
ඉරාන යුද නැවකට ලංකාව ආසන්න මුහුදේදී සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමීමේ සිද්ධියේ වගකීම ඇමෙරිකාව විසින් භාරගෙන ඇත. ඇමෙරිකාව මේ සිද්ධියේ වගකීම භාරගන්නා තුරුම ශ්‍රී ලංකා නාවික හමුදාව දැන සිටියේ, මෙරට මුහුදු සීමාව ආසන්නයේ ශ්‍රී ලංකාවේ සෙවුම් හා ගලවා ගැනීමේ කලාපය තුළ ඉරාන යුද නෞකාවක් අනතුරට පත්වී ආපදා සංඥාවක් එවූ නිසා තම යාත්‍රාවලින් ගොස් මුහුදේ පාවෙමින් සිටි නාවික කාර්ය මණ්ඩලයේ තිස් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කළා කියන්නට පමණි. ඊටත් වඩා පුදුමය වන්නේ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු මෙය සබ්මැරීනයක් මගින් එල්ල කළ ප්‍රහාරයකින් සිදුවූවක් බවට විදේශ මාධ්‍ය ප්‍රකාශ කර ඇතැයි කියා ප්‍රශ්න කරද්දී, ඒ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කටයුතු කිරීමය. එසේම මේ නෞකාව කොහේ සිට ආවේද, කවර ස්ථානයකට යමින් සිටියේද, නෞකාවේ කාර්ය මණ්ඩලය කොතෙක් සිටියේද යන්න පිළිබඳවවත් නාවික හමුදාව එතෙක් කිසිවක් දැන සිටියේ නැත.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා මාධ්‍යයට පැවසුවේ රෝහලට භාර දී ඇති තිස් දෙදෙනාගෙන් එක් අයෙකු බරපතළ තත්ත්වයේත්, තව හත් අට දෙනෙකු සැලකිය යුතු මට්ටමේ තුවාලවලටත් ගොදුරුව ඇති බවත් සෙසු සියල්ලෝම සුළු තුවාල ලැබූවන් බවත්ය. අඩුම ගණනේ මුදවාගෙන ගොඩබිම කරා ගෙන එන අතරදී මේ සුළු තුවාල ලැබූවන්ගෙන්වත් “උඹලට මොකද වුණේ” කියා විමසා බැලීමට නාවික හමුදාව ක්‍රියා කර නොතිබීම විස්මයජනකය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඒ තොරතුරු කිසිවක් දැන නොසිටියාට පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ අනතුරට පත් නෞකාවේ 180 දෙනෙකු සිටි බවය. එමෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ “ප්‍රහාරයට ලක්වූ නෞකාව” පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප.ව. 3.30 ට පැවැත්වෙන බවය. මේ ඇමති දෙපළගේ ප්‍රකාශ අනුව නෞකාවේ සිටි සංඛ්‍යාවත් එය ප්‍රහාරයට ලක්වූවක් බවත් ඔවුන් දැන සිටි බව පැහැදිලිය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ කරුණු දෙකම නොදැන සිටි බව පැහැදිලිව ප්‍රකාශ කළ බැවින් මේ ඇමතිවරුන්ට තොරතුරු ලැබුණු මාර්ගය ඊට වෙනස් එකක් විය යුතුය. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලධාරීන් හා ආරක්ෂක බලධාරීන් අතර තොරතුරු පිළිබඳව ලොකු පරස්පරතාවක් ඇතිවී ඇති බවය.

මැදපෙරදිග කලාපයේ දැන් සිදුවන යුද්ධය සිදුවන්නේ අපේ මිත්‍ර රාජ්‍යයන් දෙකක් අතරය. එක් පසෙක සිටින ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය යන රාජ්‍යයන් දෙකම නූතන රාජ්‍යයන් වන අතර දෙකම අපේ මිත්‍ර රාජ්‍යයන්ය. අනෙක් පස සිටින ඉරානය ලොව ඉපැරණි රාජ්‍යයක් වන අතර ඈත අතීතයේ සිටම අප හා ගනුදෙනු කළ මිත්‍ර රාජ්‍යයකි. එසේම ඉරානය ජාත්‍යන්තර ගැටලුවලදී නිරන්තරයෙන්ම අපගේ සහායට පෙනී සිටි රාජ්‍යයකි. මිතුරන් අතර ඇතිවන ගැටුමක පාර්ශ්වයක් වීමට අපට අවශ්‍යතාවක් නැති අතර මේ ගැටුම පිළිබඳව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේත් ඒ නිසාමය.
මැදපෙරදිග කලාපයේ දැන් සිදුවන යුද්ධය සිදුවන්නේ අපේ මිත්‍ර රාජ්‍යයන් දෙකක් අතරය. එක් පසෙක සිටින ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය යන රාජ්‍යයන් දෙකම නූතන රාජ්‍යයන් වන අතර දෙකම අපේ මිත්‍ර රාජ්‍යයන්ය. අනෙක් පස සිටින ඉරානය ලොව ඉපැරණි රාජ්‍යයක් වන අතර ඈත අතීතයේ සිටම අප හා ගනුදෙනු කළ මිත්‍ර රාජ්‍යයකි. එසේම ඉරානය ජාත්‍යන්තර ගැටලුවලදී නිරන්තරයෙන්ම අපගේ සහායට පෙනී සිටි රාජ්‍යයකි. මිතුරන් අතර ඇතිවන ගැටුමක පාර්ශ්වයක් වීමට අපට අවශ්‍යතාවක් නැති අතර මේ ගැටුම පිළිබඳව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේත් ඒ නිසාමය.

දැනගන්නට ඇති පරිදි ඉරාන යුද නෞකාව ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවති ප්‍රදර්ශනයකට සහභාගී වී ආපසු ඉරානය බලා යාත්‍රා කරමින් සිටියදී අපේ මුහුදු කලාපයේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී මෙම සබ්මැරීන් ප්‍රහාරයට ලක්ව ගිලී ගොස් ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මේ නැව යාත්‍රා කරමින් සිටියා නොව ගාලු වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා පැය 11 ක් තිස්සේ අප රටේ ආර්ථික කලාපය තුළ නතර කරගෙන සිටි බවත් ශ්‍රී ලංකා බලධාරීන් එම මුළු කාලය පුරාම අවසර ලබාදීමක් නොකර නිහඬව සිටි බවත්ය. එසේම ඇමෙරිකාවට මේ ඉරාන නැව ගැන දැනගන්නට ලැබුණේ එසේ නතර කර සිටියදී බවද ඔහු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මුහුදු මාර්ගයක මුහුදේ යාත්‍රා කරන නෞකාවක අනන්‍යතාව දිය යටදී හඳුනා ගැනීම අපහසු කාර්යයකි. ඇමෙරිකානු සබ්මැරීනය මෙතරම් පහසුවෙන් ඉරාන නෞකාව හඳුනා ගත්තේ එය එම ස්ථානයේ නතර කර ඇති බවට තොරතුරු දැන සිටි නිසාද? එසේ නම් ඒ තොරතුරු සැපයුවේ කවුරුන්ද? යන සැකයන් ද මෙහිදී පැන නඟී. ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ වහා අවධානය යොමු කළ යුත්තේ මෙරට සමුද්‍රීය පාලන කටයුතුවලදී විවිධ නාවික යාත්‍රාවලින් සැපයෙන තොරතුරු සමුද්‍රීය පරිපාලන අංශ වෙතින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස වෙනත් පාර්ශ්වවලට මුදා හැරීමක් වන්නේද, එසේ නම් ඒවාට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳවයි.
ඊළඟට රජය වහා සිය අවධානය යොමු කළ යුතු වන්නේ අපේ රටේ ආර්ථික කලාපය හරහා පවතින ජාත්‍යන්තර මුහුදු මාර්ගය තුළ යුදමය ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව සිය විරෝධය සියලු පාර්ශ්ව වෙත දැක්වීමටයි. මෙහිදී ඉන්දියන් සාගරය සාම කලාපයක් විය යුතු බවට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර අනුමත කරවා ගත් විශිෂ්ට යෝජනාව පදනම් කර ගත හැකිය. එහෙත් එය හැත්තෑ වසරක ශාප ලත් කාලය තුළ සිදු වූවක් නිසා “ගෙඩිය පිටින්ම” ඉවත දැමිය යුතුයැයි ආණ්ඩුව සිතනවා වන්නටද බැරි නැත. එමෙන්ම යුද වැදී ඇති කිසිදු පාර්ශ්වයක යුද නෞකා සඳහා අප රට විසින් සේවා නොසැපයීමේ ප්රතිපත්තියකට වහා එළඹිය යුතුය. ගැටලුව ඇත්තේ යම් යම් බලවතුන් සමග ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ ගිවිසුම්වලින් එම අපක්ෂපාතී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රටක් ලෙස අපට ඇති අයිතිය ද උල්ලංඝනය වී තිබේද යන්න ගැනයි.
සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති