ඉරාන යුද්ධය රතු මුහුදටත් ව්‍යාප්ත වී තෙල් අර්බුදය තවත් උග්‍ර වෙයි ද?


ඉරාන යුද්ධයට අදාළව සටන් විරාම සාකච්ඡා ක්‍රියාදාමයක් ගැන පසුගිය දිනවල නොයෙකුත් කතා අසන්නට ලැබුණත් මේ වනවිට පෙනෙන්නට ඇත්තේ යුද්ධය තවදුරටත් සංකීර්ණ වෙමින් ඇති ආකාරයකි. අප වැනි රටවලට බල පා ඇති තෙල් සහ ගෑස් ප්‍රශ්න පවා තවත් උග්‍ර වනු ඇත් ද යන සැක සංකා ද මතුවෙමින් තිබේ. එවැනි තත්වයක් මතුව ඇත්තේ එම කලාපයේ ක්‍රියාත්මක වන තවත් පාර්ශ්වයක් යුද්ධයට පැටලීමත් සමග ය. මෙම පාර්ශ්වය නම් යේමනයේ සිට ක්‍රියාත්මක වන හූතී නැමැති කැරළිකාර කණ්ඩායම යි. ඔවුන් ඉරානයේ සහය ලබන ඉරානයේ මිත්‍ර පාර්ශ්වයකි.

හූතී සටන්කාමීන් මේ වනවිට ඊශ්‍රායලයට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. ඉරානයට සහ මිත්‍ර පාර්ශ්වවලට එරෙහි ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ නම් තම සංවිධානය ද යුද්ධයට මැදිහත් වීමට සූදානම් බවක් එම සංවිධානයේ හමුදා ප්‍රකාශක යහ්යා සාරී ප්‍රකාශ කර ඇත. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග එක් වීමට තවත් පාර්ශ්ව සූදානම් වුවහොත් සහ මෙම මෙහෙයුම් සඳහා රතු මුහුද යොදා ගැනීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව ද මැදිහත් වන බව ඔහු පවසා තිබේ.

හූතී සටන්කාමීන් මේ වනවිට ඊශ්‍රායලයට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. ඉරානයට සහ මිත්‍ර පාර්ශ්වවලට එරෙහි ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ නම් තම සංවිධානය ද යුද්ධයට මැදිහත් වීමට සූදානම් බවක් එම සංවිධානයේ හමුදා ප්‍රකාශක යහ්යා සාරී ප්‍රකාශ කර ඇත. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග එක් වීමට තවත් පාර්ශ්ව සූදානම් වුවහොත් සහ මෙම මෙහෙයුම් සඳහා රතු මුහුද යොදා ගැනීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව ද මැදිහත් වන බව ඔහු පවසා තිබේ.

රතු මුහුද යනු මධ්‍යධරණී මුහුද සහ අරාබි මුහුද ද, ඉන්දියානු සාගරය ද යා කරමින් පිහිටා තිබෙන්නකි. යේමනය මෙන්ම සෞදි අරාබිය, ඊජිප්තුව වැනි රටවල් ද රතු මුහුද ආසන්නයේ පිහිටා ඇත. තෙල් ප්‍රවාහන කටයුතුවල දී රතු මුහුද ද ඉතා වැදගත් මුහුදු කලාපයකි. එම තත්වය තුළ යුද්ධය නිසා රතු මුහුදේ නැව් ගමනාගමනයට බාධා එල්ල වුවහොත් එයද තෙල් සැපයුම්වලටත්, ලෝක ආර්ථිකයටත් දැඩි බලපෑමක් එල්ල කරන කාරණයක් වනු ඇත.

ගාසා යුද්ධය පැවති කාලයේ ද හූතී කැරළිකරුවෝ රතු මුහුදේ ගමන් කළ ඇතැම් නැව්වලට පහර දුන් බව රහසක් නොවේ. ඒ ගාසා හි පලස්තීන හමාස් සංවිධානයට සහය පළ කිරීම සඳහා සහ එම සංවිධානය සමග සටන් වැදී සිටි ඊශ්‍රායලය මත පීඩනයක් ඇති කිරීම සඳහා ය. මෙහි දී මොවුන් ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය සමග සබඳතා තිබූ නෞකාවලට යි.

හූතී සටන්කරුවන් දැන් ඉරාන යුද්ධයටත් පැටලී ඇති පසුබිම තුළ නැවතත් ඉහත කී ආකාරයේ තත්වයක් ඇති වේවිද යන්න යම් තැති ගැන්මක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ.

මේ අතර යුද්ධය තවත් උණුසුම් කළ හැකි තවත් කාරණයක් ගැන මේ වනවිට අවධානය යොමු වෙමින් තිබෙනු දැකිය හැකි වේ. එනම් ඇමරිකාව ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත් ද යන්න යි. දැනට ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරමින් සිටින්නේ ගුවන් ප්‍රහාර පමණි. යම් හෙයකින් ඇමරිකානු හමුදා ඉරානයට ඇතුල් වී ගොඩබිම් මෙහෙයුම් දියත් කළහොත් එය යුද්ධය වඩාත් බිහිසුණු මට්ටමකට ගෙන යන්නක් වනු නොඅනුමාන ය.

මෙවැනි තත්වයක් ඇති වේවිද යන කුතුහලයක් බොහෝ දෙනා තුළ ඇති වී තිබුණේ පසුගිය සති අන්තයේ මාධ්‍ය හරහා අනාවරණය වූ කාරණයක් නිසා ය. The Washington Post පුවත්පත සඳහන් කර තිබුණේ සති කිහිපයක ගොඩබිම් මෙහෙයුමක් සඳහා ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය සූදානම් වෙමින් සිටින බව යි. පුවත්පත මේ බව වාර්තා කර තිබුණේ ඇතැම් ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.

කෙසේ නමුත් මෙවැනි මෙහෙයුමක් දියත් කළ හැක්කේ ඒ සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබුණහොත් පමණි. යම් හෙයකින් ඇමරිකාව ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් දියත් කළහොත් ඇමරිකානු සෙබළුන් විශාල පිරිසක් මරණයට පත් වීමට ද ලොකු ඉඩක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගොඩබිම් මෙහෙයුම්වලට අදාලව මෙම කතාබහ ඇතිව තිබෙන්නේ ඉරානයට අයත් දූපතක් වන කාග් දූපත අත්පත් කරගැනීමේ අදහසක් ඇමරිකාවට ඇති බවට තොරතුරු පළවෙමින් ඇති පසුබිමක් තුළ ය.

කාග් දූපත යනු ඉරානයට නිරිත දෙසින් පර්සියානු බොක්ක කලාපයේ පිහිටා ඇති දූපතකි. මෙය ඉරාන ආර්ථිකයට ඉතාම වැදගත් තැනක් ලෙස සැලකේ. ඉරානය විසින් නිපදවනු ලබන තෙල්වලින් 90% ක් පමණ වෙනත් රටවලට අපනයනය කරනු ලබන්නේ කාග් දූපතේ පර්යන්ත හරහා යි. මේ නිසා මෙම දූපත ඇමරිකාව අත්පත් කරගතහොත් එය ඉරාන ආර්ථිකය දැඩි අනතුරක හෙලන කාරණයක් වනු ඇත. කෙසේ නමුත් ඇමරිකානු හමුදා කාග් දූපතට ළඟා වීම වැලැක්වීම සඳහා ඉරානය එහි වෙරළ තීරයන්හි බෝම්බ වැලලීමට පටන්ගෙන ඇති බවක් ද පසුගිය දිනවල වාර්තා විය.

ඇමරිකාව ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් දියත් කළහොත් එහි තවත් අරමුණක් විය හැක්කේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඇති ඉරාන අවි විනාශ කිරීම බවට ද අදහස් පළ වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ ග්‍රහණයෙන් මුදා ගැනීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයක් යොමුවී ඇති බව රහසක් නොවේ. මේ වනවිට ලොව පුරා මතු වී ඇති තෙල් අර්බුදයට හේතු වී ඇත්තේ මෙම සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට ඉරානය බාධා එල්ල කර තිබීම යි.

කෙසේ නමුත් පෙන්ටගනය සූදානම් වන්නේ පුළුල් පරිමාණයේ ආක්‍රමණයකට නොවන බවත්, වැටලීම් වැනි ක්ෂණික මෙහෙයුම් සඳහා බවත් වාර්තා වේ.

පෙන්ටගනයේ මෙම සූදානම ගැන වාර්තා වීමත් සමග ඉරානය ද ඒ ගැන ප්‍රකාශයක් කර තිබෙනු දැකගන්නට ලැබිණි. ඇමරිකානු සෙබළුන් ඉරානයට ගොඩ බසින තෙක් ඉරාන හමුදා බලා සිටින බවත්, ඒ ඔවුන් වෙඩි වරුසාවලින් නැහැවීම සඳහා බවත් ඉරාන පාර්ලිමේන්තවේ කතානායක මොහොමඩ් ගලිබාෆ් ප්‍රකාශ කර තිබේ. සතුරා සාකච්ඡා ක්‍රියාදාමයක් ගැන ප්‍රසිද්ධියේ කතා කරන අතර රහසිගතව ගොඩබිම් මෙහෙයුම් සැලසුම් කරමින් සිටින බව ද ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

ඉරානය සමග සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා ඇමරිකාව කරුණු 15 කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි. එහි ප්‍රධාන වශයෙන්ම අඩංගු වූයේ ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නතර කිරීමට හෝ සීමා කිරීමට අදාළ යෝජනා බව සඳහන් විය. නමුත් ඉරාන නායකයින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කර තිබූ අතර ඒ වෙනුවට කරුණු පහකින් සමන්විත ඔවුන්ගේම යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි.

ඉරානය සමග සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා ඇමරිකාව කරුණු 15 කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි. එහි ප්‍රධාන වශයෙන්ම අඩංගු වූයේ ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නතර කිරීමට හෝ සීමා කිරීමට අදාළ යෝජනා බව සඳහන් විය. නමුත් ඉරාන නායකයින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කර තිබූ අතර ඒ වෙනුවට කරුණු පහකින් සමන්විත ඔවුන්ගේම යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි.

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයට ඇති ස්වෛරී අයිතිය පිලිගැනීම, යුද්ධයෙන් සිදූ වූ හානිවලට වන්දි ගෙවීම, සියලු පෙරමුණුවල යුද මෙහෙයුම් නතර කිරීම වැනි යෝජනා ඊට ඇතුළත් වූ බව පැවසිණි.

ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් සඳහා පෙන්ටගනය සූදානම් වුවත් මෙවැනි මෙහෙයුම් ආරම්භ කරනවාට ඇමරිකානු ජනතාවගෙන් වැඩි පිරිසක් අකැමැති බව වාර්තා වේ. මෑතක පවත්වා තිබූ ජනමත සමීක්ෂණයකින් අනාවරණය වී තිබුණේ එරට ජනතාවගෙන් 62% ක් ගොඩබිම් මෙහෙයුම්වලට විරුද්ධ බව යි. මෙවැනි මෙහෙයුම් ආරම්භ කළහොත් ඇමරිකානු සෙබළුන් විශාල වශයෙන් මිය යාමට ඇති ඉඩ මේ විරෝධයට ප්‍රධාන හේතුව විය හැකිය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර