අකලට මහළුව ජරා ජීර්ණ වූ බේරේ වැව් කොමළිය බේරා ගත හැකි වේද?

vinivida.lk

අප රටේ ඇති අනේක විධ වැව් අතුරින් සුවිශේෂ අනන්‍යතාවක් හිමි කර ගෙන හිඳින කොළඹ බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.ඒ සමඟම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස ඔහු අදාළ ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත. දැනට දශක කිහිපයක සිට කුණු ගඳ සංකේතවත් කරන බේරේ වැව කොම්පඤ්ඤවීදිය, ඩී. ආර්. විජයවර්ධන මාවත, අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශ, ගාලු මුවදොර, පිටකොටුව බැස්ටියන් මාවත දක්වා වූ විශාල වපසරියක පැතිර පවත්නා ජලාශයකි. යටත් විජිත යුගයේ කොළඹ කොටුව( ආරක්ෂක බල කොටුව )ආරක්ෂා කළ ජල පවුර වූ බේරේ වැව මේ වන විට විවිධ මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් ව ඇත. එහි ඇතැම් කොටස් ජලය බැස නොයන දුගඳ හමන පල් වගුරු බවට පත්ව තිබේ. කොළඹ බැස්ටියන් මාවත හා කොටුව දුම්රියපොළ ආශ්‍රිතව පිහිටා ඇත්තේ ද ජලාපවහන කටයුත්ත අක්‍රිය වීම මත බේරේ වැවෙන් වෙන් වූ එවැනි කොටසකි.

පාවෙන වෙළෙඳපොළ සංකීර්ණය පිහිටා ඇත්තේ ද මෙහි ය. අද කොළඹ, පිටුකොටුව මරදාන ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් නාසය හකුළුවාගෙන යා නොහැකි අන්දමේ අධික දුර්ගන්ධයට හේතු වී ඇත්තේ ජලාශයේ දුම්රිය මාර්ගයත්, විජයවර්ධන මාවතත් අතර ඇති මේ පල් වූ කොටස නිසා ය.මෙවැනි අප්‍රසන්නකාරී පරිසරයන් ඇති අගනුවර වල් සහිත රටවල් ඇත්තේ ද අතලොස්සකි. නමුත් ස්වාභාවික වශයෙන් බේරේ වැව යනු කොළඹ නගරයේ පිහිටි ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා පරිසර පද්ධතියකි.එම තෙත් බිම් කලාපය කුරුල්ලන්, මත්සයන්, උරග විශේෂ, උභය ජීවීන් මෙන්ම මෙන්ම ක්ෂීරපායි සතුන්ගේ ද වාසස්ථානයක්ව පවතින ස්ථානයකි. ජලජ පක්ෂීන් මෙන්ම වැව් ඉවුර හා ඒ අවට ඇති ගස් වල වාසය කරන පක්ෂි විශේෂ ද කිහිපයක් වාර්තා වෙයි.එම තත්වයන් අළලා පසුගිය කාලය තුළ බේරේ වැව ආශ්‍රිත සත්ව හා ශාක ගහණය පිළිබඳ අධ්‍යනයක් ද සිදු ව තිබිණ.ඉන් සනාථ වී තිබුණේ බේරේ වැව ආශ්‍රිත ජල ජීවී පරිසර පද්ධතිය සැලකිය යුතු පාරිසරික අගයකින් යුතු බව ය.එමෙන්ම එය අභිරක්ෂණය කිරීමෙන් අත් කර ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද එම අධ්‍යයන වාර්තාවේ සඳහන් විය. පෘතුගීසීන් විසින් තනන ලද කොළඹ කොටුවේ ආරක්ෂාවට එනම් සිංහල හමුදාවන්ගෙන් එල්ලවන ප්‍රහාර අවම කරගැනීමට කොටුව වටා ඉදි කළ දිය අගල පසුකාලීනව බේරේ වැව ලෙස නම් කළ බව ඇතැම්හු කියති.ඒ අනුව මෙය කෘත්‍රිමව තනවන ලද ජලාශයක් බව ද නිසැක ය. 1796 දී සිතියමක කොළඹ විල( Colombo lake)ලෙස නම් කර තිබුණ ද බේරේ වැව යන නම නිල වශයෙන් ලැබී ඇත්තේ 1927 වර්ෂයේදී බව සඳහන් ය. අද වන විට හෙක්ටයාර 65.4 පුරා විසිරී ඇති බේරේ වැවෙහි ගැඹුර මීටර් දෙකකි.


පුරාණ කාලයේ කෘෂිකාර්මික කටයුතු උදෙසා රජවරුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු බොහොමයක් තිබේ. නමුදු පසුව අපේ රට පාලනය කළ යුරෝපීය ජාතිකයන් ඉදිකළ වැව් ඇත්තේ සීමිත ප්‍රමාණයකි. ඒවා අතරින් ප්‍රධානම තැනක් බේරේ වැවට හිමිවන බව නිසැක ය.එමෙන්ම මෙය කෘෂිකාර්මික කටයුතු සඳහා තනන ලද වැවක් නොවීම ද විශේෂත්වයකි.අප රටේ අතීත සමාජ විද්‍යාත්මක කරුණු රැසක් ගෙන හැර දැක්වූ ආර්.එල්. බ්‍රෝහියර් දක්වන කරුණු අනුව මේ බෙරේ වැව පෘතුගීසී නිර්මාණයක් වුවද ක්‍රමවත් සැලැස්මකින් ක්‍රියාත්මක කරන ලද්දේ ලන්දේසීන් විසිනි. ලන්දේසි යුගයේ බේරේ වැව භාරව සිටි සී. බේර්ය නම් ඕලන්ද ජාතිකයාගේ නමින් හැඳින්වුණු මෙය පසුව බේරේ වැව වූ බව බ්‍රෝහියර් කියයි. බේරේ වැවේ වූ ගරා වැටුණ සොරොව්වක තිබී ‘ක්‍රි.ව. 1700 ද බේයර්’ යන්න සඳහන් ඵලකයක් හමු වූ බව ද බ්‍රෝහියර් ප්‍රකාශ කොට තිබේ.ඒ අනුව ලන්දේසි යුගයේ මෙය බේර්ය වැව ලෙස ව්‍යවහාර කොට ඇති නමුත් පසුව සිහංල ඌරුවට මෙය බේරේ වැව ලෙස ව්‍යවහාරයට එක්වන්නට ඇතැයි සිතිය හැක.ලන්දේසීන් යනු තෙත් බිමක් නිජ බිම කොට ගත් ජාතියකි.එබැවින් ඔව්හු ජල කළමණාකරන විශේෂඥයෝ ද වෙති.මේ වන විට ජරාවාස බවට පත් ව තිබුණ ද එවක දියුණු ජල කළමණාකරන පද්ධතියක් බේරේ වැව ආශ්‍රිතව තිබී ඇත.වැසි වතුර රඳවා ගන්නා පහත් (තෙත්) බිමක් ලෙස ද ගංවතුර පාලනය කරන ස්ථානයක් ලෙස ද මෙය ක්‍රියා කරයි. ගාලු මුවදොර දී හමුවන බේරේ බේසම ලෙසින් හඳුන්වන ලබන බේරේ වැවේ වාන් දොරටු අසල දක්නට ලැබෙන පක්ෂි ගහණය බොහෝ පරිසරවේදීන් ගේ අවධානයට ලක්ව තිබේ.එය ඔවුනට පහසුවෙන් මසුන් ගොදුරු කර ගත හැකි ස්ථානයකි. අධික ජන පීඩනයකින් යුතු බේරේ වැව ආශ්‍රිත පරිසර පද්ධතිය රැක ගත යුතුම ය. එහෙත් ඒ එහි ජන ජීවිත වලට ද බාධාවක් නොවන ලෙසිනි.බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා එමෙන්ම පරිසර සංරක්ෂණය සඳහා භාවිතා කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීමට ඇති හැකියාව මෙහිදී විමසා බලන ලදී. එමෙන්ම බේරේ වැවට හරවන ලද මලාපවහන නළ මාර්ග වළක්වාලීම සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණ.එමෙන්ම කොළඹ නගරයේ වැසි ජලය බැසයාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
1795 දී පමණ මෙම ප්‍රදේශය ලන්දේසින් ගෙන් ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට නතු වුවද ඔවුන් ද බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය හොඳින් අභිරක්ෂණය හා නඩත්තු කරමින් තමන්ගේ අවශ්‍යතාවලට භාවිත කළ බව පෙනෙයි ඒ කාලයේ කොළඹ නගරය සොඳුරු කළ බේරේ වැව අවට පරිසරය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබූ බව ඉංග්‍රීසි ජාතිකයන් ගේ වාර්තා වලින් පෙනෙයි.1828 ත් 1839 ත් අතර වකවානුවේදී රාජකීය කාලතුවක්කු හමුදාවේ සේවයේ නියුතු ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෙස්මින් බේරේ වැවේ රමණීයත්වය මෙසේ විස්තර කොට තිබේ.

“බේරේ වැව යනු ඉතාමත් සුන්දර දිය දහරකි. එයට දියවර සැපයීමට කුඩා ඇළ මාර්ග කීපයක්ම තිබේ. කොටුවේ සොරොව්වේ සිට ඊසාන දිගට සැතපුම් හතරක් පහක් පමණ දිගු විය.බේරේ වැව නිසා කොළඹ නගරය සැබවින්ම සිත් ගන්නා තෝතැන්නක් බවට පත්ව තිබේ”

මෙම යුගයේදී බේරේ වැව ආශ්‍රිත තෙත් බිම් කලාපය නාගරික සමාජයේ කලා හා සෞන්දර්ය නිකේතනයක් ලෙසත් භාවිතා කොට තිබේ. තුරුලතා, මල්වතු, තණපිටි ආදියෙන් සමන්විත වූ මේ ප්‍රදේශය වරාය ආශ්‍රිතව තිබුණු කලබලකාරීත්වයට නිස්කලංක බවක් එක් කළ බව නිසැකය. මෙම වැව අවට විවිධ උද්‍යාන උත්සව සැනකෙළි ආදියත් පවත්වා තිබේ. නමුත් දහ නව වන සියවසේ අප රටේ දුම්රිය සේවා ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සහ මරදාන ආශ්‍රිත බේරේ වැවෙන් සැලකිය යුතු කොටසක් ගොඩ කිරීමට සිදුව තිබේ.මේ සඳහා මහර ප්‍රදේශයේ සිට දුම්රියෙන් ප්‍රවාහණය කළ පස් කියුබ් ලක්ෂ ගණනක් යොදා ගෙන තිබේ.ඒ පස් 1875 අරඹන ලද මහර බන්ධනාගාරයේ ආරම්භක රැඳවියන් විසින් කපන ලද ඒවා බව ද කියනු ලැබේ.කෙසේ නමුත් පසුකාලීනව නාගරීකරණය මත පදනම් ව ඇති වූ ශීඝ‍්‍ර දියුණුවත් සමඟ සුන්දර බේරේ වැව ආශ්‍රිත පරිසර පද්ධතිය බරපතල ලෙස දුෂණය විය.ඒ අනුව අද බේරේ වැව කී සැනින් බොහෝ දෙනෙකුට එකවරම මතක් වෙන්නේත් ඒ ආශ්‍රිතව පවතින අධික දුර්ගන්ධයයි.


ජලාශය මතුපිට නීලහරිත ඇල්ගී නම් විශේෂය පැතිර යාම නිසා ජලයේ පහළ ප්‍රදේශයට සූර්ය ආලෝකය ගලා නොඒම හේතුවෙන් බැක්ටීරියා විශේෂ සක්‍රීය වීම ද ‍ජලාශයේ දුර්ගන්ධයට හේතුවකැයි පරිසර විද්‍යාඥයෝ කියති.එම තත්වය යටතේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සක්‍රීය වීම ද පැතිරෙන දුර්ගන්ධයට හේතුව බව පරිසරවේදීහු පවසති. මෙයට අමතරව බාහිර ද්‍රව්‍ය ජලාශයට එක්වීම ද මේ දුර්ගන්ධය දෙගුණ තෙගුණ වීමට බලපා තිබේ.දුර්ගන්ධය පිළිබඳව විද්‍යාත්මක මතය එය වුවද කසළ ඉවත් කිරීම අක්‍රමවත් වීම නිසි කලට කසළ ඉවත් නොකිරීම යන කරුණු ද දුර්ගන්ධයට මූලික හේතුවක් බව මේ ජලාශය අවට වැසියෝ සඳහන් කරති.නමුදු එම තත්වය පාලනය කිරීම අද වන විට දැවැන්ත අභියෝගයක් වී තිබේ. ඒ කෙසේ හෝ අකලට මහළු වී ජරා ජීර්ණ තත්වයට පත් බේරේ වැව් කොමලිය බේරා ගැනීම පැසසිය යුත්තකි.ඉන් ජනතාවට සේම රටට ද ලද හැකි ප්‍රතිලාභ බොහෝ ය.එහෙත්, කෙතරම් හොඳ වැඩක් වුව නරකට කිරීමෙන් ලෝක වාර්තා මට්ටමක හිඳින අපේ වග කිව යුත්තන් මේ කාරිය කෙලෙස ඉටු කරනු ඇද්දැයි කාටවත්ම කීමට නොපුළුවන.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර