ඇමරිකාව සහ ඉරානය සාම සාකච්ඡා පටන් ගනී ද?


අඟහරුවාදා (24) සවස මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඉරාන යුද්ධයට අදාලව විශාල අවධානයක් දිනා ගනිමින් තිබූ කාරණයක් වූයේ යුද වැදී සිටින පාර්ශ්ව සාම සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වේවි ද යන්න යි. ඉරානය සමග කිසියම් එකඟතාවකට පැමිණ ගැටුම් සමතයකට පත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වුවමනා වී ඇති ආකාරයක් ඔහුගේ අලුත්ම ප්‍රකාශ තුළින් පෙනෙන්නනට තිබිණි.

ට්‍රම්ප් ඉරානය සමග එකඟතාවක් සඳහා සූදානමක් පෙන්වමින් සිටින්නේ යුද්ධය නිසා ලෝක ආර්ථිකයත්, එමෙන්ම ඇමරිකානු ආර්ථිකයත් දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක් තුළ ය. ට්‍රම්ප්ගේ සහ ඔහු අයත්වන රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන අනාගතයත් යම් අනතුරකට මුහුණ දී ඇති ආකාරයක් දැකිය හැකි වේ.

ඉරානය ආසන්නයේ ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය ඊයේ වනවිටත් යථා තත්වයට පත්ව නොතිබුණු අතර මේ නිසා ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුම තවදුරටත් අඩාල වී තිබිණි. එමෙන්ම ඇමරිකා- ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය පසුබසින පාටක් ද නැත. ඒ වෙනුවට පෙනෙන්නට තිබුණේ ඔවුන් ප්‍රහාර ඉහළ දමමින් සිටින බවකි. සමස්තයක් ලෙස ගත් කළ ඇති වී තිබුණේ ඇමරිකාවවත්, ඊශ්‍රායලයවත් අපේක්ෂා නොකළ තත්වයක් බව පෙනිණි.
ට්‍රම්ප් සාකච්ඡා ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් පෙනී ගියේ එවැනි පසුබිමක් තුළ යි.

ඉරානය ආසන්නයේ ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය ඊයේ වනවිටත් යථා තත්වයට පත්ව නොතිබුණු අතර මේ නිසා ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුම තවදුරටත් අඩාල වී තිබිණි. එමෙන්ම ඇමරිකා- ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය පසුබසින පාටක් ද නැත. ඒ වෙනුවට පෙනෙන්නට තිබුණේ ඔවුන් ප්‍රහාර ඉහළ දමමින් සිටින බවකි. සමස්තයක් ලෙස ගත් කළ ඇති වී තිබුණේ ඇමරිකාවවත්, ඊශ්‍රායලයවත් අපේක්ෂා නොකළ තත්වයක් බව පෙනිණි.
ට්‍රම්ප් සාකච්ඡා ක්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් පෙනී ගියේ එවැනි පසුබිමක් තුළ යි.

සඳුදා (23) ඔහු කර තිබූ ප්‍රකාශයක් විශාල අවධානයක් දිනා ගත්තේය. මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ යුද්ධය අවසන් කිරීමේ අරමුණෙන් ඇමරිකාව සහ ඉරානය අතර ඉරිදා සාකච්ඡාවක් සිදු වූ බව යි. එහි දී යම් කාරණා සම්බන්ධයෙන් එකඟතාවන් ඇති වූ බවක් ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ඔහු පවසන ආකාරයට සාකච්ඡාව සඳහා මුලපුරා ඇත්තේ ඉරානය යි. මුලින්ම ඉරානය පැත්තෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බවත්, ඒ අනුව සාකච්ඡාව සිදු වූ බවත් ට්‍රම්ප් පවසා තිබිණි. ඔහු වැඩිදුරටත් පවසන්නේ එකඟතාවකට එලැඹීමට ඉරානයට දැඩි ලෙස අවශ්‍ය වී ඇති බවයි. ඉහත කී දුරකතන සාකච්ඡාවට ඇමරිකාව පැත්තෙන් සම්බන්ධ වූයේ මැද පෙරදිග කලාපය පිලිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ තම බෑණා වන ජෙයාඩ් කුෂ්නර් බව ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනු දැකගත හැකි විය.

නමුත් ඉරානය පැත්තෙන් මේ සාකච්ඡාවට එක් වූයේ කව්රුන් ද යන්න ට්‍රම්ප් පවසා තිබුණේ නැත. ඔහු කියා තිබුණේ ඉතා ඉහළ මට්ටමේ කෙනෙකු සාකච්ඡා සඳහා සහභාගි වු බව පමණි. නමුත් ඒ උත්තරීතර නායක මොජ්ටබා කමේනී නොවන බව ට්‍රම්ප් කියා තිබිණි. ඔහු ජීවතුන් අතර සිටිනවාද යන්න තමා නොදන්නා බවක් ද ජනාධිපතිවරයා පවසා තිබෙනු දැකිය හැකි විය. නුදුරේදී ම ඉරාන නියෝජිතයන් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් සඳහා සූදානම් බවක් ද ට්‍රම්ප් සඳහන් කර තිබේ.

ට්‍රම්ප් මේ ආකාරයෙන් සාකච්ඡාවක් සිදු වූ බව පැවසුවත් ඉරානය ඒ කතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනු දැක ගන්නට ලැබිණි. ඔවුන් පවසා තිබුණේ එවැනි සාකච්ඡාවක් සිදු නොවූ බවකි.

මෙම තත්වය තුළ සැබැවින්ම සාකච්ඡාවක් සිදු වුණා ද නැද්ද යන්න ගැන පැවතියේ ව්‍යාකූලත්වයකි. කෙසේ වෙතත් එවැනි සාකච්ඡුාවක් සිදු වූවානම් එය සිදු වන්නට ඇත්තේ ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන මොහොමඩ් ගලිබාෆ් සමග විය හැකි බවට යම් අනුමානයන් මාධ්‍ය තුළ පළ වී තිබිණි.

ඇමරිකාවට ඉදිරියේ දී ගණුදෙනු කළ හැකි නායකයකු ලෙස ඔහු ට‍්‍රම්ප් පරිපාලනයේ විශ්වාසය දිනාගනිමින් සිටින බවක් ඇතැම් වාර්තාවල පළ වී තිබිණි. ඔහු වඩාත් ප‍්‍රායෝගික නායකයකු ලෙස ඇමරිකානු නිලධාරීන් සලකන බවක් ද වාර්තා වේ.

ඉරානය මේ අතර පවසා තිබුණේ තම මිත‍්‍ර රටවල් හරහා ඇමරිකාව සාකච්ඡුා ආරම්භ කිරීම සඳහා පණිවුඩ එවා තිබූ බව යි. මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම පණිවුඩ ලැබී තිබුණේ පාකිස්තානය, තුර්කිය, ඊජිප්තුව, ඕමානය වැනි රටවල් හරහා ය.

ඇමරිකාව සහ ඉරානය අතර ඉදිරියේ දී සාකච්ඡා ඇති වුවහොත් ඒවා පාකිස්තානය තුළ පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවට ද අදහස් පළ වී තිබිණි. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් සහ ඉහත සඳහන් කළ ගලිබාෆ් අතර සාකච්ඡුාවක් සඳහා ඇමරිකාවේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවක් ද සඳහන් වේ. සාකච්ඡා කළ යුතු කරුණු ගැන ද ඇමරිකාව ඉරානයට දැනුම් දී ඇතැයි පැවසේ. මේවා අධ්‍යයනය කරමින් සිටින බවක් ඉරාන විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු මාධ්‍ය සමග පවසා තිබිණි.

සාකච්ඡා කි‍්‍රයාමාර්ගයක් ගැන මෙවැනි වාර්තා පළ වුවත්, මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් සතුරු පාර්ශ්ව එල්ල කරගනිමින් සිටි ප‍්‍රහාරවල අඩුවක් දක්නට නොලැබිණි.

යුද්ධයත් සමග විශාල අවධානයක් දිනාගත් හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය ද තවමත් යථා තත්වයට පත්ව නැත. මේ වනවිට ඒ හරහා ගමන් කරන්නේ දිනකට නැව් 4 ක පමණ සංඛ්‍යාවක් බව සඳහන් ය. ඒවා ද ඉරානයේ අවසරය ලැබූ නෞකා ය. සාමාන්‍යයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා දිනකට නැව් 125 ක් පමණ ගමන් කරන බව සඳහන් වේ. ලෝකය පුරා තෙල් සහ ගෑස් සැපයුම් අඩාල වූයේත්, ඒවායේ මිල ගණන් ඉහළ ගියේත් ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට බාධා කිරීම හේතුවෙනි. මේ හරහා ගමන් කරන නැව්වලට පහර දෙන බවක් ඔවුහු පැවසූහ. ඒ ඇමරිකා-ඊශ‍්‍රායල පාර්ශ්වය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප‍්‍රතිචාරයක් වශයෙනි. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් සියයට 20 කට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කෙරෙන්නේ ඉරානයට දකුණු දෙසින් පිහිටි හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යි.

පැය 48 ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහමුලින් විනාශ කරන බවට ට්‍රම්ප් පසුගිය දා කළ ප්‍රකාශය ද දැඩි අවධානයක් දිනා ගත්තක් විය. ඔහු සඳහන් කළ පැය 48 අවසන් වන්නට නියමිතව තිබුණේ ලංකාවේ වේලාවෙන් අඟහරුවාදා උදෑසන ය. නමුත් මේ කාල සීමාව තව දින පහකින් දීර්ඝ කරන බවක් ට්‍රම්ප් සඳුදා පැවසුවේය. ඒ සාකච්ඡාවලින් යම් ප්‍රතිඵලයක් ලැබෙනු ඇත්දැයි බැලීම සඳහා ය.

ඇමරිකාව මේ ආකාරයෙන් බලාගාරවලට පහර දුන්නොත් තමුන් ද ඇමරිකාව සහ ඔවුන්ගේ මිතුරන් සතු මේ කලාපයේ බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ ලවණහරණ (Desalination) මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවා තිබිණි.

ඇමරිකාව මේ ආකාරයෙන් බලාගාරවලට පහර දුන්නොත් තමුන් ද ඇමරිකාව සහ ඔවුන්ගේ මිතුරන් සතු මේ කලාපයේ බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ ලවණහරණ (Desalination) මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවා තිබිණි.

ලවණහරණ මධ්‍යස්ථාන යනු මුහුදු ජලයේ ලවණ ඉවත් කර පානීය ජලය බවට පත් කරන මධ්‍යස්ථාන ය. මෙවැනි ලවණහරණ මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වුවහොත් එම රටවල පානීය ජල සැපයුම්වලට දැඩි බලපෑමක් එල්ල වනු ඇත. මේ කලාපයේ බොහෝ රටවල් සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේ මුහුදු ජලය ලවණහරණයට බඳුන් කිරීම මගිනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර