අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හාන්ස් විජයසූරිය මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිවරයා ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳ ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කරගනු ලැබ ඇත.

එහෙත්, මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමත් ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වැඩි‌ වෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවර්තනයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පැනනැඟී ඇති අතර බොහෝ රටවල් තම අධ්‍යාපන පද්ධතිවල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා ඩිජිටල් ප්‍රතිලාභ කාර්යක්ෂමව උපයෝගි කරගනු ලබයි. ශ්‍රී ලංකාව ද විවිධ ඩිජිටල් අධ්‍යාපන මුලපිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ගැනීමට හැකි වී නොමැත. එබැවින්, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපායමාර්ගික ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

කාලීන පුවත්