
ඉතිහාසය යනු හුදෙක් අතීත සිදුවීම් පෙළගැස්වීමක් පමණක් නොවේ. එය මානව වර්ගයා අතර ගොඩනැඟුණු සබඳතාවල ස්වභාවය වටහා දෙන කැඩපතකි. වර්තමාන ලෝක දේශපාලනය තුළ ප්රබලතම රාජ්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය බව අවිවාදිත ය. නමුත් ඓතිහාසික මූලාශ්‍ර සම්පිණ්ඩනයකදී, ඈත අතීතයේ සිටම පෙරදිග මුහුදු මාර්ගවල ආධිපත්‍යය දැරූ පර්සියාව හෙවත් වර්තමාන ඉරානය ද ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ “පැරණි මිතුරා” යන විරුදාවලියට වඩාත්ම සුදුසු වන්නේ කවුරුන්ද යන්න විමසා බැලීම වටී.

වර්තමාන ලෝකයේ බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය ප්‍රධාන අවදි දෙකකින් සමන්විත ය. යුරෝපීය ආගමනයට පෙර පැවති ස්වදේශික ඉතිහාසය සහ ඉන් පසු ගොඩනැඟුණු නූතන දේශපාලනික ඉතිහාසය ඉන් ප්‍රධාන වේ. 1492 වසරේදී ඉතාලි ජාතික නාවිකයකු වූ ක්‍රිස්ටෝපර් කොලොම්බස්, ස්පාඤ්ඤයේ සහාය ඇතිව ඉන්දියාව සෙවීමට ගිය ගමනේදී අහඹු ලෙස ඇමෙරිකානු දූපත් වෙත ගොඩබසින ලදී. මෙය ඇමෙරිකාවේ නූතන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකේ.
වර්තමාන ලෝකයේ බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය ප්‍රධාන අවදි දෙකකින් සමන්විත ය. යුරෝපීය ආගමනයට පෙර පැවති ස්වදේශික ඉතිහාසය සහ ඉන් පසු ගොඩනැඟුණු නූතන දේශපාලනික ඉතිහාසය ඉන් ප්‍රධාන වේ. 1492 වසරේදී ඉතාලි ජාතික නාවිකයකු වූ ක්‍රිස්ටෝපර් කොලොම්බස්, ස්පාඤ්ඤයේ සහාය ඇතිව ඉන්දියාව සෙවීමට ගිය ගමනේදී අහඹු ලෙස ඇමෙරිකානු දූපත් වෙත ගොඩබසින ලදී. මෙය ඇමෙරිකාවේ නූතන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකේ.


ඒ අතර 15 වැනි සියවසෙන් පසුව ආගමික නිදහස සෙවීම, නව වෙළෙඳ අවස්ථා සහ දේශපාලන බලය ව්‍යාප්ත කිරීම වැනි අරමුණු පෙරදැරි කරගෙන ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අලුතින් හඳුනා ගත් ඇමෙරිකාව නම් වන මෙම නව ලෝකය වෙත සංක්‍රමණය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 17 වැනි සියවස වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඇමෙරිකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ ජනපද 13ක් පිහිටුවන ලදී. රාජ්‍යයක් ලෙස ඇමෙරිකාවේ සැබෑ දේශපාලන උප්පත්තිය සිදු වූයේ 18 වැනි සියවසේදී ය. 1776 ජූලි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ස්වාධීන රාජ්‍යයක් වශයෙන් නිදහස ප්‍රකාශ කළ ඔවුහු, ලොව ප්‍රථම ලිඛිත ව්‍යවස්ථාව සම්පාදනය කරමින් ප්රජාතන්ත්රවාදී මූලධර්ම මත පදනම් වූ නූතන ශිෂ්ටාචාරයක් ගොඩනැඟූහ. වසර දහස් ගණනක රාජ්‍ය පාලන ඉතිහාසයක් නොමැති වුවද, ඇමෙරිකාව විවිධ සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයෙන් ඉතා කෙටි කලක් තුළ ලොව දියුණුම තාක්ෂණික සහ ආර්ථික ශිෂ්ටාචාරය බවට පත්වූයේ ඒ අනුව ය.
ඇමෙරිකාවට සාපේක්ෂව වත්මන් ඉරානය හෙවත් පැරණි පර්සියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ වසර දහස් ගණනක් ඈතට දිවයන, හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවකට එහා ගිය වෙළෙඳාම, සංස්කෘතිය සහ ආගම මත පදනම් වූ ශක්තිමත් බැඳීමකි. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණි. එකල පර්සියානුවන් ලංකාව හඳුන්වනු ලැබුවේ “සෙරන්ඩිබ්” යන නාමයෙනි. මෙය සංස්කෘත බසින් ශ්‍රී ලංකාව හැඳින්වීම පිණිස යොදන ලද ‘සිංහලද්වීප’ යන්නෙහි අරාබි ස්වරූපය බව පැවසෙයි. සෙරන්ඩිබ් යන්නෙහි අරුත “සිංහ දූපත” කියා ද මතයක් පවතී. එමෙන්ම සංස්කෘත භාෂාවෙන් කුරුඳුවලට “සිංහලම්” හෝ සිංහලද්වීපයෙන් උපන් යන අරුත ගෙනෙන “සිංහලෝද්භවම්” යනුවෙන් හඳුන්වන බව ද බොහෝ දෙනෙක් නොදනිති. ඒ අනුව අද වන විට එක් ජන කොටසක් හැඳින්වීම පිණිස යොදන ‘සිංහල’ යන වදන, අතීතයේ මුළු ශ්‍රී ලංකා ද්වීපයම හැඳින්වීම පිණිස යෙදුණු බව පෙනේ. ඒ අනුව ලංකාවෙන් කුරුඳු, මැණික්, මුතු, ඇත්දළ ලබා ගැනීමටත්, චීනයෙන් එන සේද හුවමාරු කර ගැනීමටත් පර්සියානු වෙළෙඳුන් මන්නාරමේ මාතොට (මන්තායි) වරාය කේන්ද්‍ර කරගනිමින් නිරන්තරයෙන් මෙරටට පැමිණ තිබේ.


අනුරාධපුර යුගය දෙස බැලීමේදී, පර්සියාවේ සසානිඩ් අධිරාජ්‍යය සහ ලංකාව අතර පැවති සමීප සබඳතාවට පැහැදිලි සාක්ෂි හමු වේ. ක්‍රි.පූ. 4 වන සියවසේ අනුරාධපුරයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා නගරයේ බටහිර දොරටුව අද්දර යෝනක වෙළෙඳුන් සඳහා වෙනම වාස කලාපයක් නිර්මාණය කළ පුවත මහාවංශයේ පවා සඳහන් වීමෙන්, පර්සියානු ජනතාවට මෙරට ජීවත්වීමට තිබූ අයිතිය කෙතරම් පැරණි දැයි අපට සිතා ගත හැකිය. මේ අතර 1912 වසරේ අනුරාධපුරයෙන් හමුවූ, ලතින් කුරුසියට වඩා වෙනස් බවක් පළ කරන, ක්‍රි.ව. 5-6 සියවස්වලට අයත් බවට අනුමාන කෙරෙන ‘නෙස්ටෝරියානු කුරුසය’ මඟින් එකල පර්සියානු ක්‍රිස්තියානි වෙළෙඳුන් ලංකාවේ ස්ථාවරව පදිංචිව සිටි බව සනාථ වේ. එසේම මාතොට වරාය ආශ්‍රිතව තිබී හමුවූ පූර්ව ඉස්ලාමීය පර්සියානු කාසි සහ නිල් පැහැති ඔප දැමූ පර්සියානු පිඟන් මැටි බඳුන් මෙම ඓතිහාසික සබඳතාව සජීවීව පෙන්වා දෙයි. 6 වන සියවසේ විසූ කොස්මස් ඉන්ඩිකොප්ලෙස්ටස් වැනි ලේඛකයන්ගේ වාර්තාවල පවා ලංකාවේ විසූ පර්සියානු ප්‍රජාව සහ ඔවුන්ගේ වෙළෙඳ බලය පිළිබඳව කරුණු අන්තර්ගත වේ. ඒ අනුව අතීත ශ්‍රී ලංකාව සහ පර්සියාව අතර පැවති මෙම සබඳතා ක්‍රි.ව. 610 ට පෙර පැවති පූර්ව ඉස්ලාමීය හෙවත් “ජාහිලියා යුගය” තෙක් අතීතයට දිව යන බව අතිශයින් පැහැදිලි ය.

මෙම දීර්ඝකාලීන සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස සිංහල භාෂාවට සහ දේශීය ජීවන රටාවට පර්සියානු ආභාෂය තදින්ම බද්ධ වී තිබේ. අද අප එදිනෙදා භාවිතා කරන රෝස, අච්චාරු, සරුවත්, පිජාමා, සූකිරි සහ කුසලාන වැනි වචන පර්සියානු මූලයන්ගෙන් පැමිණි ඒවා ය. ආගමික වශයෙන් ගත් කල, ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත වීමේදී පර්සියානු සූෆිවරුන් ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අතර, ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණි විදේශිකයන් අතර ද පර්සියානු ජාතිකයෝ බහුල වූහ. පසුකලෙක ව්‍යාප්ත වූ ඉස්ලාමීය සම්ප්‍රදායන් අනුව ආදම් (අලෛහිස්සලාම්) තුමා ස්වර්ගයේ සිට මිහිමතට පා තැබූ ස්ථානය ලෙස ශ්‍රී පාදස්ථානය සැලකෙයි. එදා මෙදා තුර ඉස්ලාම් භක්තිකයන් වන්දනාමාන කිරීමේදී ඒ සඳහා ලබා දෙන්නේ සුවිශේෂී ආගමික සහ ඓතිහාසික අර්ථකථනයකි. ඔවුන් මෙම පූජනීය ස්ථානය හඳුන්වන්නේ “බාබා ආදම් මලෙයි” (Adam’s Peak) යන නමිනි.
ලෝක ප්‍රකට දේශාටකයකු වන අරාබි ජාතික ඉබන් බතූතා (Ibn Battuta), 14 වන සියවසේදී ලංකාවට පැමිණ ශ්‍රී පාද කන්ද තරණය කර ඒ පිළිබඳව විස්තරාත්මක සටහනක් තබා ඇත. එහිදී ඔහු සඳහන් කරන්නේ මුස්ලිම් බැතිමතුන් මෙය “ආදම්ගේ පා සටහන” ලෙස මහත් භක්තියෙන් පිදුම් කළ බවයි. එය එදා මෙදා තුර ශ්‍රී පාදස්ථානය සම්බන්ධ ලෝක ප්‍රකටම ප්‍රකාශය ලෙස ජනසම්මත වී තිබේ.

ඉස්ලාම් විශ්වාසයට අනුව අල්ලාහ් විසින් මවන ලද ප්‍රථම මිනිසා සහ පළමු අනාගත වක්තෘවරයා වන ආදම් තුමන් ස්වර්ගයෙන් පෘථිවියට එවනු ලැබූ විට, එතුමා මුලින්ම පය තැබුවේ මෙම කන්ද මුදුනට බව පැවසේ. එහි ඇති විශාල පා සටහන එතුමාගේ බව මුස්ලිම් ජාතිකයෝ විශ්වාස කරති. මුස්ලිම් ජාතිකයන් විශ්වාස කරන්නේ ආදම් තුමන් පෘථිවියට පැමිණ වසර ගණනාවක් තනි කකුලෙන් සිටගෙන දෙවියන්ගෙන් සමාව අයැද සිටි ස්ථානය මෙය බවයි. එබැවින් මෙය ආධ්‍යාත්මිකව ඉතා ඉහළ, ශුද්ධ වූ භූමියක් ලෙස ඔවුහු සලකති. ලෝක ප්‍රකට දේශාටකයකු වන අරාබි ජාතික ඉබන් බතූතා (Ibn Battuta), 14 වන සියවසේදී ලංකාවට පැමිණ ශ්‍රී පාද කන්ද තරණය කර ඒ පිළිබඳව විස්තරාත්මක සටහනක් තබා ඇත. එහිදී ඔහු සඳහන් කරන්නේ මුස්ලිම් බැතිමතුන් මෙය “ආදම්ගේ පා සටහන” ලෙස මහත් භක්තියෙන් පිදුම් කළ බවයි. එය එදා මෙදා තුර ශ්‍රී පාදස්ථානය සම්බන්ධ ලෝක ප්‍රකටම ප්‍රකාශය ලෙස ජනසම්මත වී තිබේ.
නමුත් ශ්‍රී ලාංකික ජන සංස්කෘතියට අනුව ශ්‍රී පාදස්ථානය බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක් සහිත කඳු මුදුනක්ය යන පුරාතන විශ්වාසයට කෙසේවත් එරෙහි නොවන ඉස්ලාම් භක්තිකයෝ, අද ද එහි ගොස් තම ආගමික විශ්වාස පෙරදැරිව ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් සමඟ සහයෝගයෙන් වැඳුම් පිදුම් කරති. ඒ අනුව එම ආගමික සහජීවනයේ යටගියාව හා සෘජු සබැඳියාවක් සහිත ඉරානය ශ්‍රී ලංකාවේ පැරණිතම මිතුරා බවට කිසිදු වාදයක් නැත.
ෆාතිමා හලල්දීන්