ඇෆ්ගනිස්තාන භූමිකම්පාවේ මරණ ගණන 2,000 ඉක්මවයි

vinivida

මෙයට ටික දිනකට පෙර ඇෆ්ගනිස්තානයේ සිදු වූ බිහිසුණු භූමිකම්පාව ලොව පුරා විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. අගෝස්තු 31 වැනි දින මැදියම් රාති‍්‍රය ආසන්නයේ ඇති වූ මෙම භූමිකම්පාව නිසා සිදු වූ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙයට අදාළව පළ වී තිබූ අලූත්ම වාර්තාවකින් පැවසුණේ මරණ ගණන 2,200 ඉක්මවා ඇති බව යි. ඊට දින දෙකකට පෙර මරණ ගණන 1,400 ක් පමණක් විය.

මරණ ගණන තව දුරටත් ඉහළ යා හැකි බව ඇෆ්ගනිස්තාන නිලධාරීන් එම අවස්ථාවේ සඳහන් කර තිබිණි. ඇතැම් විට ඉදිරි දිනවල එය තවත් ඉහළ යා හැකි බවක් පෙනෙන්නට තිබේ. මරණ සංඛ්‍යාව 10,000 කට ආසන්න විය හැකි බවක් ඇමරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය එක් අවස්ථාවක ප‍්‍රකාශ කර තිබිණි.

භූමිකම්පාව සිදු වූ ප‍්‍රදේශයට ලඟා වීම ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බෙහෙවින් දුෂ්කර වී තිබූ බවක් වාර්තා විය. මාර්ග අවහිර වී තිබීම, පාලම් ආදියට හානි සිදු වී තිබීම වැනි කාරණා ඊට හේතු වී තිබිණි. මේ නිසා භූමිකම්පාවෙන් මිය ගිය අයගේ සිරුරු සොයා ගැනීම ද තරමක් ප‍්‍රමාද වී තිබේ. මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යමින් ඇත්තේ මළ සිරුරු සොයා ගන්නා ප්‍රමාණයට අනුව ය.

භූමිකම්පාව සිදු වූ ප‍්‍රදේශයට ලඟා වීම ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බෙහෙවින් දුෂ්කර වී තිබූ බවක් වාර්තා විය. මාර්ග අවහිර වී තිබීම, පාලම් ආදියට හානි සිදු වී තිබීම වැනි කාරණා ඊට හේතු වී තිබිණි. මේ නිසා භූමිකම්පාවෙන් මිය ගිය අයගේ සිරුරු සොයා ගැනීම ද තරමක් ප‍්‍රමාද වී තිබේ. මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යමින් ඇත්තේ මළ සිරුරු සොයා ගන්නා ප්‍රමාණයට අනුව ය.

මිය ගිය ගණන 2,200 ඉක්මවා ඇති බව ප‍්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්තාන රජය යි. ඔවුන් ගේ සංඛ්‍යාලේඛනවලට අනුව 4,000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

මෙම භූමිකම්පාව සැලකෙන්නේ 1998 න් පසු ඇෆ්ගනිස්තානයේ ඇති වූ දරුණුම භූමිකම්පාව ලෙසිනි. එම වසරේ තකාර් නැමැති ප‍්‍ර‍්‍රදේශයේ ඇති වූ භුමිකම්පාවකින් 4,000-4,500 අතර සංඛ්‍යාවක් මරණයට පත්ව තිබිණි.

31 වැනි දින භූමිකම්පාව ඇති වී තිබුණේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර දිශාවේ පිහිටි කුනාර් නැමැති පළාතේ යි. එහි දිස්ති‍්‍රක්ක පහකට එයින් හානි සිදුව ඇති බව වාර්තා වේ. ගම්මාන පිටින් විනාශ වී ඇති අතර නිවාස 8,000 කට ආසන්න සංඛ්‍යාවක් හානියට ලක්ව ඇති බවක් ද සඳහන් විය. ඇතැම් දිස්ති‍්‍රක්කවල තිබූ සියලූම නිවාස විනාශ වී ඇති බවක් ද මාධ්‍ය වාර්තාවල දැක් වේ.

මෙම භූමිකම්පාව ඒකක 6 ක ප‍්‍රබලත්වයකින් යුතු එකකි. එය එතරම්ම ප‍්‍රබල භූමිකම්පාවක් ලෙස සැලකෙන්නේ නැත. එහි ප‍්‍රබලත්වයට සාපේක්‍ෂව මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව විශේෂඥයන්ගේ අදහස යි. මේ ආකාරයෙන් මරණ සංඛ්‍යාව වැඩි වීමට බලපා ඇති හේතු ගැන ද ඔවුන් සඳහන් කර තිබේ.

භූමිකම්පාව ඇති වී තිබුණේ පොලොව මතුපිට සිට එතරම් ගැඹුරකින් නොවේ. භූ විද්‍යාඥයන් පවසා තිබූ ආකාරයට මෙහි අපිකේන්‍ද්‍රය තිබී ඇත්තේ පොලොව මතුපිට සිට කි.මී. 8 ක් පමණ ගැඹුරෙනි. භූමිකම්පා විෂයයෙහි දී මෙය එතරම් විශාල ගැඹුරක් ලෙස සැලකෙන්නේ නැත. භුමිකම්පාවේ බලපෑම වඩාත් තදින් දැනෙන්නට මෙම කාරණය ද ප‍්‍රධාන හේතුවක් වී තිබේ.

කුනාර් ප‍්‍රදේශයේ භුමියේ වූ එතරම් සවිමත් නැති ස්වභාවය ද හානිය දරුණු වීමට බලපා තිබිණි. එමෙන්ම මෙම ප‍්‍රදේශයේ ජනතාව ජීවත් වූ නිවාස මැටියෙන් තැනූ ගඩොල් සහ ගල් ආදිය යොදා ගනිමින් ඉදි කරන ලද ඒවා බව සඳහන් විය. ඒ නිසා ඒවා එතරම් සවිශක්තියෙන් යුතු නිවාස නොවීය. මරණ ගණන ඉහළ යාමට මෙවැනි කාරණා ද බලපා තිබේ.

මෙම නිවාස වැඩි හරියක් තිබී ඇත්තේ කඳු බෑවුම්වල බව ද සඳහන් වේ. භූමිකම්පාවත් සමග කඳු ප්‍රදේශවල ඇති වූ නාය යාම් ද තත්වය වඩාත් බරපතල කිරීමට දායක වී තිබිණි. මෙම නාය යාම්වලට යට වූ මළ සිරුරු සොයා ගැනීම ද දුෂ්කර වී තිබේ.

භූමිකම්පාව සිදු වූයේ 31 වැනි දින මැදියම් රාති‍්‍රය ආසන්නයේ යි. එය එම ප‍්‍රදේශයේ වැසියන් නිවෙස් තුළ සුව නින්දේ පසු වූ වේලාවකි. මෙය ද මරණ සංඛ්‍යාව ඉහළ දමන්නට හේතු වූවක් ලෙස සැලකේ.

ඇෆ්ගනිස්තානය නිතර භූමිකම්පාවලට ගොදුරු වන රටකි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ එක සතියක් ඇතුළත එක පෙලට භූමිකම්පා හතරක් සිදු වූ අතර එයින් 1,400 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් විය. මෙම භූමිකම්පා හටගත්තේ හෙරාත් නැමැති ප‍්‍රදේශයේ යි.

භූ තල දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක හමුවන කලාප ආශි‍්‍රතව පිහිටා ඇති රටවල් වැඩි වශයෙන් භූමිකම්පාවලට ගොදුරු වේ. ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය හමුවන කලාපයට ඉහළිනි.

භුමිකම්පා ඇතිවන්නේ පොලොව යට පිහිටි භූ තල එකිනෙක ගැටීම, එකිනෙක ඇතිල්ලීම වැනි හේතු නිසා ය. මහ පොලොවේ ඉහළ ස්ථරය සෑදී තිබෙන්නේ එකිනෙකින් වෙන් වූ මෙවැනි භූ තල රාශියක් එකතු වීමෙනි. මෙම භූ තල විවිධ දිශාවන්ට චලනය වෙමින් පවතින අතර ඒවා ඇතැම් අවස්ථාවල එකිනෙක ගැටීම, එකිනෙක ඇතිල්ලීම වැනි දේ සිදු වේ. භූමිකම්පා ඇති වන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.

භූ තල දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක හමුවන කලාප ආශි‍්‍රතව පිහිටා ඇති රටවල් වැඩි වශයෙන් භූමිකම්පාවලට ගොදුරු වේ. ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය හමුවන කලාපයට ඉහළිනි.

බ‍්‍රහස්පතින්දා (04) ද තවත් භූමිකම්පාවක් හටගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒකක 5.6 ක ප‍්‍රබලත්වයකින් යුතු වූ මෙම භුමිකම්පාව සිදුව තිබුණේ ඇෆ්ගනිස්තානයේ ගිණිකොන දෙසින් පිහිටි ප‍්‍රදේශයක යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට නම් මරණ කිසිවක් පිලිබඳව වාර්තා වී තිබුණේ නැත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර