හොඳ රැකියා සඳහා පොතපතේ දැනුම අභිබවා කුසලතා පෙරට

vinivida

වර්තමාන වේගයෙන් වෙනස්වන ලෝකයේ, රැකියා වෙළඳපොළ තුළ නිහඬ විප්ලවයක් සිදුවෙමින් පවතී. පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන් විශ්වාස කළේ අධ්‍යාපනික සුදුසුකම් යනු සාර්ථකත්වයේ රන් යතුර බවත්, එය හොඳ වැටුපක් සහ සුරක්ෂිත වෘත්තියකට ඇති සහතික කළ මාර්ගය බවත්ය. නමුත් දැන්, එම විශ්වාසය අභියෝගයට ලක්ව තිබේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත ජාතීන් ඇතුළුව ලොව පුරා සිටින සේවා යෝජකයන් (employers) අධ්‍යාපන සුදුසුකම්වල සිට කුසලතා, නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය වෙත තම අවධානය යොමු කරමින් සිටිති. හැකියාව බොහෝ විට ශාස්ත්‍රීය නිල නාමයන්ට වඩා බරින් වැඩි වන, කුසලතා මත පදනම් වූ රැකියා ජනනය වන යුගයක් ආරම්භ වී ඇති අතර, බොහෝ අවස්ථාවලදී නිපුණතාවයන්ගේ යුක්ත පුද්ගලයෝ දැන් සාම්ප්‍රදායික වෘත්තිකයන්ට වඩා වැඩි ආදායමක් උපයති.

මෑත වසරවලදී, ගෝලීය ශ්‍රම බලකාය, පුද්ගලයෙකු සතුව ඇති සහතික හෝ පොත්පතේ දැනුමට වඩා ඔවුන්ට කළ හැකි දේ අගය කිරීම වෙත පැහැදිලිවම යොමු වී ඇත. මෙම වෙනස ප්‍රබල සාධක කිහිපයක් මගින් මෙහෙයවනු ලැබේ. ඉන් එකක් වන්නේ තාක්ෂණය වේගයෙන් වෙනස් වීමය. අධ්‍යාපනික විෂය මාලාවලට වඩා වේගයෙන් තාක්ෂණය පරිණාමය වේ. කෘත්‍රිම බුද්ධිය (AI), රොබෝ විද්‍යාව සහ දත්ත විද්‍යාව වැනි නැගී එන ක්ෂේත්‍ර කෙතරම් වේගයෙන් වෙනස් වේද යත්, විධිමත් අධ්‍යාපනයට බොහෝ විට එම වේගය පවත්වා ගැනීමට අපහසු වී ඇත.

Coursera, Udemy සහ Google Career Certificates වැනි මාර්ගගත අධ්‍යාපන වේදිකා ඉගෙනීමට ඕනෑම අයෙකුට සමාන අවස්ථාවක් ලබා දී ඇත. මේවා ඕනෑම කෙනෙකුට කර්මාන්ත මට්ටමේ කුසලතා අඩු වියදමකින් සහ ඉක්මනින් ලබා ගැනීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය නොලැබූ පුද්ගලයන්ට පවා ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් වීමට හැකි වී ඇති අතර, සේවායෝජකයන් ඔවුන් හඳුනාගෙන ඔවුන්ට ඉහළ අවස්ථාවන් ලබා දීමට නැඹුරුවක් දක්වමින් සිටී.

ශ්‍රම හිඟය තවත් හේතුවකි. විශේෂිත ක්ෂේත්‍රවල පවතින ශ්‍රම හිඟය හේතුවෙන් සේවා යෝජකයන් තම බඳවා ගැනීමේ නිර්ණායකවලදී වඩාත් නම්‍යශීලී වී තිබේ. ඔවුහු දැන් අධ්‍යාපන සුදුසුකම් මගින් අයදුම්කරුවන් තෝරා ගන්නවාට වඩා ප්‍රායෝගික හැකියාව සහ සැබෑ ලෝකයේ අත්දැකීම් අපේක්ෂා කරති..

තවද, Coursera, Udemy සහ Google Career Certificates වැනි මාර්ගගත අධ්‍යාපන වේදිකා ඉගෙනීමට ඕනෑම අයෙකුට සමාන අවස්ථාවක් ලබා දී ඇත. මේවා ඕනෑම කෙනෙකුට කර්මාන්ත මට්ටමේ කුසලතා අඩු වියදමකින් සහ ඉක්මනින් ලබා ගැනීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය නොලැබූ පුද්ගලයන්ට පවා ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් වීමට හැකි වී ඇති අතර, සේවායෝජකයන් ඔවුන් හඳුනාගෙන ඔවුන්ට ඉහළ අවස්ථාවන් ලබා දීමට නැඹුරුවක් දක්වමින් සිටී.

මෙම පරිවර්තනය ලෝකයේ වඩාත්ම දියුණු ආර්ථිකයන් තුළ වඩාත් පැහැදිලිව පෙනෙයි. එක්සත් ජනපදයේ, Google, IBM, Tesla සහ Apple වැනි ප්‍රධාන සමාගම් තම තනතුරු රැසක් සඳහා වන අධ්‍යාපනික සුදුසුකම් නිල වශයෙන් ඉවත් කර තිබේ. ඔවුහු දැන් කුසලතා ඇගයීම් (skills assessments), ව්‍යාපෘති සමූහයන් (project portfolios) සහ ප්‍රායෝගික අත්දැකීම් මත පදනම්ව බඳවා ගැනීම් සිදු කරයි.

එක්සත් රාජධානිය සහ යුරෝපීය රටවල් ගණනාවක් ද විශේෂයෙන්ම තාක්ෂණ, මාධ්‍ය සහ සැලසුම් කර්මාන්තවලදී “පළමුව කුසලතා” (skills-first recruitment)යන පදනම යටතේ බඳවා ගැනීමේ ආකෘති අනුගමනය කරති. රජයේ ආයතන පවා “අත්දැකීම් මත පදනම් වූ බඳවා ගැනීම්” කෙරෙහි අවධානය යොමු කරමින් පවතී. මේ අතර, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් විධිමත් අධ්‍යයන සුදුසුකම්වලට වඩා විශේෂිත කුසලතා සහ නිපුණතා අගය කරමින් මෙම ප්‍රවේශය ඔවුන්ගේ ආගමන සහ රැකියා ප්‍රතිපත්ති වෙත ව්‍යාප්ත කර ඇත.

ලෝක ප්‍රවණතාව මෙසේ වුව ද අධ්‍යාපනයෙහි කිසිදු වටිනාකමක් නැතැයි යන වැරදි අවබෝධයක් ඇති කර ගත යුතු නැති බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. වෛද්‍ය විද්‍යාව, නීතිය, ගුරු වෘත්තිය සහ ඉංජිනේරු විද්‍යාව වැනි ගැඹුරු න්‍යායාත්මක දැනුම, වෘත්තීය ආචාර ධර්ම හෝ නීතිමය සහතික කිරීම් අත්‍යවශ්‍ය වන ඇතැම් වෘත්තීන්හිදී විධිමත් අධ්‍යාපනය අත්‍යවශ්‍යව පවතී. මෙම ක්ෂේත්‍ර සම්මතයන් සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පාදක පුහුණුව මත රඳා පවතී.

කෙසේ වෙතත්, අනෙකුත් කර්මාන්ත බොහොමයක, පොතපතේ දැනුම පමණක් තවදුරටත් ප්‍රමාණවත් නොවේ. සේවායෝජකයන් දැන් වඩාත් උනන්දු වන්නේ ප්‍රායෝගික නිපුණතාව, අනුවර්තනය වීමේ හැකියාව සහ නිර්මාණාත්මක ගැටලු විසඳීම පිළිබඳවය. අධ්‍යාපනයට දොරක් විවෘත කළ හැකි නමුත්, එය විවෘතව තබාගත හැක්කේ කුසලතාවන් ඇත්නම් පමණි. අධ්‍යාපනය පදනමක් ලබා දෙන අතර, කුසලතා රැකියා සුදුසුකම් තීරණය කරයි.

උසස් අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව වුවද, නිපුණතාවන්ගෙන් යුක්. පුද්ගලයන් බොහෝ විට සාම්ප්‍රදායික වෘත්තිකයන්ට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමේ ප්‍රවණතාවක් පවතී. එයට එක් හේතුවක් වන්නේ ඉහළ ඉල්ලුම, සහ අඩු සැපයුමය. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂාව හෝ උසස් තාක්ෂණික වෙළඳාම් (advanced technical trades) වැනි දුර්ලභ හෝ වේගයෙන් පරිණාමය වන කුසලතා ඉතා වටිනා ඒවා වේ. සේවායෝජකයෝ එවැනි දක්ෂතා ආකර්ෂණය කර ගැනීම සඳහා අතිරේක වැටුප් ගෙවන්නට කැමැත්තෙන් සිටිති. තවත් හේතුවක්වන්නේ ඍජු වටිනාකම් නිර්මාණය වීමය. නිපුණතා සහිත සේවකයින් නිතරම මැනිය හැකි ප්‍රතිඵල සඳහා දායක වේ. ජලනල කාර්මිකයෙකු, විදුලි කාර්මිකයෙකු, වැද්දුම්කරුවකු ඍජුවම ව්‍යාපාරයක් හෝ ආදායමක් උත්පාදනය කරන දෘශ්‍යමාන ප්‍රතිඵල ලබා දෙයි. ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ ඵලදායිතාව පිළිබිඹු කරයි. නිදහස් සේවය (Freelancing) සහ ස්වයං රැකියාව මේ පසුපස ඇති තවත් හේතුවක් වේ. නිපුණතාවන්ගෙන් යුක්ත පුද්ගලයින්ට අන්තර්ජාලය ඔස්සේ ස්වාධීනව වැඩ කිරීමට, තමන්ගේම ගාස්තු නියම කිරීමට සහ ගෝලීය ගනුදෙනුකරුවන් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබී තිබේ. දක්ෂ නිර්මාණකරුවෙකුට හෝ ක්‍රමලේඛකයෙකුට ස්ථාවර වැටුප් සහිත රැකියාවක සිටින උපාධිධාරී සේවකයෙකුට වඩා නිදහස් සේවයෙන් වැඩි ආදායමක් උපයාගත හැකිය. කාර්ය සාධනය මත පදනම් වූ වර්ධනය තවත් හේතුවකි. ව්‍යුහගත ධූරාවලියක (structured hierarchies) සිටින වෘත්තිකයන් මෙන් නොව, නිපුණතාවන්ගෙන් හෙබි සේවකයින්ට පුද්ගලික කොන්ත්‍රාත්තු ලබා ගැනීමෙන්, අමතර පැය ගණනක් වැඩ කිරීමෙන් හෝ තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමෙන් තම ආදායම පුළුල් කරගත හැකිය.

තාක්ෂණික අංශයේ, තමන් විසින්ම ඉගෙන ගත් (self-taught) බොහෝ මෘදුකාංග සංවර්ධකයින්, දත්ත විශ්ලේෂකයින් සහ සදාචාරාත්මක හැකර්වරුන් (ethical hackers) දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට වඩා වැඩි වැටුප් ලබති. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ පළපුරුදු මෘදුකාංග කේතකරුවන් බොහෝ විට පරිගණක විද්‍යා උපාධි නොමැතිව වුවද අංක හයක ආදායමක් (six-figure incomes) උපයති.

නිපුණතා වෙළඳාම්වලදී (skilled trades), වැද්දුම් ශිල්පය (welding), ජලනල සහ විදුලි කාර්මික ශිල්පය වැනි වෘත්තීන් ඉතා ලාභදායී වී තිබේ. එක්සත් ජනපදයේ හෝ කැනඩාවේ, පළපුරුදු විදුලි කාර්මිකයෙකුට වසරකට ඇමරිකානු ඩොලර් 80,000-120,000 (රුපියල් මිලියන 24 – 36) උපයා ගත හැකි අතර, උපාධියක් ඇති ගුරුවරයෙකුට උපයා ගත හැක්කේ ඩොලර් 50,000-70,000 (රුපියල් මිලියන 15 – 21) අතර මුදලක් පමණි.

ඒ හා සමානව, ඩිජිටල් කලාකරුවන්, වීඩියෝ සංස්කාරකවරුන් සහ UI/UX නිර්මාණකරුවන් වැනි නිර්මාණාත්මක නිදහස් සේවකයින් බොහෝ විට විශේෂිත වැඩ සඳහා පැයකට ඩොලර් 50-200 (රුපියල් 15,000 – 60,000 ක් පමණ) අය කරති.

මෙම රටාව සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ද දක්නට ලැබේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පිලිපීනය වැනි රටවල, ඉහළ නිපුණතා සහිත නිදහස් සේවකයන් හෝ කාර්මික ශිල්පීන්, විශේෂයෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සඳහා වැඩ කරන විට, විශ්වවිද්‍යාල උපාධි සහිත රජයේ හෝ ලිපිකරු නිලධාරීන්ට වඩා කිහිප ගුණයකින් වැඩි ආදායමක් උපයති.

යථාර්ථය නම් අධ්‍යාපනයට එහි වටිනාකම නැති වී යාම නොවේ. නමුත් කුසලතා එයට සමාන හෝ ඊට වඩා වැඩි වැදගත්කමක් ලබාගෙන තිබීමයි. නවීන වෘත්තිකයෙකුට මේ දෙකෙහිම සංයෝජනයක් අවශ්‍ය වේ. ඒ න්‍යායාත්මක පදනම සඳහා විධිමත් අධ්‍යාපනය සහ සැබෑ ලෝකයේ කාර්ය සාධනය සඳහා ප්‍රායෝගික කුසලතා රැස් කර ගැනීමය. සැබෑ මෘදුකාංග ව්‍යාපෘති ගොඩනඟන පරිගණක විද්‍යා උපාධිධාරියෙකු හෝ සැබෑ අලෙවිකරණ ව්‍යාපාර කරන අලෙවිකරණ උපාධිධාරියෙකු පන්ති කාමර දැනුම පමණක් ඇති කෙනෙකුට වඩා පහසුවෙන් ඉදිරියෙන් සිටිනු ඇත.

අධ්‍යාපනය පදනම් කරගත් පසුබිම්වලින් පැමිණෙන වෘත්තිකයන්ට ඇත් පිළිගැනීම තුරන්ව යන බවක් මෙයින් පැවසෙන්නේ නැත. නමුත් එය නැවත අර්ථ දැක්වෙමින් පවතී. 21 වන සියවසේ රැකියා වෙළඳපොළේ සාර්ථකත්වය රඳා පවතින්නේ කෙනෙකු සතුව ඇති උපාධියට වඩා ඔවුන්ට “කළ හැකි දේ” මත ය. ගෝලීය ආර්ථිකය වැඩි වැඩියෙන් නවෝත්පාදනය, අනුවර්තනය වීමේ හැකියාව සහ කාර්ය සාධනය සඳහා ඉහළ වටිනාකම් පිරිනමයි. කෙටියෙන් කිවහොත්, සැබෑ ලෝකයේ හැකියාව රැකියාවේ නව මුදල් ඒකකය බවට පත්ව ඇත.

අධ්‍යාපනය සහ ආදායම අතර සාම්ප්‍රදායික සම්බන්ධය පෙර තරම් ශක්තිමත් නොවේ. ලොව පුරා, මෘදුකාංග සංවර්ධකයින්ගේ සිට විදුලි කාර්මිකයන් දක්වා නිපුණතා සහිත බොහෝ සේවකයෝ දැන් උපාධිධාරී වෘත්තිකයන්ට වඩා වැඩි ආදායමක් උපයති. මෙම වෙනස මගින් සමාජය වැඩ අගය කරන ආකාරයෙහි ගැඹුරු වෙනසක් පිළිබිඹු කරයි. එනම් නිල නාමවලින් දක්ෂතා වෙතටත්, සහතිකවලින් නිපුණතා වෙතටත් අවධානය යොමු වෙමින් පවතින බවය.

අනාගතයේදී, වඩාත්ම සාර්ථක පුද්ගලයන් වනු ඇත්තේ අනිවාර්යයෙන්ම ඉහළම උපාධිධාරීන් නොව, ස්ව උත්සාහයෙන් ඉගෙන ගන්නා, අනුවර්තනය වන සහ සිය කුසලතා ඵලදායීව යොදන්නා වූ පුද්ගලයන්ය. කුසලතා මත පදනම් වූ සාර්ථකත්වයේ යුගය සැබවින්ම පැමිණ තිබේ. ඒ වෙනුවෙන් ඉහල මිලක් ගෙවන්නට සේවා යෝජකයෝ සැදී පැහැදී සිටිති.

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

එතෙර - මෙතෙර