ඉන්දියාවේ වීදි දරුවන් පවා දන්නා අප නොදන්න නිරිත දිග මෝසම

“බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ”.

එක් කුඩා දරුවකු කිහිප වරක්ම ලියූ “පොල් ගස”ගැන වාක්‍ය රචනාව පසුව ඔහුට පාඩමින් ලියන්නට පුරුදුව සිටි අයුරින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ දිනවල නිකුත් කරන ඉහත සඳහන් ආකෘතියේ කාලගුණ අනාවැකි දැන් අප කාටත් කට පාඩම් ය.ඒ අතර මෙවර නිරිත දිග මෝසම් සමය ස්ථාපිතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉකුත් 22 දා නිවේදනය කරන ලදී.ඒ එම මෝසම් ප්‍රවාහයෙන් අප රටේ ජලාශ කිහිපයක් උතුරා යන අතරේ ය. එමෙන්ම ඉදිරියේ ලැබෙන මෝසම් තද වැසි ස්වාභාවික විපත් ඉහළ යාමට ද ඉඩ ඇති බව පැවසෙයි.

සෑම වසරකම මැයි මාසය වන විට අන්තර් නිවර්තන අභිසරණ කලාපය උතුරට ගමන් කරන නිසා එහි ඇති වන අඩු පීඩනය පිරවීම සඳහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයට සුළං ධාරා හමා යාම සිදුවේ. එම සුළං ධාරාව ලංකාවේ නිරිත දෙසින් රට තුළට ඇතුළු වී ඊසාන දෙසින් පිටව යාම සාමාන්‍ය සංසිද්ධියකි. එම ක්‍රියාවලියේ දී ජලවාෂ්ප රැසක් ද සමග රට තුළට ඇතුල්වන වායු ධාරාව මධ්‍යම කඳුකරයේ හැපී ඉහළට ගමන් කිරීම නිසා ජල වාෂ්ප සිසිල් වී වළාකුළු නිර්මාණය වේ. එසේ නිර්මාණය වන වළාකුළු මඟින් ඇතිවෙන වැසි නිරිතදිග මෝසම් වර්ෂාව ලෙසින් හඳුන්වනු ලැබේ.

මෙරට පාසල් වල දිවීතික අධ්‍යාපනයෙන් පවා ඉගැන්වෙන අන්දමට ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන ආකාර තුනකි.සංවහන, මෝසම්, සහ වාසුළි ලෙසින් හඳුන්වන එම ආකාරවලින් සැලකිය යුතු වර්ෂාවක් ලැබෙනුයේ මෝසම් වැසි මඟිනි. එලෙස ලංකාවේ දේශගුණයට බලපෑම් කරන ප්‍රධාන මෝසම් ප්‍රවාහ දෙක නිරිතදිග මෝසම සහ ඊසාන දිග මෝසම ලෙසින් හඳුන්වනු ලැබේ. එම මෝසම් දෙකෙන් ලංකාවට වැඩිම වර්ෂා ප්‍රමාණයක් ලැබෙන්නේ නිරිතදිග මෝසම මඟිනි.එහෙත් එහි විස්මයට කරුණ නම් අදටත් අප රටේ බහුතරයක් අප රටේ වර්ෂාපතන රටාව ගැන නොදැන සිටීම ය.

මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පුරා මාස පහක කාලයක් නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රියව පවතින අතර එම නිරිතදිග මෝසම පෝෂණය වීමට ඉන්දියන් සාගර කලාපයෙන් විශාල දායකත්වයක් දෙනු ලබයි.සෑම වසරකම මැයි මාසය වන විට අන්තර් නිවර්තන අභිසරණ කලාපය උතුරට ගමන් කරන නිසා එහි ඇති වන අඩු පීඩනය පිරවීම සඳහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයට සුළං ධාරා හමා යාම සිදුවේ. එම සුළං ධාරාව ලංකාවේ නිරිත දෙසින් රට තුළට ඇතුළු වී ඊසාන දෙසින් පිටව යාම සාමාන්‍ය සංසිද්ධියකි. එම ක්‍රියාවලියේ දී ජලවාෂ්ප රැසක් ද සමග රට තුළට ඇතුල්වන වායු ධාරාව මධ්‍යම කඳුකරයේ හැපී ඉහළට ගමන් කිරීම නිසා ජල වාෂ්ප සිසිල් වී වළාකුළු නිර්මාණය වේ. එසේ නිර්මාණය වන වළාකුළු මඟින් ඇතිවෙන වැසි නිරිතදිග මෝසම් වර්ෂාව ලෙසින් හඳුන්වනු ලැබේ. මෙම ක්‍රියාවලියේ දී රට තුළට ඇතුල්වන සුළං දහරාව තුළ විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් ඇත්තේ විශාල සාගර ප්‍රදේශයක් හරහා පැමිණෙන නිසා ය. එම නිසා ශ්‍රී ලංකාවට සැලකිය යුතු වර්ෂා ප්‍රමාණයක් නිරිතදිග මෝසම මඟින් දායාද කෙරේ.

නිරිතදිග මෝසම මඟින් අප රටේ සෑම ප්‍රදේශයකටම සමාන වර්ෂා ප්‍රමාණයක් නොලැබෙන අතර දිවා සහ රාත්‍රී කාලයන් දෙකේම වර්ෂාව බලාපොරොත්තු විය හැකි නිරිත දිග මෝසම මඟින් ලැබෙන වර්ෂා ප්‍රමාණය මිලිමීටර් 100 සිට 3000 දක්වා වෙනස් වේ.දිවයිනේ බටහිර බෑවුම්වල මධ්‍ය උස්බිම්වලට ඉහළම වර්ෂාපතනයක් ලැබෙන අතර ගිනිගත්හේන, වටවල, උඩ මාලිබොඩ, නෝටන්බ්‍රිජ් වැනි ප්‍රදේශවලට මිලිමීටර් 3000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ නමුත් ඊට වඩා ඉහළින් පිහිටි උස් බිම්වලට නිරිත දිග මෝසමෙන් ලැබෙන වර්ෂා ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු ය. එනිසා නුවරඑළිය ප්‍රදේශයට ලැබෙන වර්ෂා ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිමීටර් 850ක් වැනි සාමාන්‍ය අගයක් ගනු ලබයි.”මෙහාට වැස්සට මොකද නුවර එළියට මෙහෙම වහින්නේ නෑනෙ”මේ දිනවල අප රටේ බස්නාහිරෙන් සබරගමුවෙන් දකුණේ ගාලු මාතර ප්‍රදේශ වලින් සේම මධ්‍යම පළාතෙන් හා වයඹ පළාතේ පුත්තලම් දිස්තික්කයෙන් නුවරඑළි යන්නෝ කියති.එසේම නිරිතදිග වෙරළබඩ තීරයට ද මෙම මෝසම මිලිමීටර් 1000 සිට 1600 දක්වා වර්ෂාපතනයක් ලැබුණත් නිරිතදිග මෝසම මඟින් අප රටේ ගිණිකොණ දිග වෙරළබඩ තීරයට ලැබෙන්නේ ඉතාමත් අඩු වර්ෂා ප්‍රමාණයකි.නමුත් ඉහත සඳහන් ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම පාසලේ දී කට පාඩම් කොට ඉන් වැඩි ළකුණු ප්‍රමාණයක් ලබා විභාග සමත් වූ බොහෝ දෙනෙක් ද මෙය අපට ප්‍රායෝගිකව අත් විඳීමට සිදුවන තත්වයක් බව නොදනිති. එසේ දැනුවත් වූයේ නම් මේ කාලයෙන් ඇරඹෙන ස්වාභාවික ආපදා සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකි වේ.

ශ්‍රී ලංකාවේ තත්වය මෙය වුව ද මේ කාලයට ඉන්දියාවේ දිල්ලි නගරයේ සිඟමන් යදින වීදි දරුවන් ද ඉදිරි කාලය තුළ එළඹෙන මෝසම් වැස්ස ගැන පවසමින් හඬා වැටෙන බව ප්‍රකට පුවතකි.ඒ දිල්ලියට එළඹෙන මෝසම් සමය ඔවුනට ද ආපදා බහුල කාලයක් නිසා ය. ශ්‍රී ලංකාවේ කාලගුණ සාධක වල බලපෑම යටතේ සිදුවන ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම එම ආපදා කළමනා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලැබෙන බව සැබෑ මුත් ස්වාභාවික ආපදා අවම කිරීමට මෙන්ම කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර නිසි කලට දියත් කිරීම පිළිබඳ වගකීම නිසි පරිදි ඉටු වේද යන්න සැකයකි. මේ අතර නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි ද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද නිරතුරුව ජනතාවගෙන් කරන ඉල්ලීමක් ද තිබේ.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට පිහිටි කැලණි, කළු, ගිං, නිල්වලා, බෙන්තර ආදී ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු ජලාශවල ඉහළ ජල මට්ටමක් වාර්තා වන අතර ගංවතුර අවදානමක් ද පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු හැඟවීම ද මේ කාලයට නිරන්තරයෙන් සිදු වේ.

නමුත් වර්ෂාව, අකුණු ගැසීම්, සුළං ප්‍රවාහන ආදිය මේ මිහිතලයට ආගන්තුක දේ නොවේ.ඒවා මෙම විශ්වයේ ආරම්භයත් සමඟ ඇරඹී එදා මෙදා තුර නොනැවතී සිදු වන ස්වභාවික සංසිද්ධීන් බව කුඩා දරුවෝ පවා දනිති.එමෙන්ම ඒවා මෙලොව යහපැවැත්මට මිස අයහපත පිණිස හේතු නොවන බව ආදී මිනිස් මනැසේ ද නිවැරදිව සටහන්ව තිබූ බව ද පෙනෙයි..එසේ නමුදු වර්ෂාව නිසා සිදුවන ජල ගැලීම්, පස් කඳු කඩා වැටීම්, නාය යාම්, අකුණු ගැසීම් නිසා සිදුවන අනතුරු, සුළං ප්‍රවාහනයන් නිසා සිදුවන ජීවිත හා දේපල හානි ද ලොව සෑම රටකින්ම අඩු වැඩි වශයෙන් අසන්නට ලැබෙන අතර ඒවා ස්වභාවික ආපදා යන පොදු නමින් හැඳින්වේ.

සාමාන්‍යයෙන් ලොව සෑම ජන සමාජයක් තුළම මෙම ස්වභාවික විපත් සම්බන්ධ සාම්ප්‍රදායික සහ නවීන විද්‍යාත්මක දැනුම් අවබෝධයන් පවතී. ආදී මානවයන් පවා ස්වාභාවික විපත් බහුල කාලයන් හි තම ආරක්ෂාව සලසා ගත් අයුරු අපි දනිමු. එහෙත්,නවීන විද්‍යාත්මක දැනුම් සම්භාරයක් ඇතැයි පැවසෙන අප සමාජය තුළ එවැනි දැනුම් අවබෝධයන් යාවත් කාලීන වී තිබේද? මෙරට ස්වභාවික විපත් නිසා සිදුවන ජීවිත හා දේපල හානි සම්බන්ධ පුවත් අසන විට අප තුළ ඇතිවන වැටහීම වනුයේ නූතන සමාජයට වඩා අතීත සමාජය මෙම ස්වාභාවික උවදුරු පිළිබඳව සංවේදී වූ බවකි.එමෙන්ම ඒ සම්බන්ධයෙන් කිව යුතු ඉතා වැදගත් කරුණක් ද තිබේ. එනම් ස්වභාවික ආපදා පිළිබඳ යාවත්කාලීන දැනුම මත පදනම් වන පූර්වාරක්ෂක ක්‍රම සම්බන්ධ ප්‍රායෝගික දැනුම් අවබෝධයන් අප සමාජය පුරා ව්‍යාප්තව තිබිණි නම් ඒ මගින් සිදුවන ස්වභාවික ආපදා සැලකිය යුතු ප්‍රමාණයක් වලකා ගත හැකි බව ය.

අධික වර්ෂාව සහ හට ගන්නා පස් කඳු කඩා වැටීම්, නාය යාම්, ගංවතුර සහ පහත් බිම් ජලයෙන් යටවීම් නිශ්චිත ප්‍රදේශවලට පමණක් සීමා වූවක් සේ බොහෝ දෙනෙක් සිතති. එහෙත්, එය යාවත් කාලීන දැනුමක් නොවේ. ඒ ඉහත සඳහන් ස්වභාවික ආපදා විචල්‍ය වීමක් හෙවත් කලින් කලට වෙනස්වීම ඉතා සුලබව දක්නට ලැබෙන බැවිනි. පස් කඳු කඩා වැටීමේ හෝ නාය යාම පිළිබඳ ඉතිහාසයක් නොමැති ප්‍රදේශවල භූ ව්‍යුහයන් ද හිටි හැටියේ එවැනි තත්වයන්ට ගොදුරු විය හැක. ඒ අනුව එවන් ස්වභාවික විපත් වලට ලක් විය හැකි භූ ව්‍යුහයන් සහිත ප්‍රදේශ වල වෙසෙන සෑම කෙනෙකුටම වර්ෂා කාලවලදී ඒ සම්බන්ධ පූර්ව ලක්ෂණ දැන ඒවා කෙරෙහි අතිශයින් විමසිලිමත් විය යුතු ය.

සෑම දෙයක්ම කාලයේ තාලයට අනුව නවීකරණය වන්නාක් මෙන් ස්වාභාවික විපත් ද ඊට අනුරූප ලෙස සැකසෙන බව අප වටහා ගත යුතු වේ.ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත යුතු මූලික පියවරක් තිබේ.එනම් අප රටේ දේශගුණය හා කාලගුණය සම්බන්ධ පාඩම් පාසල් පොත් වලින් එළියට ඇද අප ගේ ජීවිත වලට සම්බන්ධ කර ගැනීම ය.

එමෙන්ම මේ දිනවල ප්‍රවර්ධනය වෙමින් පවතින නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහනයන් නිසා ගස් සහ විදුලි රැහැන් ගොඩනැඟිලි ආදිය කඩා වැටීමේ අවදානම පිටු දැකීමට ඒ සම්බන්ධ පූර්වාරක්ෂ උපාය මාර්ගයන් යොදා තිබිය යුතු ය. මේ අතර සන්නිවේදන කුළුණු ආශ්‍රිතව අකුණු අනතුරු බහුල බවට පසුගිය කාලය පුරා සමාජය තුළ රාවයක් ඇති වූ මුත් එහි විද්‍යාත්මක පදනමක් නොමැති බව ඒ සම්බන්ධ විශේෂඥ මතයයි. නමුදු අකුණු අනතුරු වලින් මියගිය බොහෝ අයගේ සහ විනාශ වී ගිය දේපල සම්බන්ධ බොහෝ තොරතුරු පසුපස ඒ සම්බන්ධ පූර්වාරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කර නොතිබීමක් පිළිබඳ ද අනියමින් ප්‍රකාශ වේ.ඒ අනුව සෑම දෙයක්ම කාලයේ තාලයට අනුව නවීකරණය වන්නාක් මෙන් ස්වාභාවික විපත් ද ඊට අනුරූප ලෙස සැකසෙන බව අප වටහා ගත යුතු වේ.ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත යුතු මූලික පියවරක් තිබේ.එනම් අප රටේ දේශගුණය හා කාලගුණය සම්බන්ධ පාඩම් පාසල් පොත් වලින් එළියට ඇද අප ගේ ජීවිත වලට සම්බන්ධ කර ගැනීම ය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර