අලුත් වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මේ කාලයේ ලොව පුරා පැතිරෙමින් ඇති අලුත් සෞඛ්‍ය තර්ජනයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම අලුත් වසංගතය නම් ‘තනිකම සහ හුදෙකලාභාවය’ යි.

මිනිසුන් මේ කාලයේ වඩ වඩාත් තනිකමට, හුදෙකලාවට ගොදුරු වෙමින් සිටින බව මේ සම්බන්ධයෙන් මෑත කාලයේ කරන ලද අධ්‍යයනයන්ගෙන් හෙලි වී තිබේ. එහි ඇති වඩාත් බරපතල කාරණය වන්නේ මෙම තනිකමෙහි බලපෑමෙන් විවිධ කායික, මානසික රෝගවලට බිලිවන පිරිස ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබීමයි. මෙය කාගේත් වැඩි අවධානයකට ලක් නොවී මිනිස් සමාජය යට සැඟව ඇති බිහිසුණු තර්ජනයක් ලෙස විශේෂඥයන් හඳුනාගෙන තිබේ. මෙම පසුබිම තුළ තනිකම සහ හුදෙකලාභාවය වහා අවධානය යොමු විය යුතු ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

මේ පිලිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහාත්, විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් එම සංවිධානය පසුගිය දා විශේෂ කොමිසමක් ද පත් කළේය. එය හැඳින්වෙන්නේ ‘සමාජ සම්බන්ධතා පිලිබඳ කොමිසම” යන නමිනි. මෙම කොමිසමේ සම සභාපතිත්වයට පත් කර ඇත්තේ ඇමරිකාවේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විවේක් මූර්ති සහ අප්‍රිකානු සංගමයේ තරුණ කටයුතු පිලිබඳ විශේෂ නියෝජිත චිදෝ ම්පෙම්බා යන විශේෂඥයන් දෙදෙනා යි. මේ දෙදෙනාම තනිකම සහ හුදෙකලාභාවය පිලිබඳව කලක් තිස්සේම අධ්‍යයනය කරමින් සිටින විශේෂඥයන් දෙදෙනෙකි. ඔවුන්ගේ සභාපතිත්වයෙන් යුතු මේ ජාත්‍යන්තර කොමිසම සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වේ. අමරිකාව, සිම්බාබ්වේ, පාකිස්තානය, ස්වීඩනය, ජපානය, වනුආතු, චිලී, මොරොක්කෝ යන රටවල නියෝජිතයන් මෙයට ඇතුළත් වේ.

තනිකම නිසා පීඩා විඳින කෙනෙකු මුහුණ දෙන ජීවිත අවදානම දිනකට සිගරැට් 15 ක් බැගින් පානය කරන්නකු මුහුණ දෙන ජීවිත අවදානමට සමාන බව වෛද්‍ය මූර්ති සඳහන් කරයි. මෙවැනි පුද්ගලයන් අකාලයේ මිය යාමට ඇති ඉඩ වැඩි බව අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී තිබේ. ඔවුන් වඩාත්ම බිලි වෙන කායික රෝග වන්නේ ආඝාතය, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ඩිමෙන්ෂියාව ආදිය යි. ප්‍රතිශක්තිය හීන වීමේ තත්ත්වයන් ද මෙවැනි පුද්ගලයන් තුළ ඇති විය හැකි බව සඳහන් වේ. තනිකමෙන් පීඩා විඳින්නන් ඩිමෙන්ෂියාවට ගොදුරු වීමට ඇති ඉඩ සියයට 50 කින් පමණ ඉහළ යන බව ද, ආඝාතයට ගොදුරු වීමට ඇති ඉඩ සියයට 30 කින් පමණ ඉහළ යන බව ද හෙලි වී ඇත.

තනිකමෙන් සහ හුදෙකලා බවින් පීඩා විඳින පුද්ගලයන් විවිධ මානසික ආබාධවලට ලක් වීමේ ඉඩකඩ ද වැඩි ය. කාන්සාව (Anxiety) , විශාදය (Depression) වැනි ආබාධ ඉතා පහසුවෙන් මෙවැනි පුද්ගලයන් සොයා එයි. මෙම මානසික ආබාධ පෙරළා ඔවුනගේ කායික සෞඛ්‍යයට ද බලපෑම නිසා වඩාත් සංකීර්ණ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ. මෙවැනි උදවිය සෞඛ්‍යයට හානි කර දුම්පානය, මත්පැන් පානය වැනි පුරුදුවලට ඇබ්බැහි වීම ද ප්‍රශ්න තවත් උග්‍ර කරයි. තනිකම සහ හුදෙකලාභාවය බිහිසුණු ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

කලින් සඳහන් කළ කොමිසම පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රොස් ගෙබ්‍රයේසස් මෙසේ පවසා තිබිණි. “සමාජ හුදෙකලාභාවය සහ තනිකම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බවට සහ යහපත් පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරනවා. ප්‍රමාණවත් සමාජ සබඳතා නොමැති පුද්ගලයන් ආඝාතය, විශාදය, කාන්සාව, ඩිමෙන්ෂියාව වැනි ආබාධවලට ගොදුරු වීමට ඇති ඉඩ මෙන්ම දිවි නසා ගැනීමට ඇති ඉඩත් වැඩියි. එවැනි තත්ත්වයක් තුළ සමාජ සබඳතා ගෝලීය සෞඛ්‍ය ප්‍රමුඛතාවක් ලෙස තහවුරු කිරීමට මෙම කොමිසම ක්‍රියා කරනු ඇති’ ගෙබ්‍රයේසස් සඳහන් කර තිබේ.

කොමිසම පත් කර ඇත්තේ වසර තුනක කාලයක් සඳහා ය. පුද්ගලයන් අතර සමාජ සම්බන්ධතා වර්ධනය කිරීමට ඉවහල් වන ප්‍රතිපත්ති හඳුන්වා දීමට මෙම කොමිසම කටයුතු කරනු ඇති බව සඳහන් වේ. තනිකම පිලිබඳ මෙම ගැටලුව ලෝකයේ සියලුම රටවල් මුහුණ දී සිටින ගැටලුවක් ලෙස ද හඳුනාගෙන තිබේ. දියුණු ධනවත් රටවල මෙන්ම දිළිඳු රටවල ද මෙම ගැටලුව සමාන මට්ටමින් දක්නට ඇති බව වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට වැඩිහිටි පුද්ගලයන්ගෙන් සියයට 25 ක් පමණ සමාජ හුදෙකලාභාවයෙන් පීඩා විඳිති. වඩාත්ම බරපතල කාරණයක් වන්නේ යොවුන් වියේ පසුවන අයගෙන් ද සියයට 15 කට ආසන්න ප්‍රතිශතයක් මෙම තත්ත්වයට පත්ව සිටීම ය.

පවුල්වල සාමාජිකයන් ඉතා තරගකාරී ආර්ථික රටාවක, අධ්‍යාපන රටාවක ගොදුරු බවට පත්ව වේගවත් ධාවනයක නිරතව සිටින නිසා එම පවුල්වල වියපත් සාමාජිකයන්ට බොහෝ විට හුදෙකලා ජීවිත ගත කරන්නට සිදුවන බව රහසක් නොවේ. එමෙන්ම බොහෝ දෙනෙකු මේ කාලයේ තම මව්රටවලින්, සුපුරුදු සංස්කෘතික පරිසරයන්ගෙන් දුරස්ව සංක්‍රමණිකයන් ලෙස ජීවත් වීම ද සුළභ තත්ත්වයකි. මෙවැනි පුද්ගලයන් ද හුදෙකලාභාවයට, තනිකමට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී.

සමාජ මාධ්‍ය නිසා ද පුද්ගලයන් තුළ තනිකම, හුදෙකලා බව පිලිබඳ හැඟීම් වර්ධනය වන අවස්ථා තිබේ. මෙය වඩාත්ම සිදු වන්නේ තමුන්ගේ ජීවිත තවත් අයගේ ජීවිත සමග සන්සන්දනය කිරීමට යාම නිසා ය. යොවුන් වියේ, තරුණ වියේ පසුවන අය වැඩි වශයෙන් මෙම ගැටලුවට මුහුණ දීමේ ඉඩක් පවතී. අධ්‍යාපනය තුළ ඇති තරගය ද යොවුන් වියේ පසුවන්නන් සමාජ සම්බන්ධතාවලින් ඈත් කරන්නක් ලෙස සැලකිය හැකිය.

මෙවැනි ගැටලු නිසා දිනෙන් දින සංකීර්ණ වෙමින් ඇති සමාජයක් තුළ තනිකම, හුදෙකලා බව තුරන් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ වැඩසටහන් සැකසීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත් අතිශයින් අභියෝගාත්මක කටයුත්තක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර