ඊශ්‍රායලය කුරුමානම් අල්ලන අඩි සිය ගණනක් පොලොව යට පිහිටි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය

මේ වනවිට ලෝකයේම අවධානයට ලක්ව ඇති ඊශ්‍රායල- ඉරාන යුද්ධයට අදාළව විශාල වශයෙන් කතාබහට ලක් වන විශේෂ ස්ථානයක් ගැනයි මේ සටහන. මෙම ස්ථානය හැඳින්වෙන්නේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය නමින්. මෙය පිහිටා ඇත්තේ පොලොව මතුපිට නොවෙයි. ඉරානයේ විශාල කඳුවැටියක් යට මීටර 90 ක් (අඩි 300 ක්) පමණ පොලොව අභ්‍යන්තරයේ යි.

ඊශ්‍රායලය ඉරානයේ මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කිරීමේ දැඩි අපේක්ෂාවකින් පසුවන බව සඳහන් වෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු එරට නායකයන් පවසන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට ඉතා ආසන්නව සිටින බව යි. ඊශ්‍රායලයේ දීර්ඝ කාලීන සතුරෙකු වන ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කරගතහොත් එය ඊශ්‍රායලයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.ඉරානය නම් දිගින් දිගටම කියන්නේ න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහසක් තමුන් තුළ නැති බව යි. තම න්‍යෂ්ටික වැඩසටහන බල ශක්තිය නිපදවීම වැනි අහිංසක අරමුණු මත ක්‍රියාත්මක වන්නක් බවයි ඔවුන් පවසන්නේ.

ඊශ්‍රායලය මෙයට ටික දිනකට පෙර ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඉදිරියේ දී ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම වැලැක්වීමට බවයි පැවසුණේ. එම ප්‍රහාරවල ඉලක්ක බවට වැඩි වශයෙන්ම පත්වුණේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු එරට නායකයන් පවසන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට ඉතා ආසන්නව සිටින බව යි. ඊශ්‍රායලයේ දීර්ඝ කාලීන සතුරෙකු වන ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කරගතහොත් එය ඊශ්‍රායලයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉරානය නම් දිගින් දිගටම කියන්නේ න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහසක් තමුන් තුළ නැති බව යි. තම න්‍යෂ්ටික වැඩසටහන බල ශක්තිය නිපදවීම වැනි අහිංසක අරමුණු මත ක්‍රියාත්මක වන්නක් බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ හෝ වේවා ලිපිය ආරම්භයේ සඳහන් කළ ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉරාන න්‍යෂ්ටික වැඩසටහන තුළ විශාල වැදගත්කමක් උසුළන තැනත් ලෙස සැලකෙනවා. න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහසක් ඉරානය තුළ ඇත්නම් එම කටයුත්ත කෙරෙනු ඇත්තේ මෙම ෆෝර්ඩෝ මධ්‍යස්ථානයේ බව යි බොහෝ පාර්ශ්වවල අදහස වන්නේ.

අයතොල්ලා අලී කමේනී

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ඊශ්‍රායලය දියත් කර ඇති මෙහෙයුම සියයට සියයක් සාර්ථක කර ගන්නට නම් ඔවුන්ට ෆෝර්ඩෝ මධ්‍යස්ථානයත් විනාශ කිරීමට සිදු වෙනවා. ඊශ්‍රායලය මේ සඳහා මාර්ගයක් සොයමින් සිටින බව යි මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ.

ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පොලොව යට ඉතා ගැඹුරු තැනක වීම නිසා එයට ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලයට පහසු නැහැ. උමං පද්ධතියකින්, සහායක ගොඩනැගිලිවලින් සහ ශක්තිමත් ආරක්ෂක පද්ධතියකින් මෙය සමන්විත බව සඳහන්.

මෙම මධ්‍යස්ථානය සැලකෙන්නේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයක් හැටියටයි. බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික අවි නිපදවීමට මෙන්ම වෙනත් කටයුතු සඳහා ද යොදා ගන්නවා.

ෆෝර්ඩෝ මධ්‍යස්ථානය විනාශ කිරීමට ඊශ්‍රායලයට වුවමනාවක් තිබුණා වුණත් මෙතරම් ගැඹුරක් කරා ළඟා විය හැකි අවියක් ඔවුන් සතුව නැහැ. ඒ නිසා එය ඊශ්‍රායලයට පහසු ඉලක්කයක් නොවෙයි.
මෙතරම් පොලොව යට ඇති ඉලක්කයකට පහර දිය හැකි බෝම්බයක් ඇත්තේ ඇමරිකාව සතුව පමණ යි. එය විශාල බරකින් යුතු බෝම්බයක් වන අතර එය හැඳින්වෙන්නේ GBU 57 MOP යන නමින්. මෙම බෝම්බය කි.ග්‍රෑ. 13,600 ක (රාත්තල් 30,000 ක) පමණ බරින් යුතු බව සඳහන්.

GBU 57 බෝම්බය රැගෙන යා හැකි ගුවන්‍ යානයක් ඇත්තේත් ඇමරිකාව සතුව පමණයි. මෙම තත්වය තුළ ෆෝර්ඩෝ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට නම් ඊශ්‍රායලයට ඇමරිකාවේ සහය අවශ්‍ය වෙනවා.

ඊශ්‍රායලය ඇමරිකාවේ සහය ගෙන මෙම බෝම්බය යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළත් ෆෝර්ඩෝ මධ්‍යස්ථානය විනාශ කිරීමට හැකි වේවි ද යන්න සැක සහිත යි. ඉරානය මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉදි කර ඇත්තේ මෙවැනි අති ප්‍රබල බෝම්බවලට පවා ඔරොත්තු දෙන ආකාරයෙන් බවටත් කතාවක් තිබෙනවා.

න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් එය නතර කිරීමට හමුදා ක්‍රියාමාර්ග තුළින් ඊශ්‍රායලයට හැකි නොවනු ඇති බව යි ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ.

බෙන්ජමින් නෙතන්යාහු

කෙසේ නමුත් ෆෝර්ඩෝ වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව ඊශ්‍රායලයට උදව් කරාවි ද යන්න පිළිබඳවත් තවමත් නිශ්චිතව කීමට හැකියාවක් නැහැ. මෙම යුද්ධයට පැටලෙන්නට ඇමරිකාව එතරම් කැමැත්තක් නොදක්වන බවකුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රකාශ තුළින් පෙනෙනවා.

කෙසේ හෝ වේවා, ඇමරිකාව මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ වෙනවා ද යන කාරණයට අදාල අලුත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා කර තිබෙනු දැකගන්නට ලැබුණා. ඔහු පවසා තිබුණේ සති දෙකක් ඇතුළත මේ ගැන තීරණයක් ගන්නා බව යි.එම කාලය තුළ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටුම විසඳා ගැනීමට හැකි වේවි ද නැද්ද යන්න මත ඉදිරි තීරණ ගන්නා බවකුයි ඔහු අඟවා තිබුණේ.

මේ අතර පසුගිය දිනවල ඉරාන නායකයන් ද ඇමරිකාවට දැඩි ලෙස අනතුරු අඟවන ආකාරයේ ප්‍රකාශයන් කර තිබෙනු දැකගන්නට ලැබුණා. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී පසුගිය දිනෙක පවසා තිබුණේ යම් හෙයකින් ඇමරිකාව මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ වුවහොත් නැවත පිළිසකර කළ නොහැකි ආකාරයේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට ඇමරිකාවට සිදුවනු ඇති බව යි. ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් කර තිබූ තරමක් තර්ජනාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනු යි. අලී කමේනී සැඟවී සිටින තැන තම පාර්ශ්වය දන්නා බවත්, ඔහු ඉතා පහසු ඉලක්කයක් බවත්, නමුත් ඔහු මරා දැමීමේ අදහසක් තවම නොමැති බවත් ට්‍රම්ප් පවසා තිබුණා. එයින් ඇඟවුණේ සමහර විට ඉදිරියේදී අලී කමේනී ඝාතනය කිරීමට වුව ද ඉඩක් ඇති බව යි. ඉරානය දැන් කොන්දේසි විරහිතව යටත් විය යුතු බවකුත් ට්‍රම්ප් තවදුරටත් පවසා තිබුණා.

කෙසේ හෝ වේවා, ඇමරිකාව මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ වෙනවා ද යන කාරණයට අදාල අලුත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා කර තිබෙනු දැකගන්නට ලැබුණා. ඔහු පවසා තිබුණේ සති දෙකක් ඇතුළත මේ ගැන තීරණයක් ගන්නා බව යි.

එම කාලය තුළ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටුම විසඳා ගැනීමට හැකි වේවි ද නැද්ද යන්න මත ඉදිරි තීරණ ගන්නා බවකුයි ඔහු අඟවා තිබුණේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර