
ඇමරිකා-ඊශ්‍රායල පාර්ශ්වය සහ අනෙක් පැත්තෙන් ඉරානය අතර දරුණු මට්ටමින් ඉදිරියට යමින් ඇති යුද ගැටුමේ උණුසුම දැන් අපේ ගෙවල්වලටත් දැනෙන්නට පටන් ගෙන තිබේ. ඒ තෙල් මිල ඉහළ යාමට පටන් ගැනීමත් සමග ය. පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල සැලකිය යුතු තරමකින් ඉහළ ගොස් තිබේ. මෙම තත්වය ඇති වූයේ යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් මිල වේගයෙන් ඉහළ යාමට පටන් ගැනීමත් සමග ය.
සඳුදා (09) එක් අවස්ථාවක බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 120 ආසන්නයට ලඟා විය. නමුත් පසුව එය ඇ.ඩොලර් 99 දක්වා පහත වැටී තිබිණි.
කෙසේ හෝ වේවා, මේ සටහන ලියන අඟහරුවාදා (10) වනවිට ලෝක වෙළෙඳපොලේ තෙල් මිල තවදුරටත් අඩු වී තිබෙනු දැකගන්නට ලැබිණි. ඒ වනවිට බොරතෙල් බැරලයක මිල පැවතියේ ඇ. ඩොලර් 91-92 ආසන්නයේ යි.

තෙල් මිල මේ ආකාරයෙන් එකවර පහත වැටීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර තිබූ ප්‍රකාශයක් හේතු වී තිබිණි. යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවක් ඔහු සඳුදා (09) ප්‍රකාශ කර තිබිණි.
ලෝකයේ තෙල් ප්‍රවාහනයට එල්ල වී තිබෙන බාධා ඉක්මනින් ඉවත් වනු ඇති බවට විශ්වාසයක් මේ නිසා තෙල් නිපදවන රටවල් ඇතුළු තෙල් ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්ව තුළ ඇති විය. මිල අඩු වූයේ ප්‍රධාන වශයෙන්ම මෙම තත්වය තුළ යි. මුලින් තෙල් මිල වැඩි වූයේ යුද්ධය දිග්ගැසී තෙල් සැපයුමට දිගටම බාධා එල්ල වනු ඇතැයි බියක් ඇති වීම නිසා ය.
ලෝකයේ තෙල් ප්‍රවාහනයට එල්ල වී තිබෙන බාධා ඉක්මනින් ඉවත් වනු ඇති බවට විශ්වාසයක් මේ නිසා තෙල් නිපදවන රටවල් ඇතුළු තෙල් ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්ව තුළ ඇති විය. මිල අඩු වූයේ ප්‍රධාන වශයෙන්ම මෙම තත්වය තුළ යි. මුලින් තෙල් මිල වැඩි වූයේ යුද්ධය දිග්ගැසී තෙල් සැපයුමට දිගටම බාධා එල්ල වනු ඇතැයි බියක් ඇති වීම නිසා ය.
තෙල් අපනයන කටයුතු අඩාල වීම තුළ ඇතැම් රටවල් තෙල් නිශ්පාදනය නතර කිරීමට පවා පියවර ගනිමින් සිටියේය. ඒ, ඔවුන් අලුතෙන් නිපදවන තෙල් ගබඩා කිරීමට ඉඩ නැති වීම වැනි හේතු නිසා ය.

ලෝකයේ තෙල් සැපයුමට බාධා ඇති වී තිබෙන්නේ ඉරානය ඒ ආසන්නයේ ඇති හෝමුස් නැමැති සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට බාධා එල්ල කර ඇති බැවිනි. මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට පහර දෙන බවට ඉරානය යුද්ධය පටන් ගත් දා ම තර්ජනය කළේය. ඔවුන් මෙම සමුද්‍ර සන්ධිය යුද අවියක් ලෙස භාවිත කරමින් සිටිනු දැකගත හැකි වේ. ඉරානය මෙහි නැව්වලට පහර දෙන බව කීවේ ඇමරිකා- ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙසිනි.
මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමන් කිරීමක් සිදු වූයේ නැත.
ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා යි.
යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බවක් ට්‍රම්ප් පැවසුවත් ඇතැම් විශ්ලේෂකයන් එය එතරම්ම විශ්වාස කරන පාටක් පෙනෙන්නේ නැත.

යුද්ධයේ දී මිය ගිය උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී වෙනුවට ඉරානය අලුතෙන් පත්කර ගත්තේ ඔහුගේ පුත් මොජ්ටබා කමේනී ය. ඔහු ද ඉතා දැඩි මතධාරී නායකයකු ලෙස සැලකෙන අතර ඉරානයේ හමුදාවල විශ්වාසය දිනාගෙන සිටින කෙනෙකි. නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටබා කමේනී පත් කරගැනීමෙන් පෙනී යන්නේ ඉරානය දැන්ම පසුබසින්නට සූදානම් නැති බවක් ද යන ප්රශ්නය බොහෝ පාර්ශ්ව මතු කර තිබෙනු දැකගන්නට ලැබේ.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී බලකායේ ප්‍රකාශකයකු වන අලී මොහමඩ් නායිනි කර තිබූ ප්‍රකාශයක් ද පසුගිය දිනවල ලොකු අවධානයක් දිනා ගෙන තිබිණි. ඔහු පවසා තිබුණේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග දැන් පවතින ආකාරයේ යුද්ධයක් මාස හයක කාලයක් කරගෙන යාමට ඉරාන හමුදාවලට ශක්තිය ඇති බව යි. ඉරානය තවමත් පාවිච්චි කර ඇත්තේ පළමු සහ දෙවැනි පෙල මිසයිල පමණක් බවක් ද නායිනි සඳහන් කර තිබිණි. නමුත් වඩාත් දියුණු සහ නිතර පාවිච්චි නොකරන ආකාරයේ දිගු දුර මිසයිල ඉදිරියේ දී භාවිත කරනු ඇත් බවක් ද ඔහු ප්‍රකාශ කර තිබේ.
කෙසේ හෝ වේවා, ඉරානය හෝමුස් හි ඛණිජ තෙල් ප්‍රවාහනයට තව දුරටත් බාධා කළහොත් මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලට වඩා විසි ගුණයකින් පමණ දරුණු ප්‍රහාර එල්ල කරන බවක් ට්‍රම්ප් සඳුදා සිය Truth Social සමාජ මාධ්‍ය පිටුවේ ලියා තිබිණි.
ට්‍රම්ප් මෙම ප්‍රකාශය කිරීමෙන් පසු ඉහත සඳහන් කළ නායිනි ද ඊට ප්‍රතිචාරයක් මෙන් තවත් ප්‍රකාශයක් කර තිබෙනු දැක ගත හැකි විය. “යුද්ධය අවසන් වන්නේ කවදාද යන්න තීරණය කරන්නේ ඉරානය යි” යනුවෙන් ඔහු සඳහන් කර ඇත. මේ අනුව මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් පෙනෙන්නට තිබුණේ දෙපැත්තම තවමත් කැත්තට පොල්ල මෙන් සිටින ආකාරයකි. ඒ නිසා ට්‍රම්ප් කියන තරම් ඉක්මනින් යුද්ධය අවසන් වේවිද යන්න ඒ වෙද්දීත් පැවතියේ අවිනිශ්චිත තත්වයක ය.

ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර දුරකතන සාකච්ඡාවක් සඳුදා සිදු වී තිබිණි. ඒ, යුද්ධය සහ තෙල් ප්රශ්නය සම්බන්ධයෙනි. ඒ වනවිට පුටින් මැද පෙරදිග සෙසු රටවල නායකයන් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන් සමග සාකච්ඡා කර තිබූ බව සඳහන් විය. එම පසුබිම තුළ ඔහු ට්‍රම්ප්ට යම් යම් යෝජනා ඉදිරිපත් කර තිබූ බවක් රුසියානු නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබිණ. යුද්ධය දේශපාලනමය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට අදාල යෝජනා පුටින් ඉදිරිපත් කර තිබූ බවක් සඳහන් ය. රුසියාව මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවක් ද පුටින් පවසා ඇතැයි වාර්තා වේ.
මේ අතර ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර දුරකතන සාකච්ඡාවක් සඳුදා සිදු වී තිබිණි. ඒ, යුද්ධය සහ තෙල් ප්රශ්නය සම්බන්ධයෙනි. ඒ වනවිට පුටින් මැද පෙරදිග සෙසු රටවල නායකයන් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන් සමග සාකච්ඡා කර තිබූ බව සඳහන් විය. එම පසුබිම තුළ ඔහු ට්‍රම්ප්ට යම් යම් යෝජනා ඉදිරිපත් කර තිබූ බවක් රුසියානු නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබිණ. යුද්ධය දේශපාලනමය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට අදාල යෝජනා පුටින් ඉදිරිපත් කර තිබූ බවක් සඳහන් ය. රුසියාව මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවක් ද පුටින් පවසා ඇතැයි වාර්තා වේ.
පුටින්ගේ යෝජනා පිලිබඳ වැඩි විස්තරයක් අනාවරණය වී තිබුණේ නැත.
රුසියාව සැලකෙන්නේ ඉරානයේ මිත්‍ර රටක් ලෙසිනි.
නිහාල් පීරිස්