ඉන්දු – පකිස්තානු යුද්ධය කට මුලටම? අපට කුමකින් කුමක් සිදු වේද?

 

ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ඉතා බියකරු, උත්සන්න තත්ත්වයකට ළඟා වෙමින් පවතී. පකිස්තාන තොරතුරු අමාත්‍යා අතාවුල්ලා තරාර් පවසන්නේ ඉදිරි පැය 24 – 36 තුළ ඉන්දියාව විසින් පකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පිළිබඳ සිය බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබෙන බවය. එවැන්නක් සිදුවුවහොත් සිය පාර්ශවය ද එයට නොදෙවෙනි ප්‍රතිචාරයක් දක්වන බව ඔහු පවසා ඇති නමුත් ඉන්දියාව මෙතෙක් මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු, දේශපාලන විචාරකයකු සහ ලේඛකයකු ද වන ආචාර්ය දයාන් ජයතිලක මේ සම්බන්ධයෙන් පවසා සිටින්නේ ඉන්දියාව සහ පකිස්තානය අතර යම්කිසි ආකාරයකින් යුද්ධයක් හට ගතහොත්, එය යුද්ධයක් කරා ගමන් නොකරනු ඇති බවට සහතිකයක් නොමැති බවය.

ඉන්දියාව සහ පකිස්තානය අතර මේ යුදමය උණුසුමට හේතුව වී ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ජම්මු – කාශ්මීර් කලාපයේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වූ පාහල්ගාම් ප්‍රදේශයට, ‘ප්‍රතිරෝධී පෙරමුණ’ (Resistance Front) නම් කණ්ඩායමට අයත්, පකිස්තානය තුළ ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තායිබා නම් කල්ලියෙන් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් හින්දු ජාතිකයින් 26 දෙනෙකු මරණයට පත් වීමය. මෙහි දී තවත් සැලකිය යුතු තරම් පිරිසක් ද තුවාල ලබා තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙය පකිස්තානය දැනුවත්ව සිදුවූවක් බවත් එබැවින් එයට වන්දි ගෙවීමට පකිස්තානය සූදානම් විය යුතු බවත්ය.

ඉන්දියාව සහ පකිස්තානය අතර මේ යුදමය උණුසුමට හේතුව වී ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ජම්මු – කාශ්මීර් කලාපයේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වූ පාහල්ගාම් ප්‍රදේශයට, ‘ප්‍රතිරෝධී පෙරමුණ’ (Resistance Front) නම් කණ්ඩායමට අයත්, පකිස්තානය තුළ ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තායිබා නම් කල්ලියෙන් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් හින්දු ජාතිකයින් 26 දෙනෙකු මරණයට පත් වීමය. මෙහි දී තවත් සැලකිය යුතු තරම් පිරිසක් ද තුවාල ලබා තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙය පකිස්තානය දැනුවත්ව සිදුවූවක් බවත් එබැවින් එයට වන්දි ගෙවීමට පකිස්තානය සූදානම් විය යුතු බවත්ය. කෙසේ නමුත් පකිස්තානය මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර එයට පකිස්තානය සම්බන්ධ බවට සාධක ඉදිරිපත් කරන ලෙස පවසා සිටිය ද ඉන්දියාව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමකින් හෝ කිසිදු සාධක ඉදිරිපත් කිරීමකින් හෝ තොරවම ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටියි. යම්කිසි අයුරකින් මේ දෙරට අතර ගැටුමක් ඇති වුවහොත් එය හුදෙක් මේ රටවල් දෙකට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපය කෙරෙහිම දැවැන්ත බලපෑමක් එල්ල විය හැකි බව සක්සුදක් සේ පැහැදිලිය.

ඉන්දීය අගමැති මෝදි

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ ප්‍රහාරය බියගුලු ක්‍රියාවක් සේ සලකන බවට ප්‍රකාශයක් නිකුත් කළ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ මෙයට සම්බන්ධ පුද්ගලයින් ලෝකයේ කෙළවරටම හෝ ගොස් අල්ලා මරණයට පත් කරන බවය. මේ සම්බන්ධයෙන් පකිස්තානයට එරෙහිව කිසිදු සාධකයක් මෙතෙක් හමු වී නැති ද ඉන්දියාව මේ අවස්ථාවේ දී පකිස්තානය සමග ඇති සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අහෝසි කරන්නට ක්ෂණිකව පියවර ගත්තේය. ඉන්දියාව තුළ සිටින සියලු පකිස්තානු ජාතිකයින් හට පැය 48 ක් තුළ එරටින් පිට වන ලෙස දැනුම් දෙනූ ලැබිණි. පකිස්තානු ජාතිකයින් හට වීසා නිකුත් කිරීම ද අත්හිටුවන ලදී. ඉන්දු ගංගාවේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර ලෝක බැංකුවේ මැදිහත් වීමෙන් 1960 වසරේ දී අත්සන් තබන ලද ෂිම්ලා ගිවිසුම ද කඩ කරමින් පකිස්තානයට ජලය ලබා දීම ද නතර කරනු ලැබිණි. ආචාර්ය දයාන් ජයතිලක පවසා සිටින්නේ මෙය කොටි ත්‍රස්තවාදීන්ගේ විනාශය සනිටුහන් කළ යුද්ධය ආරම්භ වීමට මග පෑදු මාවිල්ආරු සිදුවීමේම දැවැන්ත ප්‍රක්ෂේපණයක් බවය. ඉන්දියාව නිල වශයෙන් පකිස්තානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට නැතත්, යම් රටකට එරෙහිව එරටට ජලය සැපයෙන මාර්ග වසා දැමීම යනු යුද්ධය ප්‍රකාශ කිරීමක් වෙයි. ලෝකයේ ජාතීන් දෙකක් අතර ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් පැවැති වඩාත් සාර්ථකම ගිවිසුමක් ලෙස මෙතෙක් කල් ක්‍රියාත්මක වූයේ මෙය වූ අතර ඉන්දියාව සහ පකිස්තානය අතර මෙයට පෙර යුදමය තත්ත්වයන් ඇති වූ කිසිදු අවස්ථාවක මෙය වසා දැමීම සිදු වූයේ නැත.

ත්‍රස්තවාදීන්ට අයත් යැයි සැක පහළ කළ මෙවැනි නිවාස කිහිපයක්ම ඉන්දීය හමුදා මගින් විනාශ කර දමනු ලැබිණි

ඉන්දියාව, ජම්මු – කාශ්මීර ප්‍රදේශයට සිය හමුදා සේනාංක යැවීම සහ ගුවන් ආරක්ෂණ පද්ධති සූදානම් කිරීම, හදිසි කැබිනට් සාකච්ඡා පැවැත්වීම ආදිය දැකිය හැකි අතර පකිස්තානය සැක කරන පරිදි මේ කාරණාවලින් පැහැදිලි වන්නේ ඉන්දියාව ඉක්මන් ප්‍රහාරයකට සුදානම් වෙමින් පවතින බව විය හැකිය. මෙය ගැටුමක් දක්වා වර්ධනය කර ගැනීමට අකමැති පකිස්තානය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා සූදානම් බවත්, මෙය සිය රටට අපකීර්තියක් ඇති කිරීම සඳහා වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කරන ලද්දක් බවත්ය. ඒ අතරේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ ඇතැම් විචාරකයින් පවසන්නේ කලක සිටම පකිස්තානය සමග ගැටුමක් නිර්මාණය කර ගැනීමට ඉන්දියාවට අවශ්‍යතාවක් තිබූ බවත්, එයට අවස්ථාව නොලැබීම නිසා මේ ප්‍රහාරය ඉන්දියාව විසින් සැලසුම් කොට තමාටම එල්ල කරගන්නා ලද්දක් වන්නට ද ඉඩකඩ තිබෙන බවය.

ආචාර්ය දයාන් ජයතිලක

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ නවාස් ෂෙරිෆ් පකිස්තානය සහ ඉන්දියාව අතර සාමය ඇති කිරීමේ මැදිහත් කරුවකු ලෙස කටයුතු කරන්නට කැමැති බව ද ප්‍රකාශ කොට තිබෙනු දක්නට හැකි විය.

කලින් සඳහන් කළා සේ ඉන්දියාව සහ පකිස්තානය අතර යම් ගැටුමක් ඇති වුවහොත් එය දකුණු ආසියානු කලාපයටම ඉතා ලෙස දරුණු ලෙස බලපෑමක් ඇති වීම වැළැක්විය නොහැකි දෙයක් වන්නේය. මේ නිසා චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව මෙය රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගන්නා ලෙසට පණිවිඩ ඉන්දියාවට ලබා දී තිබේ. එමෙන්ම සාක් සංවිධානය ද මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කොට තිබේ.

පකිස්තානු තොරතුරු අමාත්‍ය අතාවුල්ලා

ආචාර්ය දයාන් ජයතිලක මේ සම්බන්ධයෙන් සිදු කළ විචාරයට අනුව දකුණු ආසියානු කලාපයේ රටවල් අතරිනුත් ශ්‍රී ලංකාව මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් විය හැකි බව පෙනෙන්නට තිබේ. එයට ආසන්නතම හේතුව වන්නේ මෑතක දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක් අත්සන් තැබීමය. මේ ගිවිසුම්වල අඩංගුව ඇත්තේ මොනවද යන්න තවමත් ශ්‍රී ලාංකිකයින් නොදන්නා අතර ඒවාට අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ උගුලකට හසු වී තිබේ ද යන ගැටලුව ද පවතින බව ඔහු පවසයි. පකිස්තානයට එරෙහිව කිසිදු සාධකයක් නොමැති තත්ත්වයක දී ඉන්දියාව ක්ෂණික තීරණයක් ගනිමින් ඉන්දු ගංගාවේ ජලය පකිස්තානයට ගලා යෑම වැළැක්වීම මත පදනම් ඉන්දියාව එවැනි අවස්ථාවල දී කුමනාකාර තීරණයක් ගනු ඇති දැයි යම්කිසි දළ අදහසක් ගත හැකිව තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමග බලශක්ති ගිවිසුමකට එලැඹෙන බවට තොරතුරු කවුරුත් දන්නා කාරණයකි. ඉදිරි අනාගතයේ දී ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දියාව විසින් සපයනු ලබන යම් අවස්ථාවක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යම් මතභේදකාරී තත්ත්වයක් ඇති වෙද්දී මේ ආකාරයකටම කිසිදු හේතුවක් නොමැතිව ශ්‍රී ලංකාව සැපයෙන බලශක්ති මාර්ගය නවතා දමන්නට ඉන්දියාව පියවර ගත්හොත් එහි පුදුමයක් නොමැත.

මේ අත්සන් කොට ඇති ගිවිසුම් නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවේ ‘බෙල්ල මුලටම’ හසු වී ඇතිදැයි තමන්ට සැකයක් පවතින බව ද මේ සම්බන්ධයෙන් කරන ලද විචාරයේ දී ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කරනු දැකිය හැකි විය. ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහෝදරයන් බැවින් මෙවැනි ගැටුමක් ඇති වීම වළක්වා ගන්නා ලෙසය. ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ ජනපතිවරයාට පවසන්නට තිබුණේ දකුණු ආසියානු කලාපයේ සියලු දෙනා සමාන සංස්කෘතීන්වලට හිමිකම් පාන සහෝදරත්වයෙන් බැඳී සිටින ජනතාවක් වන බැවින් තමා සහ රජය මෙවැනි ගැටුමකට විරුද්ධ බවත් මෙය රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගන්නා ලෙස බවය. මේ සම්බන්ධයෙන් සෙසු දකුණු ආසියානු රටවල නායකයන් සම්බන්ධ කර ගනිමින් යම්කිසි පොදු එකඟතාවකට පැමිණ එය ඔස්සේ මේ රටවල් දෙකට බලපෑම් කරන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් පවතී. මෙයට පෙර අවස්ථාවල දී ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම් ඇතිවෙද්දී ශ්‍රී ලංකාව එවැනි ස්ථාවරවලට එලැඹුන ද මේ ගිවිසුම්වල ඇති කාරණාවලට අනුව ඉන්දියාවට එවැනි බලපෑමක් කරන්නට තරම් ශක්තිමත් තත්ත්වයක ශ්‍රී ලංකාව පවතින්නේ ද යන ගැටලුව තමාට ඇති බව ද ආචාර්ය දයාන් ජයතිලක පවසා සිටියි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එය නොදැනුවත්ව එක් සංචාරකයකු මගින් එය වීඩියෝ ගත වූ අවස්ථාවක්

ගෝලීය බලවේග යම්කිසි එක් පාර්ශ්වීය තීරණයකට එලැඹෙද්දී ශ්‍රී ලංකාව ද සිය ස්ථාවරය පැහැදිලිව පෙන්විය යුතුව තිබේ. ඉන්දියාව මෙන්ම පකිස්තානය ද ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරන් බැවින් මේ සම්බන්ධව ස්ථාවරයක් ගැනීමේ දී එය රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම උපක්‍රමශීලී ද විය යුතුය. කොටි සංවිධානය සමග යුද්ධය පැවති සමයේ දී ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාවට සහාය දැක්වූයේ පකිස්තානය බව ද සිහිපත් කළ යුතුව තිබේ. අනෙක මේ අවස්ථාවේ දී චීනය පකිස්තානයට පක්ෂපාතීත්වයක් දැක්වීම පැහැදිලිය. රුසියාව බොහෝ විට ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටිය හැකිය. මේ රටවල් දෙක මග හැර යාමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැත. එබැවින් තීරණ ගැනීමේ දී මෙන්ම ප්‍රකාශ නිකුත් කිරීමේ දී ද පුදුමාකාර තරම් ආරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව තිබේ. එබැවින් ශ්‍රී ලංකාවෙ මේ අර්බුදයේ දී සිටින්නේ භූදේශපාලනිකව ඉතාමත් දුෂ්කර ස්ථානයකය.

ප්‍රහාරයෙන් පසු පාහල්ගාම් ප්‍රදේශය

තමා ඉන්දීය උප මහාද්වීපය තරම් විශාල රටක් නොවන බැවින් ඉන්දීය හමුදා සිය භූමියට ඇතුළු වුවහොත් සටන් කරන්නට තරම් ඉඩකඩක් නොමැති වන බැනි එහිදී ඉඳුරාම න්‍යෂ්ටික අවි භාවිත කිරීම පිළිබඳ තමන් කල්පනා කරන බව පකිස්තානය පවසයි. එසේ වුවහොත් දකුණු ආසියානු කලාපය කුමනාකාර තත්ත්වයකට පත් වනු ඇතිදැයි අනුමාන කළ නොහැකිය.

මේ වන විටත් ඉන්දියාව සහ පකිස්තානය අතර තත්ත්වය අතිශය උත්සන්න තත්ත්වයකට එලැඹ තිබේ. ඉන්දියාව විසින් තමාට ඉතාමත් ආසන්නයේ ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට වූ තොරතුර ස්වාධීනව තහවුරු කොට නැතත්, පාහල්ගාම් ප්‍රහාරය මේ රටවල් දෙකම භයානක අඩියකට තල්ලු කිරීමට හේතුවක් බවට පත්ව තිබේ. ඉන්දියාව විසින් සිදු කළ ක්ෂණික රාජ්‍ය තාන්ත්‍රික පියවර සහ ඉන්දු ගංගාවේ ජලය නවතා දැමීම මගින් ඔවුන් අපේක්ෂා කරන්නේ පකිස්තානය මත දැඩි පීඩනකාරී තත්ත්වයක් ඇති කිරීමය. තමා ඉන්දීය උප මහාද්වීපය තරම් විශාල රටක් නොවන බැවින් ඉන්දීය හමුදා සිය භූමියට ඇතුළු වුවහොත් සටන් කරන්නට තරම් ඉඩකඩක් නොමැති වන බැනි එහිදී ඉඳුරාම න්‍යෂ්ටික අවි භාවිත කිරීම පිළිබඳ තමන් කල්පනා කරන බව පකිස්තානය පවසයි. එසේ වුවහොත් දකුණු ආසියානු කලාපය කුමනාකාර තත්ත්වයකට පත් වනු ඇතිදැයි අනුමාන කළ නොහැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර