ඊශ්‍රායල නායකයන්ට වුවමනා වුණු, ජනතාවට එපා වුණු ගාසා යුද්ධය

vinivida

මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති ගාසා යුද්ධයට නායකත්වය දෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඊශ්‍රායලයේ ජනතාවගේ විරෝධය උත්සන්න වෙමින් ඇති ආකාරය මේ වනවිට දැක ගන්නට ලැබෙනවා. ඊශ්‍රායල ජනතාවගෙන් විශාල පිරිසකට මේ වනවිට අවශ්‍යව ඇත්තේ මේ යුද්ධය අවසන් වනු දකින්නට බවයි පෙනෙන්නේ.

ඔවුන් දැන් කාලයක සිටම යුද්ධයට එරෙහිව විරෝධතා දක්වමින් සිටින අතර පසුගිය ඉරිදාත් එවැනි දැවැන්ත විරෝධතාවක් රට පුරා පැවැත්වී තිබුණා. ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් නුවරට පමණක් විරෝධතාකරුවන් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් රැස්ව තිබූ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. මේ සමග පළවෙන ඡායාරූපවලින් ඒ සඳහා යම් සාක්ෂියක් ලැබෙනවා.

ඊශ්‍රායල ජාතිකයන් යුද්ධයට විරුද්ධ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටීම යි. යුද්ධය ඇදෙන තරමට ඔවුන්ගේ ජීවිතවලට තිබෙන තර්ජනයත් වැඩි වීම ඊශ්‍රායලයේ බොහෝ දෙනා තුළ කම්පනයක් ඇති කරන්නක්.

ඊශ්‍රායල ජාතිකයන් යුද්ධයට විරුද්ධ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටීම යි. යුද්ධය ඇදෙන තරමට ඔවුන්ගේ ජීවිතවලට තිබෙන තර්ජනයත් වැඩි වීම ඊශ්‍රායලයේ බොහෝ දෙනා තුළ කම්පනයක් ඇති කරන්නක්.

මෙම ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් අල්ලාගෙන යන ලද්දේ 2023 ඔක්තෝබර් මාසයේ යි.
යුද ගැටුම ආරම්භ වූයේ හමාස් සටන්කරුවන් පිරිසක් ඊශ්‍රායලයට කඩා වැදී ප්‍රහාරයක් දියත් කිරීමත් සමග යි. එම අවස්ථාවේ ඔවුන් ඊශ්‍රායල වැසියන් 250 කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියා. ඒ අතරින් සමහරුන් යුද්ධයට මැදි වී මරණයට පත් වූ අතර සමහරුන් නිදහස් කරනු ලැබුවා. තවත් 20 දෙනෙකු පමණ තව දුරටත් හමාස් සංවිධානය භාරයේ සිටින බව විශ්වාස කෙරෙනවා.

යුද්ධය අවසන් කර මෙම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඉක්මනින් ගිවිසුමක් ඇති කර ගන්නා ලෙසයි විරෝධතාකරුවන් රජයට බල කරන්නේ.

මෙම විරෝධතාවලට නායකත්වය දෙන්නේ ප්‍රාණ ඇපකරුවන් ගේ පවුල්වල අය සහ හිතමිතුරන් ගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති Hostages and Missing Families Forum නැමැති සංවිධානයක්. ඉරිදා පැවති විරෝධතාවට සමගාමීව ඔවුන් වැඩ වර්ජනයකුත් කැඳවා තිබුණා. මේ නිසා ඇතැම් ප්‍රදේශවල මහා මාර්ග, කාර්යාල, විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපනික ආයතන ආදිය වසා තිබූ බවත් සඳහන්.
පාරවල්වල ටයර් පුලුස්සමින් එම මාර්ග අවහිර කර තිබෙන ආකාරයත් මාධ්‍ය තුළ පළ වූ ඡායාරූපවල සහ විඩියෝවල දැකගත හැකි වුණා.

ඊශ්‍රායල ආණ්ඩුව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන තවත් වැඩපිලිවෙලක් සම්බන්ධවත් මෙම විරෝධතා දක්වන ජනතාව තරමක් නොසන්සුන් වී සිටින ආකාරය දැකගත හැකියි. ගාසා නගරයේ සම්පූර්ණ පාලනය තමුන් යටතට ගැනීමටයි ඊශ්‍රායලය බලාපොරොත්තු වන්නේ. මේ වනවිට එහි ඇතැම් ප්‍රදේශ පාලනය කරන්නේ හමාස් සංවිධානය යි. ගාසා නගරය ගාසා තීරයේ ඇති විශාලතම නගරය යි.

මෙම නගරයේ සිටින මිලියනයක් පමණ පලස්තීන ජාතිකයන් බලහත්කාරයෙන් වෙනත් ප්‍රදේශ වෙත යැවීමටත් ඊශ්‍රායලය බලාපොරොත්තු වෙනවා.

ඊශ්‍රායල හමුදා මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත් ඇති වන ගැටුම්කාරී තත්වය තුළ ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අවදානම තවත් ඉහළ යනු ඇති බව විරෝධතා දක්වන පාර්ශ්වවල අදහස යි.

විරෝධතා සංවිධානය කළ Hostages and Missing Families Forum සංවිධානයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිනියක වන අයිනාව් සංගෝකර් ඊශ්‍රායල නායකයන්ට චෝදනා කරමින් පවසන්නේ ඔවුන් සාධාරණ යුද්ධයක් මේ වනවිට තේරුමක් නැති යුද්ධයක් බවට පත් කර ඇති බව යි. සංගෝකර්ගේ පුතාත් හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවෙක්. 25 හැවිරිදි ඔහුගේ නම මාටන් සංගෝකර්.

පසුගිය දිනෙක හමාස් සංවිධානය ඔහුගේ විඩියෝවක් නිකුත් කර තිබුණා. ඔහු මේ වනවිට මහත් කායික සහ මානසික පීඩාවන්ගෙන් විඳවමින් සිටින බව යි වාර්තා වන්නේ. තමා නිදහස් කර ගන්නා මෙන් මාටන් ඊශ්‍රායල වැසියන්ගෙන් සහ පාලකයන්ගෙන් අයැද සිටින ආකාරය විඩියෝවෙහි දැකගත හැකි යයි මාධ්‍ය වාර්තා කර තිබුණා.

මාටන් ගේ අත් පා විලංගු ලා ඇති බවකුත්, කූඩුවක් වැනි තැනක සිරකර ඇති බවකුත් ඔහුගේ පවුලේ අයට දැනගන්නට ලැබී ඇතැයි ද සඳහන්.

ඉහත කී විඩියෝවේ එක් තැනක ඔහු සිය මව ගැනත් මෙවැනි ප‍්‍රකාශයක් කරනවා. ‘අම්මේ, අප නිදහස් කරගන්න ඔබ කරමින් සිටින කටයුතු ගැන මට අසන්නට ලැබෙනවා. ඔබ හොඳින් සිටින බව දැනගන්නට ලැබීම සතුටක්. ඔබව ඉක්මනින් නැවත දැක ගන්නට ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔබ සමග ගෙදර මේසයට වාඩි වෙලා නැවතත් එකට ආහාර ගන්න, කතාබහ කරන්න මම ආසාවෙන් ඉන්නවා’.

‘අප මේ ඉල්ලා සිටින්නේ අපට අයිති දේ යි. එනම් අපේ දරුවන්. ඊශ‍්‍රායල ආණ්ඩුව සාධාරණ යුද්ධයක් මේ වනවිට තේරුමක් නැති යුද්ධයක් බවට පත් කර තිබෙනවා. මගේ දරුවා වෙනුවෙන් මගේ හදවතේ ගින්නක් ඇවිලෙනවා. මාටන්, ඔබ සහ සියලූ ප‍්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් මාත්, සමස්ත ජාතියත් අපට කළ හැකි සියල්ල කරනවා’.

ඉරිදා පැවැති විරෝධතාව ගැන ඊශ‍්‍රායල නායකයන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනු දැකගන්නට ලැබුණා. අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ තවත් ඇමැතිවරුන් මෙය විවේචනය කරමින් පවසා තිබුණේ මෙවැනි විරෝධතා නිසා හමාස් සංවිධානයට වාසි සැලසෙන බව යි.

මෙවැනි විවේචනවලට පිලිතුරු දෙමින් මාටන්ගේ මව අයිනාව් මෙසේ පවසා තිබුණා.

‘අප මේ ඉල්ලා සිටින්නේ අපට අයිති දේ යි. එනම් අපේ දරුවන්. ඊශ‍්‍රායල ආණ්ඩුව සාධාරණ යුද්ධයක් මේ වනවිට තේරුමක් නැති යුද්ධයක් බවට පත් කර තිබෙනවා. මගේ දරුවා වෙනුවෙන් මගේ හදවතේ ගින්නක් ඇවිලෙනවා. මාටන්, ඔබ සහ සියලූ ප‍්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් මාත්, සමස්ත ජාතියත් අපට කළ හැකි සියල්ල කරනවා’.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර