අසරණ සුනඛයන් එකසිය විස්සක් ද සමඟ වන පෙතක දිවි ගෙවන මාධ්‍යවේදියා

“මිනිසාගේ ස්වභාවය හඳුනා ගන්නා තරමට මම මගේ සුනඛයාට ආදරය කරමි” යනුවෙන් එක්තරා බටහිර දාර්ශනිකයකු කළ ප්‍රකාශය දිනෙන් දින තහවුරු වන පොදු සත්‍යතාවක් බවට පත් වෙමින් තිබේ.ලොව මිනිසුන් සමග සමීපව සිටින සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. සුනඛයන් ඇතුළු සතුන්ට ආදරය කරන්නන් බහුල ව සිටියත් ඒ ආදරය තුළ ද විවිධ ප්‍රභේද පවතී. සමහරුන්ට තමන් ඇති දැඩි කරන සතා හැර අනෙකුත් සතුන් පෙන්නන්නට බැරිය.

පාරේ තමන්ගේ පාඩුවේ යන සුනඛයකු දුටුවත් ගලක් ගෙන ඌට ගසන්නට පෙළඹෙන නරුමයෝද අපේ රටේ බහුලව සිටිති. අපේ රටේ මහ පාරේ තනිව යන එන ඕනෑම සුනඛයකු තමන් ආසන්නයේ සිටින තැනැත්තකු නිකමට හෝ බිමට පහත් වනු දුටුවහොත් පණ කඩාගෙන දුවන්නේ එවැනි අමිහිරි අත්දැකීම් ඔවුන් ඕනෑ තරම් විඳ ඇති නිසා ය. මෙලෙස නිතර පහර කෑමට ලක් වන්නට සිදු වීම නිසාම අපේ රටේනිවාස අහිමි අයාල සුනඛයන් අතර කකුල් තුනෙන් යන්නන් ද ඕනෑ තරම් දැකිය හැකිය. මේ අනුව බලන විට සතුන්ට සැබෑ ලෙසම ආදරය කරන්නන් අපේ රටේ සුලබ නොවන බව අකමැත්තෙන් වුවත් පැවසිය යුතුව තිබේ.

නමුත් මඩ ගොහොරුවක් තුළින් උඩට මතුවන නෙළුම් මලක් බඳු එවන් පුද්ගලයින්ද ඉඳහිට හෝ මේ රටේ සිටින බව අසන්නට ලැබීම එක්තරා අතකින් සතුටට කාරණයකි.

උදය විජේසිංහ කලක් අප අතර සිටි ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. මාධ්‍ය ජීවිතයෙන් සේම තමන්ගේ පවුල් පරිසරයෙන් ද සහමුලින්ම බැහැර වී දැන් ඔහු අප්‍රකට ජීවිතයක් ගත කරමින් සිටී. ඒ මහව ප්‍රදේශය ආශ්‍රිතව පැරණි වැවක් අද්දර අතහැර දමන ලද හේන් මණ්ඩියක ය. ඔහු සිටින්නේ තනිව නොවේ. නමුත් පවුලේ අය සමඟ ද නොවේ. එකසිය විස්සකට ආසන්න “වෙනයම් පිරිසක්” ද සමඟය.
උදයගේ පියා ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙක් සහ නීතිඥවරයෙකි. මව විදුහල්පතිනියකි. උදය, එම පවුලේ එකම පිරිමි දරුවා ය. මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුල් කරනු ලැබිණි.

මාධ්‍යවේදියකු වීමේ කැමැත්තෙන් සිටි උදය උසස් පෙළ සමත් වීමෙන් පසු “දිනමිණ” කර්තෘ මණ්ඩලයට බැඳුණේ ආරක්ෂක පුවත් වාර්තාකරුවකු ලෙස ය. ඔහුට ඒ කර්තව්‍යය වඩාත් පහසු වූයේ ආනන්දයෙහි උගත් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයන් රැසක්ම ආරක්ෂක හමුදාවන්හි ප්‍රධාන තනතුරු හෙබවූ නිසාය .උදයගේ ආරක්ෂක තොරතුරු වාර්තාකරණයෙහි ප්‍රමිතිය ඉහළ වීම නිසාම ඔහුට වෙනත් විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් රැකියා ඇරයුම් ලැබිණි. ඒ අනුව හිරු, රන්, සියත ආදී විද්‍යුත් මාධ්‍ය කිහිපයකම ඔහු ප්‍රවෘත්ති වාර්තාකරුවකු, ප්‍රවෘත්ති සම්පාදකවරයකු, ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ආදී වශයෙන් කලින් කලට විවිධ තනතුරු දැරීය. එම කාලයේදී ඔහුට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අමතරව දේශපාලඥයන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූ සමාජයේ බොහෝ දෙනෙක් සමීපව ආශ්‍රය කරන්නට ලැබිණි.

පාසල් වියේදී උදය අධ්‍යාපනය සේම ක්‍රීඩා ඇතුළු විවිධ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මහත් දක්ෂතා පළකර තිබිණි. ඊට අමතරව ඔහු ආත්මාරක්ෂක සටන් ක්‍රම ද ප්‍රගුණ කළේ ඒ සම්බන්ධයෙන් තිබූ කැමැත්ත නිසා ම ය. නමුත් ඒ කිසිවක් සිය ජීවිතයට සම්බන්ධ කරගන්නට උදය උත්සාහ කළේ නැත. ඒ ඔහු ස්වභාවයෙන්ම අවිහිංසාවාදියකු වූ බැවිනි.

කිසිවෙකුටත් හිංසාවක් නොකළ ඔහු කුඩා කල පටන්ම තිරිසන් සතුන්ට දැක්වූයේ අප්‍රමාණ ආදරයකි. මේ නිසා මහා පාරවල්වල දුක් විඳින විශේෂයෙන් තුවාල වූ සහ ආබාධිත වූ සුනඛයන් ව ගෙදරට ගෙනැවිත් ඔවුන්ට ප්‍රතිකාර කරමින් කෑම බීම දෙමින් රැකබලා ගන්නට පටන් ගත්තේය. දවසින් දවසම උදයගේ කරුණාව ලැබ ඔහුගෙන් රැකවරණය ලබන්නට තරම් වාසනාවන්ත වූ සුනඛයන්ගේ ප්‍රමාණය කොතෙක් වීද යත් එය පනහ ඉක්මවා තිබිණි. මේ වන විට ඔහුගේ ජීවිතයේ 50% ක් රාජකාරි කටයුතු සඳහා වෙන් වී තිබූ අතර ඉතිරි 50% හිමි කර ගෙන තිබුණේ මේ අසරණ සුනඛ පිරිසයි.

උදයගේ මේ සත් ක්‍රියාව, ගමේ සිටි එක් පුද්ගලයකු රිස්සුවේ නැත. එනිසා ඔහු කළේ උදයට එරෙහිව ප්‍රදේශවාසීන් එක්රැස් කිරීම ය. තමා හොඳින් ප්‍රගුණ කර සිටි ආත්මාරක්ෂක සටන් ක්‍රම වුව මෙම පුද්ගලයා සඳහා භාවිත කිරීමට උදයට ඕනෑවටත් වඩා හැකියාව තිබුණත්, ඔහු එවැන්නක් කිරීමට තරම් අකාරුණික පුද්ගලයෙක් වූයේ නැත. අවසානයේ ඒ තැනැත්තා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට ද පැමිණිලි කොට එතෙකින් නොනැවතී තවත් පුද්ගලයන්ට අල්ලස් දී ඔවුන් සාක්කිකරුවන් ලෙස පොළඹවාගෙන උදය අධිකරණය වෙත රැගෙන ගියේය.

” කොහොම වුණත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී බොහොම සහනශීලී විසඳුමක් දුන්නා. මනුෂ්‍යයන් කියන අයගේ මේ කුරිරු හිත් ගැන හිතනකොට බල්ලන් මොන තරම් ශ්‍රේෂ්ඨ ද කියන එක දවසින් දවස මට වැටහුණා. ඒකෙන් වුණේ ඉබේම වගේ මනුෂ්‍ය ආශ්‍රයෙන් මං ටිකෙන් ටික දුරුවෙලා බල්ලන්ට වඩාත් නැඹුරු වෙන එකයි .”

ඉන්පසු උදය තම සුනඛ පිරිස රැගෙන තම දරු පවුල ද හැර දමා ජාඇල ජාපාලවත්තේ වසා දමා තිබූ බඩු ගබඩාවක පදිංචි විය. නමුත් මේ වන විට ඔහු ගැටලු රැසකට මැදිව සිටියේය. සුනඛ පිරිසට කෑම බීම දීම, සතුන්ගේ ප්‍රමාණය දවසින් දවසම වැඩිවීම නිසා රෝග පැතිරීම පාලනය කරන්නට සිදු වීම, මැක්කන් කිනිතුල්ලන් වැනි සතුන්ගෙන් තොරව පිරිසිදුව තබා ගැනීම වැනි කාර්යයන් සඳහා ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නට සිදු වීම වැනි හේතු මත උදයගේ අතින් රාජකාරි කටයුතු දිනෙන් දින අතපසු විණි. අවසානයේ ඔහු වෙන කරන්නට කිසිම දෙයක් නොවූ නිසා රැකියාවෙන් ඉවත් වී මුළු කාලයම සතුන් වෙනුවෙන් කැප කරන්නට තීරණය කළේය.
ජාපාලවත්ත බඩු ගබඩාවේ සුනඛයන් සමග පදිංචි වී සිටීම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. එනිසා උදය මිනුවන්ගොඩ තිබූ තමන් සතු ඉඩමක් විකුණා ලද මුදලකින් මහව ප්‍රදේශයේ ජන ශූන්‍ය ස්ථානයකින් අක්කර භාගයක ඉඩමක් මිලට ගෙන එහි යන්තමට ගෙයක්ද තනා සුනඛ පිරිස එම ඉඩමට කැටුව ගියේය. ඒ 2018 වසරේදී යි.

මේ වන විට උදයගේ කරුණාව ලැබ එම නිවහන නිත්‍ය වාසස්ථානය කරගෙන රැඳී සිටින සුනඛයන්ගේ සංඛ්‍යාව එකසිය විස්සකට ආසන්න ය.

රැකියාව සේම තම පවුලේ අයගෙන්ද ඈත් ව, සිය ජීවිතයේ සියලු උපභෝග පරිභෝග වස්තූන්ද අතහැර උදය තම මුළු ජීවිතයම කැප කර තිබෙන්නේ අසරණ සුනඛයන් වෙනුවෙනි. ඔහුට මෙම සතුන් රැකබලා ගැනීම සඳහා දැන් උපකාර කරන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සිටින මිතුරන් ය. සිය මුළු කාලයම සුනඛයන් වෙනුවෙන් යොදවන නිසා, නිසි සනීපාරක්ෂක තත්වයන් යටතේ ඔවුන් තබා ගැනීමට උදය සමත් වී සිටී. නමුත් ඔවුන්ව නඩත්තු කිරීම සඳහාත්, රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහාත් විශාල වශයෙන් මුදල් වැය වන බැවින් තමන්ට ලැබෙන මුදල් ඉතා ප්‍රවේශමෙන් වියපැහැදම් කළත් ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාද යෙදෙන බව උදය පවසයි. එවිට ඔහු කරන්නේ සුනඛයන්ගේ ආහාර වේල් කිසිදු අඩුපාඩුවක් නැතුව ඔවුන්ට ලබා දී තමන්ගේ කුස විස්කෝතුවකින් සහ කහට තේ එකකින් පුරවා ගැනීමයි.
දැන් උදයට අලුත් ගැටලු දෙකක් මතු වී තිබේ.

එකක් නම් ඔහු වෙසෙන ඉඩමට යාබද ඉඩම එහි අයිතිකරුවන් විසින් විකුණන්නට සැරසීමයි. එම ඉඩම අලුතෙන් මිලදී ගන්නකු යම් හෙයකින් සුනඛයන්ට අකමැති නම්, එවිට උදයට නැවතත් පෙර ප්‍රශ්නය මතු වනු ඇත. එකසිය විස්සකට ආසන්න සුනඛ පිරිසක් ගෙන උදයට යා හැකි තැනක් නැත. එසේම එම ඉඩම මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් ද ඔහු සතුව නොමැත.
අනිත් ගැටලුව නම් සුනඛයන්ගේ මුවාවෙන් ඔහු මුදල් හම්බකරගන්නා බවට ඇතැමුන් නගන අභූත චෝදනාවන් ය. ඔහු මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටුවට පත්ව සිටියි.

” මම කොළඹ ආනන්දයේ ඉගෙනගෙන මාධ්‍යවල වගකිවයුතු තනතුරු දරපු කෙනෙක්. ඒ වගේම මගේ හොඳ පවුල් පසුබිමකුත් තියෙනවා. ඒ සියලු දේවල් අතහැර දමලා , මගේ දේපළ පවා විකුණලා දාලා මං කැළේකට ඇවිත් මේ සත්තු එක ගත කරන්නෙ සුවපහසු ජීවිතයක් නෙවෙයි. මේ අසරණයන් ගෙන් යැපෙන්න තරම් පහත් මානසිකත්වයක් මට නෑ. සමහරු අසරණ සත්තු වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ, තව කෙනෙක් කරනවා දකිනකොට රුස්සන්නේත් නෑ . ඒ ගොල්ලන්ට තියෙන්නේ අනුන්ට පහර දීමේ මානසික අවශ්‍යතාවය විතරයි. මට කිසි කෙනෙක් කියන දේවල් වැදගත් නෑ. මට වැදගත් මගේ හෘද සාක්ෂිය පමණයි. මම ගත කරන ජීවිතේ ඇස් දෙකෙන් බලාගන්න කියල කියන්න ඕන කෙනෙකුට මට ආරාධනා කරන්න බැරි කමක් නෑ.

නමුත් එහෙම වුණොත් මට තව විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි , තමන්ගේ අහල පහල ඉන්න සුනඛයන්, විශේෂයෙන් සුනඛ ගැහැනු සතුන් සහ පැටවුන් රෑට රෑට මෙතෙන්ට ගෙනල්ල අතහැරලා යන්න අපේ රටේ ඉන්න සත්ගුණවත් මහත්වරුන්යැයි කියා ගන්නා අය පවා පෙළඹෙන්නට පුළුවන්. එහෙම වුණොත් මං කොහොමද මේ හැම දෙනාම නඩත්තු කරන්න තව තවත් මුදල් සොයා ගන්නෙ? උදය කියයයි.

එහෙත් අදටත් උදයගේ සමීප මිතුරෝ උදගේ සුවදුක් විමසීම පිණිස ඔහුගේ වන සෙනසුනට යති.මෙහි දී අපි එම ස්ථානය හැඳින්වීම පිණිස අපි සෙනසුන යන නම යොදමු.ඒ අසරණ සතුන් සිය ගණනකගේ දිවි පැවැත්ම උදෙසා ඔහු සත්‍ය ලෙසම “ගිහි ගෙය” අතහැර හිඳින බැවිනි.

උදයගේ දුරකතන අංකය:0770499811

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය