
2025 දෙසැම්බර් මාසයේදී, ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම්වලින් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී, කලාපීය සහයෝගිතාවේ කැපී පෙනෙන ක්‍රියාවක් සිදු විය. ඒ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන් යානා සඳහා ඉන්දියාව සිය ගුවන් සීමාව විවෘත කිරීමය.
මෑත කාලයේදී ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට සිය ගුවන් සීමාවන් වසා තබා තිබුණද, නවදිල්ලිය මෙම ඉල්ලීම ලැබී පැය හතරක් ඇතුළත ගුවන් ගමන් අවසරය ලබා දුන්නේ සහන මෙහෙයුම්වල හදිසි අවශ්‍යතාව හේතුවෙනි.
මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන් යානාවලට තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකාවට ළඟා වීමට හැකි විය. මෙය දේශපාලනය ඉක්මවා ගිය මානුෂීය සලකුණකි. දෙරටේම ගුවන් යානා එකම අහසින් ශ්‍රී ලංකාව බලා පියාසර කිරීම තුළින් සංකේතවත් වන්නේ එදිරිවාදිකම් මධ්‍යයේ වුවද, මානුෂීය අවශ්‍යතා, භූ දේශපාලනය අභිබවා යා හැකි බවය.
මෙම තීරණය නිසා මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන් යානාවලට තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකාවට ළඟා වීමට හැකි විය. මෙය දේශපාලනය ඉක්මවා ගිය මානුෂීය සලකුණකි. දෙරටේම ගුවන් යානා එකම අහසින් ශ්‍රී ලංකාව බලා පියාසර කිරීම තුළින් සංකේතවත් වන්නේ එදිරිවාදිකම් මධ්‍යයේ වුවද, මානුෂීය අවශ්‍යතා, භූ දේශපාලනය අභිබවා යා හැකි බවය.
සැබවින්ම, ප්‍රමාදයන් පිළිබඳ යම් මතභේද සහ අවසර ලබා දීම් සඳහා වූ මූලික කටයුතු “බොහෝ ප්‍රමාද වී” ලැබුණු බවට පාකිස්තාන නිලධාරීන්ගෙන් වාර්තා වුවද, ඉන්දීය ගුවන් කලාපය භාවිත කිරීමට පාකිස්තානයට අවසර දීම සම්බන්ධයෙන් ඉන්දියාව සිටියේ දැඩි ධනාත්මක ස්ථාවරයකය. ඉන්දියාව සිය ගුවන් කලාපය භාවිත කිරීම සඳහා පාකිස්තානය විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවූ අතර, මානුෂීය අවශ්‍යතා මත කඩිනම් අවසරයක් ලබා දෙන ලදි.
මෙම සිදුවීම තුළින් මානුෂීය සත්‍යභාවයක් සිහිපත් වෙයි. එනම්, මිතුරෙකුට උපකාර අවශ්‍ය වූ විට, බෙදී ගිය අසල්වැසියන්ට පවා පොදු අරමුණක් වෙනුවෙන් එකතු විය හැකි බවය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය එදිරිවාදිකම් පසෙක තැබූ පළමු අවස්ථාව මෙය පමණක් නොවේ. වසර තිහකට පමණ පෙර, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව සත්කාරකත්වය දැරූ 1996 ක්‍රිකට් ලෝක කුසලානයේදී ද මෙවැනි අද්විතීය සහයෝගිතාවක් කැපී පෙනුණි.
එම වසරේ මුල් භාගයේ දී කොළඹ සිදු වූ ප්‍රධාන බෝම්බ ප්‍රහාරයකින් පසු, ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ තරගවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවේ කොන්වීමකට සහ හෑල්ලුවකට ලක් වන්නට මෙය හේතුවක් බව පෙනෙන්නට තිබිණි. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා තවමත් ආරක්ෂිත බව ලෝකයට පෙන්වීමට ඉන්දියාව සහ පාකිස්තානය අසාමාන්‍ය දෙයක් කළහ. ඔවුන් 1996 පෙබරවාරි 13 වන දින කොළඹ දී ශ්‍රී ලංකාවට එරෙහිව සුහද තරගයක් ක්‍රීඩා කිරීම සඳහා “Wills XI” ලෙස හඳුන්වනු ලැබූ ඒකාබද්ධ කණ්ඩායමක් එවන ලදී.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මොහොමඩ් අසරුඩීන් විසින් මෙහෙයවන ලද එම කණ්ඩායමට ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයෝ දෙපිරිසම ඇතුළත් වූ අතර, ඔවුන් එකම කණ්ඩායමක් ලෙස පිතිකරණයේ සහ පන්දු යැවීමේ නිරත වූහ. ජන්මාන්තර විරුද්ධවාදීන් දෙපිරිසම එකට එකතු වී ක්‍රීඩා කළ ක්‍රිකට් ඉතිහාසයේ ඇති එකම අවස්ථාව මෙය විය හැකි අතර, එය බලවත් එකමුතුවේ පණිවිඩයක් ලබා දුන්නේය.
ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අවසානයේ ඔවුන්ගේ තරගවලින් ඉවත් වුවද, ඒකාබද්ධ ඉන්දු-පාකිස්තාන XI කණ්ඩායම සංකේතයක් ලෙස නැගී සිටියේය. මිතුරකුට පිහිටවීමේදී එදිරිවාදිකම් පසෙක දමා සහයෝගීතාව තුළින් ලෝකයටම ආදර්ශයක් ලබා දිය හැකිය. මෙම සිදුවීම බොහෝ විට අදත් සිහිපත් කරනු ලබන්නේ ලබා ගත් ලකුණු හෝ දවා ගත් කඩුලු නිසා නොව, එය නියෝජනය කළ දේ, එනම්, සහකම්පනය, එකමුතුකම සහ ශ්‍රී ලංකාවට ඇති ගෞරවය නිසාය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර මිත්‍රත්වය ඇතැම් විට ප්‍රදර්ශනය වී ඇත්තේ මේ ආකාරයේ මානුෂීය ක්‍රියාවලින් තුළින් පමණක් නොව, ඔවුන්ගේ පොදු දේශ සීමාව ඔස්සේ ඇති නිහඬ සහකම්පනීය අවස්ථාවන්ගෙනි. විශේෂයෙන්ම උත්සව සමයන්හිදී, දෙරටේම සොල්දාදුවන් දේශ සීමාව හරහා රසකැවිලි සහ වෙනත් සිහිවටන හුවමාරු කර ගත් අවස්ථාවන්ට නිදසුන් ඕනෑ තරම් තිබේ.
නිදසුනක් වශයෙන්, ඊද් අල්-අද්හා හෝ පාකිස්තානයේ නිදහස් දිනය වැනි අවස්ථාවන්හිදී, ඉන්දියාවේ දේශසීමා ආරක්ෂක බලකායේ (BSF) සහ පාකිස්තානයේ පාකිස්තාන රේන්ජර්ස් හි භට පිරිස් දේශසීමා හරස් මාර්ගවල දී හමු වී සුබ පැතුම්, රසකැවිලි සහ විවිධ සිහිවටන හුවමාරු කර ගනියි. මේවා දේශපාලන සතුරුකම ඉක්මවා පොදු මානව වර්ගයාගේ හැඟීම් පිළිබිඹු කරන ක්‍රියාවන්ය.
එවැනි අවස්ථා මානුෂීය ආධාර රැගත් ගුවන් ගමන් හෝ ක්‍රිකට් තරගාවලි වැනි පුවත් සිරස්තලවලින් ලෝකයා හමුවේ හෙළිදරව් නොවුවද, ඒවා මේ මිනිසත්බවේ ඉතිහාසය තුළ සදාතනිකව ලියැවී පවතිනු ඇත. රටවල් වශයෙන් ජන්මාන්තර සතුරන් වුවද, දේශ සීමාවේ දෙපස සිටින්නේ ද කරුණාවට ප්‍රතිචාර දක්වන මිනිසුන් බව ඒවා අපට මතක් කර දෙයි.
දේශ සීමාව හරහා සෙබලුන් රසකැවිලි සහ සුබ පැතුම් හුවමාරු කර ගැනීම, විශාල රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවන්ට සාපේක්ෂව වැදගත්කමක් නැති කාරණා ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් එවැනි සිදුවීම්වලට යටින් පෙනෙන්නේ ඔවුන් සොහොයුරන් සේ, මිතුරන් සේ එකිනෙකා ආදරයෙන් වැළඳ ගැනීමට තවමත් කැමැත්තෙන් පසුවන බවය. එදිරිවාදිකම් නොවැළැක්විය හැකි දෙයක් නොවන බවත්, මානව වර්ගයාට දේශපාලනයෙන් ඔබ්බට නොනැසී පැවතිය හැකි බවත් මේවා තුළින් පැහැදිලි වේ.
ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන් ශ්‍රී ලංකාව ස්වාභාවික උපද්‍රවයකට ලක් වූ මේ අවස්ථාවේ දී මානුෂීය ආධාර රැගෙන ඉන්දීය ගුවන් කලාපය හරහා පාකිස්තාන ගුවන් යානාවලට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන්නට අවසර දීම, අද පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ වුවද, අසල්වැසියෙකුට උපකාර අවශ්‍ය වූ විට දකුණු ආසියාවේ ජාතීන්ට තවමත් එකට එක් විය හැකි බව පෙන්වා දෙයි. තවද 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්, එවැනි අවස්ථා මීට පෙරද සිදු වී ඇති බව ඉතිහාසය අපට සිහිපත් කරයි: ඒ අවස්ථාවේ දී ඉන්දියාව සහ පාකිස්තානය එදිරිවාදීන් ලෙස නොව, මිතුරෙකුගේ මිතුරන් ලෙස එකට සිටියහ.
දේශ සීමාව හරහා සෙබලුන් රසකැවිලි සහ සුබ පැතුම් හුවමාරු කර ගැනීම, විශාල රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවන්ට සාපේක්ෂව වැදගත්කමක් නැති කාරණා ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් එවැනි සිදුවීම්වලට යටින් පෙනෙන්නේ ඔවුන් සොහොයුරන් සේ, මිතුරන් සේ එකිනෙකා ආදරයෙන් වැළඳ ගැනීමට තවමත් කැමැත්තෙන් පසුවන බවය. එදිරිවාදිකම් නොවැළැක්විය හැකි දෙයක් නොවන බවත්, මානව වර්ගයාට දේශපාලනයෙන් ඔබ්බට නොනැසී පැවතිය හැකි බවත් මේවා තුළින් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාව මෙම ව්‍යසනයෙන් යථා තත්ත්වයට පත් වීමට වෙර දරන විට, යම් දවසක ඉන්දියාව සහ පාකිස්තානය ඔවුන්ගේ එදිරිවාදිකම් ඉක්මවා ගොස් සැබෑ මිත්‍රත්වයක් ගොඩනඟනු ඇතැයි ප්‍රාර්ථනා නොකර සිටිය නොහැක. කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට, ඉන්දියාව සහ පාකිස්තානය සමගි කරවන්නට, ඔවුනොවුන්ට උපකාර කරන්නට, එක්සත් වන්නට පෙළඹවිය හැකි නම්, එය දකුණු ආසියාවෙන් ලෝකය හමුවේ තැබිය හැකි අසිරිමත්ම පණිවිඩය වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක