දැනට පවතින උණුසුම් කාලගුණික තත්ත්වය මෙම මාසය පුරාවට අඩු වැඩි වෙමින් පවතින අතර ලබන මාසයේ සති දෙකක් හෝ තුනක් දක්වාම එය පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පවසන ලදි.
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියි.
ජූනි මාසයෙන් පසුව එල්නිනෝ තත්ත්වයක් පැවතියහොත් උණුසුම දැනට පවතින තත්ත්වයට වඩා මඳක් වැඩිවිය හැකි බවද එමනිසා ඉදිරි මාස කිහිපයේදී වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මාර්තු, අප්‍රේල් මාසවල පවතින්නේ පළමු අන්තර් මෝසම බවත් එම කාලයේදී උදෑසන හොඳින් පායා සවස් කාලයේදී වැසි ඇතිවන බවත් කී ඒ මහතා මෙම වසරේ පළමු අන්තර් මෝසම පැවැතියේ තරමක් දුර්වල තත්ත්වයක බැවින් මාර්තු මාසයේදී ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණු බවද සිහිපත් කරයි.
තවද මෙම මාසයේදී සාමාන්‍යයෙන් ලැබිය යුතු වර්ෂාපතනයට වඩා ලැබී ඇත්තේ අඩු වර්ෂාපතනයක් බවද මේ දිනවල සවස් කාලයේදී වැසි ඇති වුවත් එය ප්‍රමාණාත්මක වර්ෂාපතනයක් නොවන බවද ඔහු සඳහන් කරයි.
අප්‍රේල් සහ මැයි මාසවල සාමාන්‍යයෙන් උණුසුම් තත්ත්වයක් පැවතිය ද දේශගුණ විපර්යාස සමග එම තත්ත්වය ක්‍රමයෙන් වැඩිවන බව පෙන්වා දුන් ඒ මහතා දැනට පවතින පළමුවැනි අන්තර් මෝසම් තත්ත්වය මැයි මස 15 වැනිදා පමණ වන විට අවසන් වියයුතු බවත් මෙමස 20 වැනිදායින් පමණ පසු නිරිත දිග මෝසම ආරම්භ වන බවත් කියා සිටියි.
තවද නිරිත දිග මෝසමේ ආරම්භයත් සමගම දැනට පවතින උණුසුම් තත්ත්වය මඳක් අඩු වනු ඇතැයි කී හෙතෙම මේ වනවිට පවතින්නේ එල්නිනෝ සාමාන්‍ය තත්ත්වයක බවත් ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ගෝලීය වශයෙන් පුරෝකථනය කර තිබෙන බවත් අනාවරණය කළේය. කෙසේ නමුත් සිරුරට දැනෙන අපහසුකාරී තත්ත්වය මැයි මාසයේ තුන්වැනි සතියෙන් පමණ පසුව පහවනු ඇතැයි ද ඔහු කියා සිටියි.
‘‘අප්‍රේල් මාසයේදී වැසි බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්. උණුසුම්කාරී තත්ත්වය වැඩියෙන් දැනීමට හේතුව වර්ෂාපතනය අඩුවීමයි. මැයි මාසය තුළදී සාමාන්‍යයෙන් බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයන්, අඩු පීඩන කලාප ඇතිවෙනවා. එවැනි තත්ත්වයකදී මෙරටට වැසි බලාපොරොත්තු විය හැකියි.
නිරිත දිග මෝසම ස්ථාපිත වීම නිසා මැයි මස 10 වැනිදායින් පමණ පසුව තද වැසි බලාපොරොත්තු වෙනවා. නිරිත දිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය විශාල ලෙස අඩුවිය හැකියි. එම තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතින්න පුළුවන්. එම නිසා තිබෙන ජලය කළමනාකරණය කරගෙන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි.’’