
ඇමරිකාව පසුගිය සෙනසුරාදා (03) වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කරමින් එරට ජනාධිපතිවරයා වූ නිකලස් මදුරෝත්, ඔහුගේ බිරිඳත් අල්ලාගෙන ඇමරිකාවට රැගෙන යාම ලෝකයම පුදුමයටත්, කම්පනයටත් පත් කළ සිදුවීමක් විය.
වෙනිසියුලාව යනු ඇමරිකාව ආසන්නයේ දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි රටකි. කාලයක සිටම එහි බලය හොබවන්නේ සමාජවාදී නායකයන් යයි පිලිගැනෙන, ඇමෙරිකානු විරෝධීන් ය. කලෙකට පෙර වෙනිසියුලාවේ ජනධිපති ධුරය දැරූ හියුගෝ චාවේස් මෙන්ම ඇමරිකාව විසින් අල්ලාගෙන යන ලද මදුරෝ ද එවැනි නායකයෝ වෙති.
වෙනිසියුලාව යනු ඇමරිකාව ආසන්නයේ දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි රටකි. කාලයක සිටම එහි බලය හොබවන්නේ සමාජවාදී නායකයන් යයි පිලිගැනෙන, ඇමෙරිකානු විරෝධීන් ය. කලෙකට පෙර වෙනිසියුලාවේ ජනධිපති ධුරය දැරූ හියුගෝ චාවේස් මෙන්ම ඇමරිකාව විසින් අල්ලාගෙන යන ලද මදුරෝ ද එවැනි නායකයෝ වෙති.
මෙම පසුබිම තුළ වෙනිසියුලාව තුළ ඇමරිකාවට හිතවත් පාලනයක් ඇති කර ගැනීමේ වුවමනාව කාලයක සිටම ඇමරිකාවට තිබිණි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක් වූ කෙනෙකි.

කෙසේ වෙතත් මැතිවරණ හරහා වෙනිසියුලා පාලනයේ වෙනසක් ඇති කර ගැනීම දුෂ්කර විය. ඒකාධිපති පාලකයකු ලෙස සැලකුණු මදුරෝ නිදහස් සහ සාධාරණ ආකාරයෙන් මැතිවරණ නොපත්වන බවටත්, දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන බවටත් නිතර චෝදනා එල්ල වූයේය.
කෙසේ හෝ වේවා, ඇමරිකාව වෙනිසියුලාව ගැන විශාල උනන්දුවක් දැක්වීමට වෙනිසියුලාව සතු මහා තෙල් සම්පත ද ප්‍රධාන හේතුවකි. ලෝකයේ ලොකුම තෙල් නිධිය ඇත්තේත් වෙනිසියුලාව සතුව යි. ඇමරිකාව මේ දෙස ද ඇස ගසාගෙන සිටින බව රහසක් නොවේ.
වෙනිසියුලා හි පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු කිරීමේ අරමුණ ඇතිව ඇමරිකානු හමුදා වෙනිසියුලාව වෙත ප්‍රහාරය එල්ල කර තිබුණේ එරට වේලාවෙන් සෙනසුරාදා අලුයම 2 ට පමණ ය. ගොඩබිමින්, මුහුදෙන් මෙන්ම ගුවනින් ද මෙම ප්‍රහාරය දියත් වී තිබිණි.
වෙනිසියුලාවේ අගනුවර වන කරාකස් නගරයේ පිපිරුම් හඬ ඇසුණු බවත්, දුම් රොටු අහසට නගිනු දක්නට ලැබුණු බවත් මාධ්‍ය සඳහන් කර තිබිණි. ඇතැම් හමුදා කඳවුරුවලට ද ප්‍රහාර එල්ල වී තිබූ බැව් වාර්තා විය.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝර්ස් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත්කර තිබුණේ මාස ගණනක් තිස්සේ ඔත්තු බැලීමේ ක්‍රියාදාමයකින් පසුව යි.
මේ වෙනුවෙන් විශේෂ රහස් ඔත්තු නිලධාරීන් කණ්ඩායමක් වෙනිසියුලාව තුළ රැඳී සිටි බව වාර්තා වේ. වෙනිසියුලා ආණ්ඩුවේ කෙනෙකු ද මෙයට සහය දක්වා තිබූ බවක් සඳහන් ය.
මෙම කණ්ඩායම මාස ගණනක් තිස්සේ මදුරෝ යනඑන තැන්, නිදා ගන්නා තැන්, කනබොන දේ, ඇඳුම් පැළඳුම් ආදී සියල්ල ගැන ඔත්තු බලා තිබිණ. කොටින්ම ඔහුගේ සුරතල් සතුන් ගැන පවා සොයා බලා තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
කරාකස් නගරයේ මදුරෝ රැඳී සිටි ආරක්ෂිත නිවහනේ විශාල ප්‍රමාණයේ අකෘතියක් ද ඇමරිකාව තුල රහසිගතව ඉදි කර තිබී ඇත. මදුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා හමුදා භටයින් පුහුණුවීම් කර තිබුණේ මෙම ආකෘතිය ද ප්‍රයෝජනයට ගනිමිනි.
මදුරෝත්, බිරිඳ සිලියාත් අල්ලා ගන්නා ලද්දේ බලකොටුවක් හා සමාන නිවසක සිටියදී බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පසුව ඔවුන් දෙදෙනා හෙලිකොප්ටරයකින් ඇමරිකානු යුද නැවක් වන USS Iwo Jima වෙත ගෙනැවිත් තිබූ අතර පසුව ගුවන් යානයකින් නිව් යෝක් නුවර වෙත රැගෙන විත් තිබිණි.
ට්‍රම්ප් ෆ්ලොරීඩා හි පිහිටි ඔහුගේ මාර්-අ-ලාගෝ නිවහනේ සිට වෙනිසියුලා මෙහෙයුමේ සජීවි දර්ශණ නරඹා තිබූ බැව් සඳහන් ය. සී.අයි.ඒ හි අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැනි අය ද ඔහු සමග සිටි බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
මේ වනවිට මදුරෝ සහ බිරිඳ නිව් යෝක් හි බෲක්ලින් ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බව ද වාර්තා වේ.
මදුරෝට එරෙහිව ඇමරිකාව තුළ නඩු පවරන බව එරට නීතිපතිනිය වන පෑම් බොන්දි ප්‍රකාශ කර තිබුණාය.
ඔහුට එරෙහිව ප්‍රධාන වශයෙන්ම එල්ල වන්නේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පිලිබඳ චෝදනා යි. ඇමරිකාවට මත් ද්‍රව්‍ය එවන ජාලයකට මදුරෝ සම්බන්ධ බවත්, එමෙන්ම ඔහු යම් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවත් ඇමරිකාව නගන චෝදනාවකි.
මෙම චෝදනාවලට මදුරෝ වරදකරු වුවහොත් කවර දඬුවමක් හිමි වේවි ද යන්න කුතුහලය දනවන කාරණයකි.
මේ වනවිට වෙනිසුලාවේ වැඩ බලන ජනාධිපති ලෙස උප ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්‍රිගෝස් පත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. වෙනිසියුලාව තුළ නිසි පරිදි බල මාරුවක් සිදුවන තෙක් ඇමරිකාව එය පාලනය කරනු ඇති බවක් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබිණි. නමුත් එය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි විස්තරයක් මෙම සටහන ලියන අවස්ථාව වනවිට ප්‍රකාශයට පත්ව නොතිබිණි.

වෙනිසියුලාවේ මේ වනවිට අබලන්ව ඇති තෙල් කර්මාන්තයට සම්බන්ධ යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීමට ඇමරිකානු තෙල් සමාගම් පියවර ගනු ඇති බවට ට්‍රම්ප් කර තිබූ ප්‍රකාශය ද බොහෝ පාර්ශ්වවල අවධානය දිනාගෙන තිබේ.
ඩෙල්සි රොඩ්‍රිගෝස් ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ බවක් ද ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග පවසා තිබිණි . නමුත් රොඩ්‍රිගෝස් පළ කර තිබුණේ මෙයට වෙනස් අදහසකි. වෙනිසියුලාවට සිටින්නේ එක ජනාධිපති කෙනෙකු පමණක් බවත්, ඒ නිකලස් මදුරෝ බවත් ඇය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා තිබේ. එමෙන්ම රජය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බව ද ඇය සඳහන් කර තිබුණාය.අවශ්‍යතාවක් ඇති වුවහොත් නැවත මීට වඩා දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට වුව ද ඇමරිකාව සුදානමින් සිටින බව ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඩෙල්සි රොඩ්‍රිගෝස් ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ බවක් ද ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග පවසා තිබිණි . නමුත් රොඩ්‍රිගෝස් පළ කර තිබුණේ මෙයට වෙනස් අදහසකි. වෙනිසියුලාවට සිටින්නේ එක ජනාධිපති කෙනෙකු පමණක් බවත්, ඒ නිකලස් මදුරෝ බවත් ඇය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා තිබේ. එමෙන්ම රජය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බව ද ඇය සඳහන් කර තිබුණාය.
අවශ්‍යතාවක් ඇති වුවහොත් නැවත මීට වඩා දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට වුව ද ඇමරිකාව සුදානමින් සිටින බව ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් මදුරෝ අල්ලා ගැනීම සඳහා ඇමරිකාව දියත් කළ මෙහෙයුමට එරෙහිව මදුරෝ ගේ ආධාරකරුවන් වීදි බැස විරෝධතා දක්වන ආකාරය ද දැකගන්නට ලැබිණි.
ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කර ජනාධිපතිවරයා සහ බිරිඳ අල්ලාගෙන යාම ජාත්‍යන්තර ප්‍රජාව ද තිගැස්මට පත් කර ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඒකාධිපතියකු ලෙස සැලකෙන මදුරෝ බොහෝ ලෝක නායකයන්ගේ ප්‍රසාදය දිනා සිටි කෙනෙකු නොවුණත් ඇමරිකාව ක්‍රියා කළ ආකාරය බොහෝ රටවල් අනුමත කර තිබුණේ නැත.
බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ මෙම මෙහෙයුම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම හමුවේ බිහිසුණු පූර්වාදර්ශයක් සපයන්නක් බව යි.
නිහාල් පීරිස්