අන්තර්ජාලයෙන් ජාතිවාදී ජාවාරමක් කළ සූරියපුර

ගීත් සූරියපුර නම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍යකරුවා විසින් බ්‍රිතාන්‍යයේ මුස්ලිම් සංක්‍රමණිකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ සංක්‍රමණ විරෝධී ෆේස්බුක් ජාලයක් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ The Times, එරටට අයත් විමර්ශනාත්මක පුවත්පත් කලාව පිළිබඳ කාර්යාංශය (The Bureau of Investigative Journalism – TBIJ) සහ එක්සත් රාජධානියේ මූලෝපායික සංවාද ආයතනය (Institute for Strategic Dialogue – ISD) වැනි විමර්ශන ආයතන මගින් තොරතුරු අනාවරණය කොට තිබේ. මෙම ජාලය හරහා විශාල වශයෙන් මුදල් ඉපයීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයේ දේශපාලන හා සමාජ බෙදීම් ඇවිස්සෙන ආකාරයේ අන්තර්ගතයන් නිර්මාණය කර ඇත.

සූරියපුර විසින් මෙහෙයවනු ලැබූ මෙම ජාලයේ පරිමාණය ඉතාමත් පුදුම සහගතය. The Times පුවත්පත වාර්තා කරන පරිදි, සූරියපුර සහ ඔහු යටතේ පුහුණුව ලැබූවන් විසින් ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් 128ක් පමණ පවත්වාගෙන ගොස් ඇත. මෙම සමස්ත ජාලය ඒකාබද්ධව ගත් කළ, අනුගාමිකයින් මිලියන 1.6කට ආසන්න පිරිසක් ආකර්ෂණය කරගෙන තිබේ.

සූරියපුර විසින් මෙහෙයවනු ලැබූ මෙම ජාලයේ පරිමාණය ඉතාමත් පුදුම සහගතය. The Times පුවත්පත වාර්තා කරන පරිදි, සූරියපුර සහ ඔහු යටතේ පුහුණුව ලැබූවන් විසින් ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් 128ක් පමණ පවත්වාගෙන ගොස් ඇත. මෙම සමස්ත ජාලය ඒකාබද්ධව ගත් කළ, අනුගාමිකයින් මිලියන 1.6කට ආසන්න පිරිසක් ආකර්ෂණය කරගෙන තිබේ. මෙම විශාල පිරිස ඉලක්ක කර ගනිමින්, ජාලය විසින් සංක්‍රමණ සහ ඉස්ලාම් ආගම වටා බ්‍රිතාන්‍යයේ පවතින සමාජ ආතතීන් උග්‍ර කිරීම සඳහා උද්වේගකර වීඩියෝ, මීම්ස් (Memes) සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ජනනය කළ විවිධාකාර ඡායාරූප පළ කර තිබේ.

සමාජ ජාල සඳහා විවිධ ඡායාරූප, වීඩියෝ ආදිය ක්‍රමවත් අයුරකින් සිදු කරන්නේ නම් ඒවාට සැලකිය යුතු තරම් මුදලක් ගෙවන්නට සිදු වේ. නමුත් සූරියපුර මේ සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කළ බැවින් ඒවා නොමිලයේ දහස් ගණනින් නිර්මාණය කරගන්නට ඔහුට හැකියාව තිබිණි. ඔහු පිළිබඳ විමර්ශනය කරන කණ්ඩායම් ඔහුව “අසත්‍ය තොරතුරු කර්මාන්තශාලාවක්” ලෙස සඳහන් කර තිබේ.

ගීත් සූරියපුර

මෙම ජාලයේ ප්‍රචාරණ කටයුතු ඉහළ මට්ටමකට ගෙන ඒමට කෘත්‍රිම බුද්ධිය (AI) මෙවලම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මූලෝපායික සංවාද ආයතනය හෙවත් ISD පර්යේෂකයන් සඳහන් කළේ, කෘත්‍රිම බුද්ධිය භාවිතය නිසා අන්තර්ගතය නිෂ්පාදනය කිරීමේ පිරිවැය සහ කාලය විශාල ලෙස අඩු වූ බවයි.

මෙම ජාලය විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝ සහ පින්තූර බොහෝ විට ඍජු හා අසත්‍ය තොරතුරුය. නිදසුනක් වශයෙන්, The Times පෙන්වා දුන් පරිදි, ලන්ඩනයේ නගර සභාව විසින් ඉදිකරන මහල් නිවාස මුස්ලිම් ජාතිකයින්ට පමණක් මිලට ගත හැකි ය යනුවෙන් ඔහු එක් පෝස්ට් එකක් දමා තිබේ. ඔහු මේවා කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කොට ඇති අතර ඒවා බිය හා කෝපය ඉහළ යන ආකාරයෙන් සකස් කොට තිබේ.

The Times වෙබ් අඩවියේ පළ වූ පුවත

වෙනත් සමාජ ජාල ක්‍රියාකාරීන්ට කළ නොහැකි දේ ඔහු සිදු කරන හෙයින්, ඔහු විසින්ම ඔහුව “ෆේස්බුක් දැන්වීම් රජු” (“Facebook ads king”) ලෙස හඳුන්වා දී තිබේ. ඔහු විසින් නිර්මාණය කර ගත් විවිධ ෆේස්බුක් පිටු (Facebook Pages) තුළින් තමා ඇමරිකානු ඩොලර් 300,000 ක් (රුපියල් මිලියන 97 ක් පමණ) උපයා ගත් බව සඳහන් කර තිබේ. මේවා විගණන වාර්තා තුළින් තහවුරු වී නොමැති නමුත් ඔහු විසින්ම සමාජ මාධ්‍ය තුළ පළ කොට තිබූ මිල අධික මහල් නිවාස, සුඛෝපභෝගී වාහන වැනි වත්කම්වල ඡායාරූප සහ වීඩියෝ ඇසුරින් මේ නිගමනයට පැමිණ තිබේ. සාමාන්‍යයෙන් යූටියුබ් හෝ ෆේස්බුක් ජාලවල ඉතා ඉහළ ආකර්ෂණයක් ඇති වීඩියෝ සඳහා මුදල් ගෙවීමක් සිදුවෙයි. සූරියපුර මුදල් ඉපයීම සඳහා මේ ක්‍රමය භාවිත කර තිබේ. ඔහු මේවා සඳහා නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයේ පින්තූර වේ. විමර්ශනාත්මක පුවත්පත් කලාව පිළිබඳ කාර්යාංශය (TBIJ) මගින් හඳුනාගෙන ඇති ආකාරයට ඇතැම් ෆේස්බුක් පිටුවල මාසික ආදායම පවුම් 1,000 ට වැඩිය.

ඔහු මෙසේ මුදල් උපයාගන්නවාට අමතරව ඒ ආකාරයට මුදල් උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඉගැන්වීම සඳහා මාර්ගගත ඇකඩමියක් ද පවත්වාගෙන ගොස් තිබෙන අතර එමගින් ද ඔහු සෑහෙන මුදලක් උපයාගෙන තිබේ. ඔහුගේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා සිය ගෝලයින්ගේ උපකාරය ද ලබා ගෙන තිබෙන බව පැවසේ.

විමර්ශනාත්මක පුවත්පත් කලාව පිළිබඳ කාර්යාංශය (The Bureau of Investigative Journalism – TBIJ) ඔහු සම්බන්ධව පළ කළ පුවත

මෙවැනි ක්‍රියාවන්හි යම්කිසි ෆේස්බුක් පිටුවක් නිරන්තරයෙන් නිරතව සිටින බවට අනාවරණය වුවහොත් ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් මව් සමාගම වන Meta විසින් ක්‍රියාමාර්ගයක් සකස් කොට තිබේ. සූරියපුරට අයත් මේ ආකාරයේ පිටු ඉවත් කළ සැනින් ඒ හා සමාන තවත් පිටු රාශියක් ආරම්භ කරන්නට ද ඔහු පියවර ගෙන තිබේ. ඔහු ඒ සඳහා භාවිත කොට ඇත්තේ ඔහුගේ ගෝලයින්වය.

සූරියපුරගේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් බ්‍රිතාන්‍ය මැතිවරණ ප්‍රතිඵල විකෘති කරන්නට තරම් හේතුවක් වී තිබෙන බව හෙළිවී තිබේ. කෘත්‍රිම බුද්ධිය රටක පාලන තන්ත්‍රය පවා වෙනස් කළ හැකි ආකාරයට යොදා ගත හැකි බවට මේ විමර්ශනය තුළින් සිදුවන හෙළිදරව්ව ලෝකයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ලබා දෙන පණිවිඩය එතරම් යහපත් දෙයක් නොවේ. ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැකියාවන් ලෝක දේශපාලනය වෙනස් කරන්නට යොදා ගත හැකි බවට මෙය ඉඟි කරයි.

බ්‍රිතාන්‍ය 5Pillars වෙබ් අඩවියේ පළ වූ පුවත

මෙම මෙහෙයුමේ පරිමාණය බරපතළ වුවද, වාර්තාවල සඳහන් වන්නේ සූරියපුරට එරෙහිව බ්‍රිතාන්‍යයේ කිසිදු අපරාධ නඩුවක් ගොනු කර නොමැති බවයි. මේවා නීතිවිරෝධී ක්‍රියාවන් නොවන බවට ප්‍රකාශයක් ද සූරියපුර ඉදිරිපත් කොට තිබේ. මෙම සිදුවීම මගින් නිරූපණය කරන්නේ, අසත්‍ය තොරතුරු, වෛරයෙන් මෙහෙයවන ප්‍රතිචාර සහ මුදල් ඉපැයීම යන කාරණා ඩිජිටල් වේදිකාවල නීතිමය හිඩැස් තුළින් රිංගා යමින් යහමින් සිදුවෙමින් පවතින බවය. සූරියපුරගේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් බ්‍රිතාන්‍ය මැතිවරණ ප්‍රතිඵල විකෘති කරන්නට තරම් හේතුවක් වී තිබෙන බව හෙළිවී තිබේ. කෘත්‍රිම බුද්ධිය රටක පාලන තන්ත්‍රය පවා වෙනස් කළ හැකි ආකාරයට යොදා ගත හැකි බවට මේ විමර්ශනය තුළින් සිදුවන හෙළිදරව්ව ලෝකයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ලබා දෙන පණිවිඩය එතරම් යහපත් දෙයක් නොවේ. ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැකියාවන් ලෝක දේශපාලනය වෙනස් කරන්නට යොදා ගත හැකි බවට මෙය ඉඟි කරයි. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට කැමති සමාජ ජාලකරුවන්ගෙන් අනාගත ලෝකය වෙත යම් තර්ජනීය තත්ත්වයක් ඇති වීම වළක්වාලිය නොහැකිය. එහි ඇති අනෙක් අවදානම් සහගත තත්ත්වය වන්නේ එවැනි කඩාකප්පල්කාරී, තොරතුරු විකෘති කරන ක්‍රියාවන් තුළින් අධික ලෙස මුදල් උපයාගන්නට හැකියාව තිබීමය.

සමස්තයක් ලෙස, මෙම සිද්ධිය මගින් ඩිජිටල් පද්ධතිවල ඇති දැඩි අවදානම් මතු කරයි. වැරදි තොරතුරු කෙතරම් ඉක්මනින් ආයුධයක් බවට පත් කළ හැකිද, ස්වයංක්‍රීය කළ හැකිද සහ මුදල් බවට පරිවර්තනය කළ හැකිද යන්න සහ එවැනි ජාල වර්ධනය වූ පසු ඒවා පාලනය කිරීම රජයන්ට සහ තාක්ෂණික සමාගම්වලට කෙතරම් අසීරු දැයි එයින් පෙන්වා දෙයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර