති වීම මුස්ලිම්වරුන්ගේ විනාශයට හේතුවක් බව පැහැදිලිය. ඉස්ලාමීය ලෝකයේ අභිවෘද්ධිය උදෙසා දේවධර්මීයව නොව ප්‍රායෝගිකව සහ දේශපාලනිකව සහජීවනයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවකි. අන්‍යෝන්‍ය අවිශ්වාසය පවතින තාක් කල් ඉන් වාසි ලබන්නේ බාහිර බලවේගයන් බැවින්, ජාත්‍යන්තර දේශපාලන න්යායපත්රවලට වඩා තමන් වෙසෙන රටේ පොදු අනන්‍යතාව සහ සාමකාමී සහජීවනය උදෙසා සියලු නිකායිකයන් එක්සත් විය යුතුය.
ෆාතිමා හලල්දීන්