ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුවොත් ලංකාවටත් බරපතල තත්වයක්

vinivida

අප වැනි රටවලට විශාල ආර්ථික බලපෑමක් කළ හැකි කාරණයක් ගැන ඊශ්‍රායල-ඉරාන යුද බිමෙන් පසුගිය සඳුදා වාර්තා විය. එනම් ඉරානය ආසන්නයේ පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කර ඇති බව යි. ඔවුන් මෙවැනි යෝජනාවක් සම්මත කර ඇත්තේ පසුගිය දා ඇමරිකාවෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසිනි.

ඉරානයට දකුණු දෙසින් පිහිටා ඇති මෙම ඉතා වැදගත් සමුද්‍ර සන්ධිය පිලිබඳ එක් විශේෂත්වයක් වන්නේ ලෝකයේ පරිභෝජනය කෙරෙන සමස්ත තෙල් ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වීමයි. එමෙන්ම ස්වාභාවික ද්‍රවීකෘත වායු (Liquefied Natural Gas) විශාල ප්‍රමාණයක් ද මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ.
ඉරානය යම් හෙයකින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමට විශාල බාධාවක් එල්ල වනු ඇති අතර ලෝක වෙළෙඳපොලේ ඒවායේ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමක් ඒ නිසා සිදුවනු ඇත.

2024 වසරේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණු සමස්ත බොර තෙල් ප්‍රමාණයෙන් සියයට 84 ක් සහ ගෑස්වලින් සියයට 83 ක්ම ප්‍රවාහනය කර තිබුණේ ආසියානු වෙළෙඳපොල වෙත වීම ද විශේෂත්වයකි.හෝමුස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක සහ අරාබි මුහුද යා කරමින් පිහිටා තිබෙන්නකි. මැද පෙරදිග බොහෝ රටවල නැව් පර්සියානු බොක්කේ සිට විවෘත සාගරයට පිවිසෙන්නේ මේ හරහා යි.

2024 වසරේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණු සමස්ත බොර තෙල් ප්‍රමාණයෙන් සියයට 84 ක් සහ ගෑස්වලින් සියයට 83 ක්ම ප්‍රවාහනය කර තිබුණේ ආසියානු වෙළෙඳපොල වෙත වීම ද විශේෂත්වයකි.

හෝමුස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක සහ අරාබි මුහුද යා කරමින් පිහිටා තිබෙන්නකි. මැද පෙරදිග බොහෝ රටවල නැව් පර්සියානු බොක්කේ සිට විවෘත සාගරයට පිවිසෙන්නේ මේ හරහා යි.


මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා තෙල් මිල විශාල වශයෙන් වැඩි වුවහොත් එය අප වැනි රටවල ආර්ථිකයන්ටත්, ජනතාවගේ ජීවන වියදම් ගැටලුවටත් දැඩි ලෙස බලපානු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. විදුලි බිල් වැඩි වීම, ගමන් ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම, වෙනත් භාණ්ඩවල මිල ඉහළ යාම වැනි අහිතකර තත්වයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවනු නිසැක ය. එමෙන්ම තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් වැඩි ප්‍රමාණයක් වැය කිරීමට සිදු වීමෙන් ඩොලර් සංචිතවලට ද බලපෑමක් එල්ල වනු ඇත.

කෙසේ නමුත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඉරාන පාර්ලිමේන්තුව සම්මත කළත් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ඒ පිලිබඳ අවසන් තීරණයක් ගෙන තිබුණේ නැත. එම අවසන් තීරණය ගත යුත්තේ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය බව සඳහන් වේ.

මෙම සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ දී ඉරානයට ක්‍රම කිහිපයක් භාවිත කළ හැකියි. එහි බෝම්බ ස්ථානගත කිරීම, ඒ හරහා ගමන් කරන නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, ඊට අමතරව සයිබර් ප්‍රහාර එල්ල කිරීම වැනි පියවර ගත හැකි බව විශ්වාස කෙරේ.

නමුත් මෙම සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ඉරානයට මෙන්ම ඔවුන්ගේ මිත්‍ර රටවල ආර්ථිකයන්ට ද දැඩි බලපෑමක් එල්ල වේ. නිදසුනක් ලෙස චීනය සහ මැද පෙරදිග කලාපයේ ඔවුන්ගේ මිත්‍ර රටවල් පෙන්වා දිය හැකිය. ඉරානය මේ වනවිට සිටින්නේ මෙම මිත්‍ර රටවල සහාය වඩාත් අවශ්‍ය වන තත්වයක ය. ඒ නිසා ඔවුන් අපහසුතාවට පත්වන පියවරක් ගැනීමට ඉරානය දෙවරක් කල්පනා කරනු ඇත.

ඉරානය මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීම සඳහා කටයුතු කරන්න යයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයට දැනුම් දී තිබෙනු ද දැකිය හැකි විය.

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් එය ඇමරිකාවට ද දැඩි බලපෑමක් එල්ල කරන්නකි. ඒ නිසා එවැනි තත්වයක් තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරබා ගෙන නොසිටිනු ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔහු නැවතත් හමුදාමය ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවත්, එසේ වුවහොත් ඉරානයේ වරායන්ට පවා තර්ජනයක් එල්ල වනු ඇති බවත් මෙම විශ්ලේෂකයන් ගේ අදහස යි. මෙම තත්වය තුළ ඔවුන් තවදුරටත් පවසන්නේ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවත් එය වැඩි කල් අල්ලන කටයුත්තක් නොවනු ඇති බව යි.

කෙසේ නමුත් මැද පෙරදිග ඇතිව තිබෙන යුධමය තත්වය නිසා දැනටමත් තෙල් මිල ඉහළ යමින් ඇති බව රහසක් නොවේ. පසුගිය මාසයට සාපේක්ෂව මේ මාසයේ තෙල් මිල සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් ය.

ඇමරිකාව පසුගිය ඉරිදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරයෙන් සිදුව ඇති හානිය පිළිබඳව මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් නිශ්චිතව තොරතුරක් වාර්තා වූයේ නැත. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත් ද යන්න බොහෝ පාර්ශ්ව තුළ කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන තුළ ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන ෆෝර්ඩෝ මධ්‍යස්ථානයට ද ඇමරිකාවේ ප්‍රහාරයක් එල්ල විය. දැඩි ආරක්ෂාවක් මැද ඉදිකර ඇති මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කඳුවැටියක් යට අඩි 300 ක් පමණ ගැඹුරෙනි. මේ තරම් ගැඹුරක් කරා ගමන් කර ප්‍රහාර එල්ල කළ හැකි බෝම්බයක් ඇත්තේ ඇමරිකාව සතුව පමණි. එය කි.ග්‍රෑ. 13,600 ක් (රාත්තල් 30,000 ක්) පමණ බර බෝම්බයකි.

එමෙන්ම මෙම බෝම්බ රැගෙන යා හැකි ගුවන් යානා ඇත්තේ ද ඇමරිකාවටම පමණි. B2 යනුවෙන් හැඳින්වෙන මෙම යුද ගුවන් යානාවලට පැයට කි.මී. 1,000 කට අධික වේගයකින් ගමන් කළ හැකිය. එමෙන්ම රේඩාර් පද්ධතිවලට හසු නොවී ගමන් කිරීමට ද ඒවාට හැකියාව තිබේ.

ඇමරිකාවෙන් එල්ලවන තර්ජන ඉහළ යද්දී ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට මොස්කව් බලා යාම ද විශාල අවධානයක් දිනාගත් සිද්ධියක් විය. ඔහු එහි ගියේ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී ගේ ලිපියක් ද රැගෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉරානය සහ රුසියාව දීර්ඝ කාලීන මිතුරන් ය. යුක්රේන යුද්ධයේ දී ද ඉරානය රුසියාවට සහය දැක්වූයේය. මෙම තත්වය තුළ රුසියාව ඉරානයට කවරාකාර සහායක් දක්වාවි ද යන්න බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පුටින්- අරාග්චි සාකච්ඡා ආරම්භ වී තිබුණත් ඒ ගැන ලොකු විස්තරයක් පළ වී තිබුණේ නැත.

ඉරානය සහ රුසියාව දීර්ඝ කාලීන මිතුරන් ය. යුක්රේන යුද්ධයේ දී ද ඉරානය රුසියාවට සහය දැක්වූයේය. මෙම තත්වය තුළ රුසියාව ඉරානයට කවරාකාර සහායක් දක්වාවි ද යන්න බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පුටින්- අරාග්චි සාකච්ඡා ආරම්භ වී තිබුණත් ඒ ගැන ලොකු විස්තරයක් පළ වී තිබුණේ නැත.

මේ අතර රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු ද, එරට ආරක්ෂක කවුන්සිලයේ උප සභාපතිවරයා ද වන ද්මිත්‍රි මෙද්වදේව් කර තිබූ ප්‍රකාශයක් විශාල අවධානයක් දිනාගෙන තිබිණි. ඔහු පවසා තිබුණේ ඉරානය සතුව න්‍යෂ්ටික අවි නැතත් ඔවුන්ට ඒවා ලබා දීමට රටවල් ගණනාවක් සූදානමින් සිටින බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර