අපේ රටේත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද ?;ඔබටම දැන ගන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්දැයි යමෙකු ඇසුවොත් වඩාත් නිවැරදිතම පිළිතුර ලබාදෙන්නටම නම් එයට ඇති වඩාත් සුදුසුතම මූලාශ්‍රය වන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව හඳුන්වාදී ඇති ආකාරය විමසා බැලීමය. එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික මෙන්ම සමාජවාදී ජනරජයක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් මෙය ජනතා පරමාධිපත්‍යය හොඳින් ක්‍රියාත්මක වන සෑම පුරවැසියකුටම සමාන සාධාරණත්වයක් ඉටු වන රාජ්‍යයකි. නමුත් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට වැටහෙන සත්‍යයකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මේ පිළිබඳ ඇසුවහොත් ඔවුන් බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදයක් කියා දෙයක් පිළිබඳ නොදන්නා බව සැක හැර පැවසිය හැකිය. සිය හිිතවතුන්ට මුදල් ගරා ගන්නට ඉඩ දෙන, මහජන මුදල් ස්වකීය සුඛ විහරණයට යොදා ගන්නා නිර්ලජ්ජිත බොහොමයක් දෙනා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන බව නොරහසකි. වඩාත්ම ඛේදජනක කාරණය වන්නේ මෙවැන්නන් පාර්ලිමේන්තුවට තෝරා යවන්නට ඡන්දය භාවිත කරන පුරවැසියන පිරිසක් ද සිටීමය. එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න අඩුම තරමින් පුරවැසියන් වන අප හෝ දැන සිටිය යුතුය. එවිට පුරවැසියන් ලෙස අපට ලැබෙන ආසන්නතම අවස්ථාවේ දී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරගැනීම සඳහා ඡන්දය භාවිත කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ අප දැන සිටිය යුත්තේ එබැවිනි. එකී මූලධර්ම 14 කි. මේ මූලධර්ම 14 උපුටා ගන්නා ලද්දේ යුරෝපය තුළ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ආරක්ෂා කරගැනීම සඳහා පිහිටුවා ඇති The Civil Liberties Union for Europe – Liberties සංවිධානයේ වෙබ් අඩවියෙනිි. මෙය සම්පූර්ණයෙන්ම කියවා අවසන් කළ පසු ශ්‍රී ලාංකේය පුරවැසියකු වන ඔබ සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ජීවත් වනවා නැද්ද යන්න ඔබටම අවබෝධ කර ගත හැකි වනු ඇත.

1. පුරවැසියන්ගේ සහභාගීත්වය

එහි නිර්වචනයට අනුව, ප්‍රජාතන්ත්‍රවාදය තම රජයේ ගමන් මග සහ තමාගේ අනාගතය තීරණය කිරීමේ හඬක් ජනතාවට ලබා දෙයි. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුරවැසියන් තමා යටත්ව සිටින නීතිවලට ඍජුවම ඡන්දය දෙන බව මෙයින් අදහස් කළ හැකිය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අදහස් වන්නේ ඔවුන් නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීමට සහ ඔවුන්ගේ අදහස් සහ කැමැත්ත ප්‍රකාශ කිරීමට නිදහස් හඬක් ඇති බවයි. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පදනම පුරවැසි සහභාගිත්වයයි.

සහභාගීත්වය යන්නෙහි නිසැකවම වඩාත්ම කැපී පෙනෙන ස්වරූපය වන්නේ මැතිවරණ දිනයේ දී ඡන්දය පාවිච්චි කිරීම වුව ද, එය තුළ වඩාත් පුළුල් නිර්වචනයක් ඇති බව සැලකිය යුතුය. ඒ හා සමානව ප්‍රසිද්ධ විවාදයන්, නගර රැස්වීම් සහ සාමකාමී විරෝධතා ආදී කටයුතුවලට දායක වීම ද මෙයට ඇතුළත් වේ. මේ සෑම එකක්ම ඡන්දයක් සලකුණු කිරීමට කාලය පැමිණෙන විට ජනතාව දැනුවත් කිරීමට උපකාර වන සහභාගීත්වයේ එක් ස්වරූපයකි. පුරවැසි කණ්ඩායම් සහ සිවිල් සමාජය මිනිසුන්ට මේ සියල්ල කිරීමට හැකියාව ඇති බවට සහතික කර ගැනීමට සහ උපරිම සහභාගීත්වය සහතික කිරීමට සහාය විය යුතුය.

2. සමානාත්මතාවය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සියලු ජනතාවට එක හා සමානව සැලකීම වැදගත් පමණක් නොව අත්‍යවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ වාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය නිසා ඔවුන්ට වෙනස් කොට සැලකීමක් සිදු නොවන බවයි. එමෙන්ම එයින් අදහස් වන්නේ ජනතාවට ඔවුන්ගේ අයිතීන් නොමිලේ භුක්ති විඳීමට සමාන ප්‍රවේශයක් ඇති බවයි. උදාහරණයක් ලෙස, ඡන්දය පාවිච්චි කිරීමට ඇති සමාන ප්‍රවේශය සඳහන් කළ හැකිය. ඡන්දය දීමට කාලය පැමිණි විට, එයින් අදහස් වන්නේ සෑම ඡන්දයක් ම එක හා සමානව ගණන් ගන්නා බවය. ඔබේ ඡන්දය වටිනා වන අතර ඔබ රටේ ධනවත් ම හෝ බලවත් ම පුද්ගලයාට සමාන වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක සමානාත්මතාවේ මූලිකම අංගය එයයි.

3. වගවීම

මිනිසුන් තමන් තෝරා පත් කර ගන්නා අයට බලතල පවරන අතර, එම බලතල සිය ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා භාවිත කිරීමේ වගකීම ඔවුන්ට පැවරී ඇත. දේශපාලනඥයන් ජනතාවට වගකියන, ඔවුන්ගේ කැමැත්තට අනුකූලව කටයුතු කළ යුතු අතර, තමන් සහ තම හිතවතුන් ධනවත් කිරීම සඳහා තම බලය අනිසි ලෙස භාවිත නො කිරීමට යුතුකමක් තිබිය යුතුය. අත්තනෝමතික රජයයන් විසින් පුවත්පත් සහ ප්‍රවෘත්ති නාලිකා පාලනය කරන විට, සිවිල් සමාජ කණ්ඩායම්වලට හිරිහැර කරන විට, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම මහජනයාගෙන් වසන් කිරීම ඉතා පහසු වන අතර, මැතිවරණ දිනය එළඹුණු විට තවදුරටත් වගවන රජයක් ලෙස සලකා එයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට නොහැකි වේ.

4. විනිවිදභාවය

මැතිවරණයේ දී වඩාත් නිවැරදි තීරණ ගැනීමට නම් ජනතාවට රජයේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මනා දැනුම්වත්භාවයකින් සිටීමට හැකි තත්ත්වයක් තිබිය යුතුය. සිය රජය යහපත් තීරණ ගන්නවා ද, එසේත් නැතිනම් එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේද, එය නීති රීති අනුගමනය කරනවාද, එසේත් නැත්නම් මහජන මුදල් කොල්ලකනවාද ආදී කාරණා ජනතාව දැනගත යුතුය. විනිවිදභාවය යනු රජයේ ක්‍රියාවන් සහ ඒවායේ ප්‍රතිඵල පැහැදිලි තත්ත්වයක තිබිය යුතු බවය. විශේෂිත කිහිපයක් හැර ජනතාව ඉල්ලා සිටින්නේ නම් රජයේ තොරතුරු ජනතාවට ලබා දිය යුතුය. මාධ්‍යවේදීන්ට සහ ජනතාවට ඔවුන්ගේ දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න ඇසීමට හැකි විය යුතුය, විනිවිදභාවය මත ක්‍රියා කරන කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීමට නිදහස තිබිය යුතුය.

5. දේශපාලන මත ඉවසීම

බහුතරයේ කැමැත්ත මත පාලනය වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හදවත වුව ද, සුළුතරය අමතක කළ යුතු බව මින් අදහස් වන්නේ නැත. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, සියලු‍ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සමාන වන අතර කවුරුන් බලයේ සිටිය ද ඒවාට ගරු කළ යුතුය. ඔවුන්ගේ අදහස් මැතිවරණ දිනයේ දී ජයග්‍රහණය කළ ද නොකළ ද, එම අදහස් අනෙකුත් පුරවැසියන්ට සහ රජයට ප්‍රකාශ කිරීමේ අයිතියක් ඔවුන්ට ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෝෂණය වන්නේ විවෘතභාවය සහ චින්තනයේ පරිපූර්ණභාවය මත ය; සුළුතරයේ අයිතීන් හා නිදහස යටපත් කිරීමෙන් වන්නේ බහුතරය පසුගාමී වීම පමණි.

6. බහු පක්ෂ ක්‍රමය

මැතිවරණ දිනයේ දී පුරවැසියන්ට තේරීමක් තිබිය යුතුය. එනම් පක්ෂ කිහිපයකට නිදහසේ මැතිවරණයක් සඳහා සහභාගී වීමේ අයිතිය සහ ජනතාවට තෝරා ගැනීමේ විකල්පයන් තිබිය යුතු බවය. විරුද්ධ පක්ෂ ජයග්‍රහණය කරන විට, බලය මාරු වීමක් සහ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ නව මහජන මත ඇති වේ. තනි පක්ෂයක් පමණක් තිබේ නම්, එය බොහෝ විට ඒකාධිපතිත්වයක් විය හැකිය, නමුත් ඇතැම් රටවල් තනි පක්ෂයක පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සංවර්ධනය කිරීමට සමත් වී ඇත.

7. බලය අනිසි ලෙස භාවිත කිරීම පාලනය කිරීම

ප්‍රජාතන්ත්‍රවාදය නොනැසී පැවතිය හැක්කේ සියලුදෙනාගේම සහභාගීත්වය මතය. එනම් ඡන්දය ප්‍රකාශ කරන දින සහ වසරේ අනෙකුත් සියලුම කාලයන්හිදී පුරවැසියන් ඔවුන්ගේ සහභාගීත්වය ලබා දීම සහ නීතිරීති අනුව ක්‍රියා කරමින් සියලු පුරවැසියන්ගේ ජීවිත වැඩිදියුණු කොට පෝෂණය කිරීම සඳහා දේශපාලනඥයන් කටයුතු කිරීමෙන් පමණි. තමා නීතියට වඩා ඉහළින් සිටින බව රජයයක් විසින් සිතන්නට පටන් ගැනීම, තමා වෙනුවෙන් වෙනත්ම ආකාරයක නීතියක් ක්‍රියාත්මක වන බව දේශපාලනඥයන් විශ්වාස කිරීම, මහජන වියදමින් එක්තරා කණ්ඩායමකට පමණක් රජයේ විශේෂිත අනුග්‍රහය හිමි වීම, දූෂිත නායකයන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ ගිණුම්වලට මහජන මුදල් ගලා යාම ආදී ලක්ෂණ පෙන්නුම් කරන විට එහි බලය අනිසි ලෙස භාවිත කිරීමක් ඇති බව වටහා ගත යුතු වේ. ලෝකයේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තුළ මෙය නිතර දකින්නට ලැබෙන්නක් වන අතර යුරෝපයේ පවා මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතී.

එවැනි අපයෝජනයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැකි ක්‍රම තිබේ, නමුත් එය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට ක්‍රමයක් නොමැත. උදාහරණයක් ලෙස රජයේ විවිධ ආයතන හරහා බලතල බෙදා හැරීම මගින් මෙවැනි දූෂණයන් හැකි තාක් දුරට වළක්වා ගත හැකි වේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් ආරක්ෂා කිරීම ද වැදගත් ය. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර පුරවැසියන්ට නිවැරදි තොරතුරු ලබා ගත හැකි වන පරිදි ස්වාධීන මාධ්‍ය ආරක්ෂා කිරීම මෙයට ඇතුළත් වන අතර, ක්‍රියාවලිය සාධාරණ බව සහතික කර ගැනීම සඳහා මැතිවරණ නීති ආරක්ෂා කිරීම ඉන් අදහස් වේ.

8. ආර්ථික නිදහස

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුද්ගලයෙකුට තම ජීවිතය කුමනාකාර ලෙස ගත කළ යුතු දැයි තීරණය කිරීමේ අයිතිය තිබිය යුතුය. ඔවුන් නීති රීති අනුගමනය කරන තාක් කල්, ඔවුන් ඉගෙන ගත යුතු දේ හෝ ඔවුන් කළ යුතු රැකියාව හෝ ඔවුන් වර්ධනය කර ගත යුතු දේ මොනවාද යන්න ඔවුන්ට පැවසීම රජයේ කාර්යයක් නොවේ. ශක්තිමත් ප්‍රජාවන් සහ ශක්තිමත් ජාතික ආර්ථිකයන් සංවර්ධනය කිරීම සඳහා ආර්ථික නිදහස වැදගත් වේ.

9. අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත

රජය විසින් බලය අයුතු ලෙස භාවිතා කිරීමෙන් ජනතාව ආරක්ෂා කර ගත හැකි තවත් මාර්ගයක් වන්නේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතයි. මෙය කතා කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස වැනි මිනිසුන්ට ඇති අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ලැයිස්තුවකි. මේ පනත් කෙටුම්පත නීතියේ කොටසක් වන අතර බොහෝ රටවල් එය ඔවුන්ගේ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. එබැවින් තම රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව යමෙකු සිතන විට, ඒ වෙනුවෙන් නීතියේ සහාය පැතීම සඳහා අධිකරණය වෙත යොමු වීමේ හැකියාව පවතී.

10. මානව හිමිකම්

අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතක් මගින් ආරක්ෂා කර ඇති බොහෝ අයිතිවාසිකම් මානව හිමිකම් ලෙස හැඳින්වේ. මේවා තමා ජීවත් වන රට කුමක් වුවත් ජනතාවට තිබිය යුතු අයිතිවාසිකම් වේ. නමුත් විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කළ යුතුය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නිදහසේ ඇසුරු කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස වැනි මානව හිමිකම් ද ප්‍රජාතන්ත්‍රවාදයේ මුරගල් වන අතර ඇත්ත වශයෙන්ම එහි නිසි ක්‍රියාකාරිත්වයට අවකාශය සලසා දෙයි.

11. නිදහස් හා සාධාරණ මැතිවරණ

වෙනසක් ඇති කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වාභාවික සහ නීරෝගී ලක්ෂණයක් ලෙස සැලකිය යුතුය. රජය පවතින්නේ ජනතාවට සේවය කිරීම සඳහා වන අතර, විවිධ ගැටලු සම්බන්ධයෙන් මහජන මතය සෑම විටම වෙනස් වන බැවින්, මැතිවරණ මගින් විවිධ කාලවල දී විවිධ ප්‍රතිඵල ඇති කිරීම ස්වාභාවික ය. එබැවින් මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ ඡන්දය දීමට පෙර මිනිසුන්ට යහපත් සහ නිවැරදි තොරතුරු ලබා දෙන බවත්, ඒවා සාකච්ඡා කිරීමට සහ විවාද කිරීමට ඔවුන්ට නිදහස ඇති බවත් ය. මැතිවරණ දිනයේ දී මිනිසුන්ට ඡන්ද මධ්‍යස්ථානයට සමාන ප්‍රවේශයක් ඇති බවත්, සෑම කෙනෙකුගේ ම ඡන්දයට එකම වටිනාකමක් ඇති බවත්, සියලු‍ ඡන්ද ගණනය කරන බවත් එයින් අදහස් වේ. එපමණක් නොව, මැතිවරණ පැවැත්වීම අක්‍රමවත් නොවිය යුතු බවත් රජයට කැමති අවස්ථාවන්හි දී පමණක් එය කැඳවීම නො කළ යුතු බවත් යන්න ද මෙයින් අදහස් වේ.

12. නිදහස් අධිකරණ

පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටක පවා ගැටලු සහගත තත්ත්වයන් මතු වන්නට ඉඩ තිබේ. මෙම තත්ත්වයන් තුළ, ආරවුල් විසඳා ගත හැකි ස්වාධීන ආයතනයකට දෙපාර්ශවයටම සමාන ප්‍රවේශයක් තිබීම වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදී රටවල අධිකරණ පද්ධතිය මෙයයි. විනිසුරුවන් යනු සියල්ලන්ටම නීතිය සමානව ක්‍රියාත්මක කිරීම සඳහා සිටින ස්වාධීන කණ්ඩායමක් වේ. රජයයක් විසින් අධිකරණය සිය හිතවතුන්ගෙන් පිරවීම හෝ අධිකරණ තීරණ නො සලකා හැරීම සිදු කළ හොත් ප්‍රජාතන්ත්‍රවාදය එතැනම මිය යයි.

13. මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම

මැතිවරණයක ප්‍රතිඵල බලයේ සිටින පක්ෂයට වාසිදායක නොවන බව පෙනෙන්නේ නම්, ඔවුන් ඒවා පිළිගෙන බලයෙන් ඉවත් විය යුතුය. සාමකාමී බල හුවමාරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය නිර්වචනය කරයි. මැතිවරණවලින් පරාජය ලද පුද්ගලයන් ඒ තත්ත්වය පිළිගත යුතුය. ඔවුන්ට සිය අදහස් විවෘතව බෙදා හදා ගැනීමට සහ මහජන විවාදයන්ට සහභාගී වීමට ඔවුන්ට ඇති අයිතිය අඛණ්ඩව ම තිබෙන නමුත්, ඔවුන්ගේ අදහස්වලට හෝ ඔවුන්ගේ තනතුරුවලට බහුතර පිළිගැනීමක් නොමැති බව පිළිගත යුතු වේ.

14. නීතියේ ආධිපත්‍යය

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රියාත්මක වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ ය. මෙයින් මූලිකවම අදහස් වන්නේ ජාතියක නීති සියලු‍ මිනිසුන්ට සමානව අදාළ වන අතර සෑම කෙනෙකු ම, විශේෂයෙන්ම රජය, නීති රීති අනුව ක්‍රියා කළ යුතු බවයි. එයින් අදහස් වන්නේ ඉහත විස්තර කර ඇති අයිතිවාසිකම් සහ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් ගරු කර පෝෂණය වන බවයි. තවද එයින් අදහස් වන්නේ නීති ද සාධාරණ හා ස්ථාවර ආකාරයකින් ක්‍රියාත්මක වන අතර, පැන නගින ආරවුල් විසඳීමට අධිකරණය වැනි ස්වාධීන ආයතනයක් ඇති බවයි.

දැන් ශ්‍රී ලාංකේය පුරවැසියකු ලෙස සිදු කළ කාර්යයක් තිබේ. ඒ, මේ මූලධර්ම 14 අප රටේ තත්ත්වය සමග සසඳා බැලීමය. එවිට ශ්‍රී ලංකාව කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද යන්න පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. එවැන්නක් අප රටේ නොමැති නම්, ඊළඟ මැතිවරණයේ දී ඔබට බුද්ධිමත්වීමට මේ කාරණා මහඟු රුකුලක් වනු නොඅනුමානය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර