අභිනව පාප් වහන්සේ තේරී පත් වන්නේ මෙහෙමයි

පසුගිය පාස්කු සඳුදා දින ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග හිස් වූ පාප් පදවිය සඳහා නව පාප් වහන්සේවරයකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය මැයි මස 7 වැනිදා(අද) සිට ආරම්භ කරන්නට නියමිත බැව් වතිකානයෙන් වාර්තා වේ. පාප් පදවිය සඳහා තෝරා ගැනීම ලෝකයේ පවතින ඉතාමත් ඉපැරණි මෙන්ම ගාම්භීරත්වයෙන් යුතු සම්ප්‍රදායක් සහිත රහස්‍ය වූ ක්‍රියාවලියකි. ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත කතෝලිකයන්ගේ ආගමික නායකයා සහ රෝමයේ බිෂොප්වරයා ලෙස උන් වහන්සේට කතෝලික පල්ලිය තුළ අසමසම වූ බලාධිකාරයක් හිමි වේ. නව පාප් වහන්සේ වරයකු තෝරා ගැනීමේ ක්‍රමය විවිධ චාරිත්‍ර වාරිත්‍ර, ඓතිහාසිකමය සහ සංකේතාත්මක අර්ථයන් රැසකින් සමන්විත වූවක් වේ.

ෆ්‍රාන්සිස් පාප් වහන්සේ

මුල් සමයේ පාප් පදවිය සඳහා තෝරා පත් කිරීම අවිධිමත් ක්‍රියාවලියක් ලෙස පැවති අතර එයට රෝමයේ පූජකවරු සහ ගිහි පිරිස් සම්බන්ධ වූහ. 11 වැනි සියවස වන විට මේ ක්‍රියාවලියෙන් අධිරාජයන් සහ රජවරු ඇතුළු සමස්ත ගිහි බලපෑම් ඉවත් කරන ලදී. වර්ෂ 1059 දී දෙවැනි නිකොලස් පාප් වහන්සේ නව නීතියක් පනවමින්, පාප් පදවිය සඳහා යමෙකු තෝරා ගන්නේ කතෝලික පල්ලියේ ජ්‍යෙෂ්ඨතම සමූහය වන කාදිනල්වරුන් පමණක් බව ප්‍රකාශයට පත් කළහ. සියවස් ගණනාවක් තිස්සේ මෙය තව තවත් ඔප මට්ටම් වෙමින් පාප් පදවිය සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් ශුද්ධ වූ සහ ස්වාධීන වූවක් බවට පත් විය.

පාප් පදවිය ආරම්භ වන්නේ ජේසුස් වහන්සේගේ එක් ධර්මදූතවරයකු වූ සාන්ත පීටර් (පීතර) ගෙන් යැයි සැලකේ. සම්ප්‍රදායට අනුව ජේසුස් වහන්සේ විසින් සිය අනුගාමිකයන්ගේ නායකත්වයට පීතර පත් කරන ලදී. පීතර රෝමයේ බිෂොප්වරයා බවට ද පත් විය. පළමු සියවසේ දී වූ එතුමාගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් අනතුරුව රෝමය තුළ බිෂොප්වරයෙක් පත් කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වන්නට පටන් ගැනුණි. පාප් පදවිය දක්වා පසු කාලයේ පරිණාමය වූයේ මෙයයි.

සිස්ටීන් දෙව්මැඳුරේ ඇතුළත පෙනුම

මුල් සමයේ පාප් පදවිය සඳහා තෝරා පත් කිරීම අවිධිමත් ක්‍රියාවලියක් ලෙස පැවති අතර එයට රෝමයේ පූජකවරු සහ ගිහි පිරිස් සම්බන්ධ වූහ. 11 වැනි සියවස වන විට මේ ක්‍රියාවලියෙන් අධිරාජයන් සහ රජවරු ඇතුළු සමස්ත ගිහි බලපෑම් ඉවත් කරන ලදී. වර්ෂ 1059 දී දෙවැනි නිකොලස් පාප් වහන්සේ නව නීතියක් පනවමින්, පාප් පදවිය සඳහා යමෙකු තෝරා ගන්නේ කතෝලික පල්ලියේ ජ්‍යෙෂ්ඨතම සමූහය වන කාදිනල්වරුන් පමණක් බව ප්‍රකාශයට පත් කළහ. සියවස් ගණනාවක් තිස්සේ මෙය තව තවත් ඔප මට්ටම් වෙමින් පාප් පදවිය සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් ශුද්ධ වූ සහ ස්වාධීන වූවක් බවට පත් විය.

පාප් වහන්සේවරයකුගේ අභාවය හෝ ඉල්ලා අස්වීමකින් පසුව පාප් පදවිය සඳහා යමෙක් තෝරා පත් කර ගැනීම සිදුවේ. පාප් වහන්සේවරයකුගේ අභාවයෙන් දින 9 ක ශෝක කාලයකින් (එය Novemdiales නමින් හඳුන්වනු ලබයි) මේ තෝරා ගැනීම සිදු කෙරේ. 2013 වසරේ දී 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගේ සිදුවීම පාප් පදවියෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ඉතා මෑතම නිදසුන වෙයි. ඒ වසර 600 ක කාලයක් තුළ වාර්තා වූ පළමු ඉල්ලා අස්වීම වේ.

සිස්ටීන් දෙවුමැඳුර පිටත පෙනුම

පාප් වහන්සේවරයකු නොමැති කාලය ලතින් බසින් Sede Vacante ( ‘අසුන හිස්ව පවතී’) නමින් හඳුන්වනු ලබයි. මේ කාලය අතරතුර පල්ලියේ කිසිදු නිල තීරණ ගැනීමක් සිදු කළ නොහැකි අතර එදිනෙදා වැඩකටයුතු පරිපාලනය කරනු ලබන්නේ කාදිනල් මණ්ඩලය (College of Cardinals) මගිනි.

නව පාප් වහන්සේවරයකු පත් කර ගැනීමේ වගකීම පැවරෙන්නේ කාදිනල් මණ්ඩලයටය. සියලු කාදිනල්වරුන්ට මේ සඳහා ඡන්දය භාවිත කළ නොහැකි අතර අවුරුදු 80 ට වඩා අඩු වූවන් එයට සුදුසුකම් ලබයි. සියලු මහද්වීපවලින් මේ සඳහා කාදිනල්වරු 110 – 120 අතර පිරිසක් ඡන්දය භාවිත කරති.

කලු පැහැ දුමාරය නිකුත් වන අවස්ථාවක්

පාප් පදවිය සඳහා තෝරා ගනු ලැබීම සඳහා අවශ්‍ය කරන්නේ අවම සුදුසුකම් ප්‍රමාණයකි. එනම් පිරිමි පුද්ගලයකු වීම සහ බෞතිස්ම වූ කතෝලිකයකු වීම පමණි. ඒ අරුතින් ගත් කල බෞතිස්ම වූ ඕනෑම කතෝලික පිරිමි පුද්ගලයකුට පාප් පදවිය සඳහා ඉල්ලුම් කළ හැකි යැයි හැඟුන ද ප්‍රායෝගිකව මේ සඳහා සලකා බලනු ලබන්නේ කාදිනල්වරු පමණකි. ඔහු කාදිනල් බිෂොප්වරයකු හෝ කාදිනල් පූජකවරයකු විය යුතු අතර කාදිනල් මණ්ඩලයෙන් බාහිර අයකු මේ සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔහුව වහාම පූජකවරයකු සහ බිෂොප්වරයකු බවට පත් කළ යුතුය. අවුරුදු 50 ට වඩා වයසින් වැඩි විය යුතු අතර වයසින් වැඩි නීරෝගී අයකු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලබයි. එමෙන්ම දේවධර්මය පිළිබඳ ඉතා ගැඹුරු දැනුමක් තිබිය යුතු අතර පල්ලියේ නායකත්වය පිළිබඳ ප්‍රාමාණික අත්දැකීමක් තිබිය යුතු වේ. විශේෂයෙන් ලතින්, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ ප්‍රංශ වැනි භාෂා කිහිපයක ප්‍රවීණත්වය ද සලකා බලනු ලබයි. ගෝලීය වශයෙන් ගෞරවය දිනා ගත් අයකු සේම නීරෝගී අයකු ද වීම විශේෂත්වයකි.

සුදු පැහැ දුමාරය නිකුත් වන අවස්ථාවක්

ඡන්දය විමසීමට පෙර කාදිනල්වරු Pro Eligendo Pontifice (නව පාප් වහන්සේ තෝරා ගැනීම උදෙසා) නම් දේව මෙහෙයකට සහභාගී වෙති. සිස්ටීන් දෙව්මැඳුරට ඇතුළු වී රහස්‍යභාවය පිළිබඳ ප්‍රතිඥාව ලබා දෙයි.

මේ රහස් ඡන්දය conclave නමින් හඳුන්වනු ලබන අතර එහි ලතින් අර්ථය වන්නේ ‘යතුරකින් සමන්විත’ යන්නය. මෙහිදී සිදුවන්නේ බාහිර බලපෑම්වලින් මිදීම සඳහා සියලු කාදිනල්වරු සිස්ටීන් දෙව්මැඳුර තුළට රැස් වී දොරගුළු දමා ගන්නේ ය යන අරුතිනි. අතීතයේ දී කාදිනල්වරු මෙයට ඇතුළු වී සැබවින්ම දොරගුළු දමා ගැනීමක් සිදු කළ ද වර්තමානයේ මේ සඳහා නව තාක්ෂණය භාවිත කෙරෙන අතර ජංගම දුරකතන සහ විද්‍යුත් උපකරණ රැගෙන ඒම තහනම්ය.

සිස්ටීන් දෙව්මැඳුරේ වූ මයිකල් ආන්ජලෝගේ සුප්‍රකට සිතුවමක් වන ‘අවසන් විනිශ්චය’ (The Last Judgment) ඡන්දය විමසීමේ ක්‍රියාවලියේ ආධ්‍යාත්මික හරය ලෙස සලකනු ලබයි. ආවර්ජනයන් සහ යාඥාවන් මධ්‍යයේ දෙව්මැඳුර තුළ නිහඬවම ඡන්දය සලකුණු කිරීම සිදු වේ.

නව පාප් වහන්සේවරයකු පත් කර ගැනීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ. ඡන්දය විමසීම, උදෑසන වරුවේ දෙකක් ද, දහවල් වරුවේ දෙකක් ද වශයෙන් දිනකට වට 4 ක් දක්වා සිදු වේ.

එක් එක් කාදිනල්වරයා තමා තෝරා ගත් අපේක්ෂකයාගේ නම ඍජුකෝණාස්‍රාකාර කඩදාසියක සටහන් කරයි. ඉන් පසු ඒවා එකතු කොට ගණන් කිරීම සිදු වේ. කිසිවකු අවශ්‍ය කරන බහුතරයට ළඟා වී නොමැති නම් කලු පැහැ දුමාරයක් (fumata nera) නැගෙනු පිණිස ඡන්දය සටහන් කළ කඩදාසිවලට රසායනික වර්ගයක් මුසු කොට පුළුස්සනු ලබයි. එයින් ලෝකයට ලබා දෙන පණිවිඩය නම් පාප් වහන්සේවරයකු තෝරා නොගත් බවය. යම් කාදිනල්වරයකු අවශ්‍ය කරන බහුතර ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ නම් සුදු පැහැ දුමාරයක් (fumata bianca) නැගෙනු පිණිස ඡන්දය සටහන් කළ කඩදාසිවලට රසායනික වර්ගයක් මුසු කොට පුළුස්සනු ලබයි. එයින් ලෝකයට දෙන පණිවිඩය නම් නව පාප් වහන්සේවරයකු තෝරා ගැනීමක් සිදු කළ බවය. මෙසේ සියලු දෙනාට පෙනෙන සේ දුමාරය නැගෙනු පිණිස ඡන්දය විමසීමට පෙර සිස්ටීන් දේවස්ථානයේ විශේෂ උදුනක් සහ දුම් කවුළුවක් සවි කිරීම සිදු වේ. සාන්ත පීතර චතුරස්‍රයේ රැස්ව සිටින පිරිසට මේ දුම දර්ශනය වේදැයි පරීක්ෂා කිරීමක් ද ඡන්දයට පෙර සිදු කරනු ලබයි. වර්තමානයේ පාප්වහන්සේවරයකු තෝරා පත් කර ගැනීමේ දී දුමාරයේ වර්ණය සම්බන්ධව ගැටලු ඇති වීම වළක්වා ගනු පිණිස සීනු නාද කිරීමක් ද සිදු වේ.

ඡන්දය භාවිත කිරීම පිණිස කාදිනල්වරු රැස්ව සිටින අයුරු

පාප් වහන්සේ තෝරා ගැනීමෙන් පසු තෝරා ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින කාදිනල්වරයා මෙසේ අසයි.

“උත්තරීතර පාප් වහන්සේ ලෙස ඔබගේ තෝරා පත් කර ගැනීම පිළිගන්නවාද?”

ඔහුගේ ප්‍රතිචාරය Accepto නම් ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරයි. ඉන් පසු නමක් තෝරා ගැනීම සිදු වන අතර සිය පාප් පදවියේ දැක්ම සහ දිශානතිය පිළිබඳ සංඥාවක් එයින් ලෝකයට ප්‍රකාශ වෙයි. නිදසුනක් වශයෙන් ෆ්‍රාන්සිස් පාප් වහන්සේ තෝරා ගත්තේ අසිසියේ සාන්තුවර ෆ්‍රාන්සිස්ගේ නාමයයි. එයින් සංකේතවත් වූයේ නිහතමානී බව සහ දිළින්දන් කෙරෙහි අනුකම්පාව දක්වනසුළුබවය.

ඉන්පසු පාප් නව වහන්සේ ලෝකයට ඉදිරිපත් කිරීම (Habemus Papam) සිදු වේ. පාප් පදවිය පිළිගැනීමෙන් පසු නව පාප් වහන්සේ පාප් පදවියට අදාළ ශ්වේත වස්ත්‍රයෙන් සැරසී සාන්ත පීතර දේවස්ථානයේ ප්‍රධාන සඳලුතලයට පිවිසෙයි. එතැන සිටින ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයා රැස්ව සිටින පිරිසට නව පාප් වහන්සේ නම ද සහිතව මෙසේ පවසයි.

“අපට පාප් වහන්සේ කෙනෙක් සිටී!” (Habemus Papam!)

ඉන්පසු නව පාප් වහන්සේ පිරිස ඉදිරියට පැමිණෙන අතර සිය කුළුඳුල් ආශීර්වාදය (Urbi et Orbi) ලොව හමුවේ තබයි.

මෙවර පාප් වහන්සේ පත් කර ගැනීමේ කටයුත්ත සඳහා සිස්ටීන් දෙව්මැඳුරේ චිමිනි සවි කරන අවස්ථාව

පාප් වහන්සේ සඳහා තේරී පත්වීම සඳහා අදාල කාදිනල්වරයා කතෝලික බහුතරයක් සහිත රටක පුරවැසියෙක් වීම අදාළ නැත. කෙසේ නමුත් ඉතිහාසය දෙස බැලීමේ දී මෙතෙක් පත් වූ පාප් වහන්සේලා අතරින් බහුතරයක්ම අයත් වූයේ යුරෝපයටය. එයින් ද බහුතරයක් ඉතාලි ජාතිකයන්ය. ෆ්‍රාන්සිස් පාප් වහන්සේ දක්වා පාප් පදවිය 266 දෙනෙකු විසින් දරා ඇති අතර එයින් 200 කටම වඩා සිටින්නේ ඉතාලි ජාතිකයන්ය. එයට හේතුව පල්ලියේ උපත රෝමයේ සිදුවීමත් වතිකාන මධ්‍යම පරිපාලනය ඉතාලියේ පිහිටා තිබීමත්ය. ඉතාලි නොවන පාප් වහන්සේවරයකු පත් වූයේ වසර 455 කට පසුව වූ අතර ඒ පෝලන්ත ජාතිකයකු වූ 1978 – 2005 අතර සමයේ සිටි දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේය. ඉන්පසු 2005 – 2013 සමයේ ජර්මානු ජාතික 16 වැනි බෙනඩික් පාප් වහන්සේ ද, 2013 – 2025 සමයේ ආර්ජන්ටිනානු ජාතික ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ද ඉතාලි නොවන ජාතිකයන් ලෙස පත් වූහ.

නව පාප්වරයෙකු පත් කිරීම ආගමික නායකයෙකු තෝරා ගැනීමට වඩා වැඩි දෙයකි. එය ඇදහිල්ල, සම්ප්‍රදාය සහ පාලනය ඒකාබද්ධ කරන ගැඹුරු, සංකේතාත්මක ක්‍රියාවකි. සියවස් ගණනාවක ඉතිහාසයේ මුල් බැසගත් තෝරා ගැනීමේ ක්‍රියාවලිය කතෝලික පල්ලියේ අඛණ්ඩතාව සහ නවීකරණය කිරීම යන දෙකම සහතික කරයි. වතිකානය මතින් සුදු දුමාරය නැඟී එන විට, වසර 2,000 කට අධික කාලයක් තිස්සේ පැවතුණු සහ පරිණාමය වූ සම්ප්‍රදායක් ලෝකය හමුවේ නැවත වරක් පිළිබිඹු වීම සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නම ද මෙවර පාප් පදවිය සඳහා සුදුසු යැයි New York Post වැනි ජාත්‍යන්තර මාධ්‍යවලත් දේශීය මාධ්‍යවලත් සඳහන්ව තිබුණි. උන් වහන්සේ වතිකානයේ විවිධ තනතුරු දරා ඇති අතර 2010 වසරේ දී 16 වැනි බෙනඩික් පාප් වහන්සේ විසින් කාදිනල් මණ්ඩලයට ද ඇතුළත් කර ගනු ලැබිණි. ඊට අමතරව පිලිපීනයේ කාදිනල් ලුයීස් ඇන්ටෝනියෝ ටැග්ලේ, ඉතාලියේ කාදිනල් ප්යේට්‍රෝ පාරොලීන්, ඉතාලියේ කාදිනල් මතේයෝ සූපී, ප්‍රංශයේ කාදිනල් ශාන් මාර්ක් ආවුලීන්, ඝානාවේ කාදිනල් පීටර් ටර්ක්සන් යන නම් ද විවිධ ජාත්‍යන්තර මාධ්‍යවල පළ වී තිබුණ ද මේ අපේක්ෂක කාදිනල්වරුන්ගේ නාම ලේඛනය වතිකානයේ රහස්‍ය ලේඛනයක් ලෙස පවතිනවා මිස ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත.

සිස්ටීන් දෙව්මැඳුරේ වූ ‘අවසන් විනිශ්චය’ සිතුවම

නව පාප්වරයෙකු පත් කිරීම ආගමික නායකයෙකු තෝරා ගැනීමට වඩා වැඩි දෙයකි. එය ඇදහිල්ල, සම්ප්‍රදාය සහ පාලනය ඒකාබද්ධ කරන ගැඹුරු, සංකේතාත්මක ක්‍රියාවකි. සියවස් ගණනාවක ඉතිහාසයේ මුල් බැසගත් තෝරා ගැනීමේ ක්‍රියාවලිය කතෝලික පල්ලියේ අඛණ්ඩතාව සහ නවීකරණය කිරීම යන දෙකම සහතික කරයි. වතිකානය මතින් සුදු දුමාරය නැඟී එන විට, වසර 2,000 කට අධික කාලයක් තිස්සේ පැවතුණු සහ පරිණාමය වූ සම්ප්‍රදායක් ලෝකය හමුවේ නැවත වරක් පිළිබිඹු වීම සනිටුහන් කරයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර