එඬරු ගසත් දෙවියන්ගෙ නම් සෙසු ගස් ගැන කුමන කතා ද?

කලින් පාසල් දරුවන්, විද්‍යා විෂයන් හදාරන සරසවි සිසුන් අතර පමණක් ව්‍යවහාර වුණු ඔක්සිජන් යන වදන අද වන විට අප රටේ පොදු ජනතාවගේ දැඩි අවධානයත් කුතුහලයත් දනවන මාතෘකාවක් වී තිබේ. ඒ වත්මන් කොවිඩ් වසංගතයට නතු වූ රෝගීන් යම් ප්‍රමාණයකට ස්වසනය පහසු කිරීම පිණිස ඔක්සිජන් අවශ්‍ය බවත්; මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සපයා ගැනීම ජාතික ගැටළුවක් වී ඇති බවත් මෙරට ජන විඥානය තුළට පිවිස ඇති බැවිනි.

මීට අමතරව පරිසර සංහාරයක් මුල් කොට ඇති වූ කතිකාවක දී ‘ඔක්සිජන් කන්නදැ?’යි දේශපාලනයට සම්බන්ධ වූ පුද්ගලයකු ගේ ප්‍රකාශයක් මුල් කොට ද මෙම ඔක්සිජන් පිළිබඳ කතිකාව මීට මඳ කලකට ඉහත සිට සමාජ කරලියට පිවිස තිබිණ. ඒ අනුව ඔක්සිජන් යන ඉංග්‍රීසි වදනින් සහ අම්ලකර යන ඊට වඩා මනරම් යැයි හැඟෙන සිංහල නමින් හැඳින්වෙන සමස්ත සත්ව සංහතියේම ‘ප්‍රාණ වායුව’ පිළිබඳ පොදු සමාජ කතිකාවක් ඇති වීම යහපත් දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ස්වසන ක්‍රියාවලිය අපහසු රෝගීන්ට ඔක්සිජන් ලබා දීම යනුවෙන් හැඳින්වෙනුයේ කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කරන ලද අම්ලකර වායුව සිලින්ඩර හා නල මඟින් ලබා දීම ය. එහෙත්, මිනිස් අප ඇතුළු සමස්ත සත්ව සංහතියම උපතේ සිට මරණය තෙක් සෑම මොහොතක් පාසාම ස්වසනය මඟින් ශරීරයට ලබා ගන්නා අම්ලකර සොබා දහම විසින් ලොවට උරුම කොට ඇති උතුම් මාතෘ දායාදයකි.

ලොව වෘක්ෂලතා හා සබැඳි ප්‍රභාසංස්ලේෂණය නම් ජෛවමය ක්‍රියාවලිය ඔස්සේ නිපදවෙන අම්ලකර පෘථිවි ගෝලයේ සුළං ඔස්සේ වෘක්ෂලතා නොමැති නිසරු කාන්තාර ප්‍රමුඛ සමස්ත ලෝකය පුරාම සමසේ බෙදී යයි. එම නියාමය අනුව අපට සරල වශයෙන් කිව හැක්කේ ලොව වෘක්ෂලතා අහිමි වීමට සාපේක්‍ෂව ඒවා මඟින් නිපදවෙන අම්ලකර ප්‍රමාණය ද හීන වන බව ය.

අද තරම් බුද්ධිමය පරිණාමයට පත් නොවූ ආදී මානවයා හිරු, සඳු, වැස්ස, සුළඟ, අකුණු සේම ගස්, ගල් පර්වත ආදිය ද දේවත්වයෙන් සලකා ඇදහූ බව අපි දනිමු. අප අවට ඇති ජීවී, අජීවී සෑම දෙයක් තුළම ආත්මයක් හෙවත් ප්‍රාණයක් ඇති බවට පැවැති මෙම පෞරාණික විශ්වාසය හෙවත් ප්‍රාණවාදය (Animism) පිළිබඳව මුල් වරට ලෝකය හමුවේ අනාවරණය කරන ලද්දේ ඊ.බී. ටයිලර් විසින් 1871 වසරේ දී ලියා පළ කරන ලද ප්‍රාථමික සංස්කෘතිය (Primitive culture) කෘතිය මඟිනි.

ටයිලර් ගේ මෙම අනාවරණය පරිදි පසුකාලීන මිනිසා අතීතයේ සිදුකළ වෘක්ෂ වන්දනාවට විවිධ අර්ථ කථන මුල්කොට එය දිගටම පවත්වා ගෙන යන ලද අතර වෘක්ෂ වන්දනාවට ලෝකයේ බොහෝ ජන සංස්කෘතීන් වල අදටත් ප්‍රධාන තැනක් හිමි වෙයි. ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ බෝධි වන්දනාව ද එම පැරණි වෘක්ෂ වන්දනාවට බුද්ධිය ආරෝපණයක් ලබා දීමකි.

මිනිසා සහ ජෛව ගෝලය අතර පැවැතිය යුතු නිරන්තර සබැඳියාව පළුදු වීමෙන් මිනිසුන් ඇතුළු සමස්ත සත්ව සංහතියට නොයෙකුත් දුක් කරදර විපත් වලට මුහුණ දීමට සිදුවන බවටත් එම සබැඳියාව මුළුමනින්ම බිඳ වැටීම මුල් කොට මිනිසුන් ඇතුළු සමස්ත සත්ව සංහතියම විනාශ මුඛයට පත්වන බවටත් විසි වන සියවසේ මුල් භාගයේ සිට පැවැති මානව උපකල්පනය මීට අඩ සියවසකට පමණ පෙර සිට ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වනු දක්නා ලදී.

ඒ අනුව මිනිසා විසින් පරිසරය සුරැකීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව කෙමෙන් වර්ධනය වූ අතර අද වන විට එය ලෝකයේ පවත්නා නව ගෝලීය ප්‍රවණතා අතුරින් ප්‍රමුඛස්ථානයකට පත්ව තිබේ. ඒ අනුව මීට දශක පහ, හයකට පමණ පෙර ලොව පැවැති සංවර්ධනය පිළිබඳ උපමාන පවා අද වන විට මුළුමනින්ම වෙනස් වී ඇති අතර තිරසර මානව සංවර්ධනය නම් වන නව සංවර්ධන සංකල්පය තුළ වෘක්ෂලතා ඇතුළු ස්වභාවික පරිසරය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කොට තිබේ. එහි දී එක්සත් ජාතීන් ගේ සංවිධානය ඇතුළු ලොව ප්‍රමුඛතම සංවිධාන විශේෂ කැපවීමකින් ක්‍රියා කරන බව පාසල් දරුවෝ පවා දනිති. ඒ සමස්ත ලෝකයේ ජෛවමය යහපැවැත්ම වෙනුවෙනි.

මිනිසා සහ ගහ කොළ අතර පැවැතිය යුතු මෙම ස්වභාවික අනොන්‍ය සබැඳියාව ඇතැම් ආගම් වලින් ද විශේෂ අගැයුමට ලක් කොට තිබේ. භාරතය නිජ බිම කොට ගත් ජෛනාගම සහ බුද්ධාගම ඒ අතරින් ප්‍රධාන ය. විශේෂයෙන් බුදු දහම පරිසරය පිළිබඳ කෙතෙක් සංවේදී වී ද යත් උපසපන් භික්ෂුවක් ගසකින් කොළයක් කැඩීම පවා ඇවතක් හෙවත් වරදක් ලෙස බෞද්ධ විනය පිටකයේ සඳහන් ය.

ඒවා හැඳින්වෙන්නේ භූතගාම ශික්ෂා පද යනුවෙනි. ආධ්‍යාත්මික පිළිසරණ පතා සිදුකරන ලද පැරණි ගස් ගල් වන්දනාව ප්‍රතික්‍ෂේප කළ බුදු දහම වනය ඇතුළු පරිසරය සුරැකීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව ධර්ම විනය පිළිබඳ විමැසීමේ දී මැනැවින් පෙනී යයි.

“වනං ඡින්දත-මා රුක්ඛං” වනය සිදිව්-රුක් නොසිදිව් යන ධම්මපද පාලියේ මාර්ග වර්ගයට අයත් ගාථා පාඨය මඟින් ප්‍රකාශ වනුයේ ද කෙලෙස් නම් වනය මිස ගස් වැල් සිඳලීම බුදු දහමින් කෙසේවත් අනුමත නොවන බව ය. බුද්ධ කාලීන භාරතයේ බ්‍රාහ්මණයන් විසින් සංවිධානය කළ යාග හෝම සඳහා යාග ස්ථම්භ වශයෙන් වටිනා ගස් කපා බිම හෙළූ අතර සත්ව ඝාතනයෙන් සහ රුක් සිඳීමෙන් තොරව කළ හැකි අවිහිංසාවාදී සහ පරිසර හිතකාමී යාග සම්ප්‍රදායක් බුදුන් වහන්සේ හඳුන්වා දුන් අන්දම සූත්‍ර කිහිපයකින්ම දක්වා තිබේ.

ඊට අමතරව ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් වන රෝප නමින් රුක් රෝපණය ඇතුළු පරිසර සංරක්ෂණය වෙනුවෙන් වෙනම සංයුක්තයක් හෙවත් කොටසක් වෙන් කර තිබීම ද බෞද්ධ සාහිත්‍යයටම සුවිශේෂ වූවකි. නමුදු මේවා අප ගේ බෞද්ධ සමාජයට නිසි ලෙස සන්නිවේදනය වී නොමැත.

අප රටේ ක්‍රියාත්මක වන සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය තුළින් මෙම සැබෑ සංවර්ධන සංකල්පය ඉස්මතු නොවීම, බඩගෝස්තරවාදීන් ගේ කූට උපාය මාර්ග ක්‍රියාත්මක වීම මුල් කොට මේ වන විටත් අප රට පුරා දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 30% වන වැස්මක් ජාතික අපේක්‍ෂාව වශයෙන් තිබිය දී විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල නාමයෙන් හා පරිසර සංහාරකයන් ගේ වන අපරාධ මත අද වන විට ඒ ප්‍රමාණය සියයට 15% තෙක් පහළ බැසීමෙන් අවදානමක් පවතින බවට පරිසරවේදීහු අනතුරු අඟවති. එහෙත්, ඒ විනාශය පිටුදැකීම සඳහා විධිමත් පිළියම් යෙදෙන බවක් පෙනෙන්නට නැත.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රජ කරන සමයේ ඒ නුවර වැසියෝ එක් එක් රුක් මුලට ගොස් දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත් වූහ. ඒ අතර එනුවර එක් දිළිඳු පුද්ගලයෙක් එක් එඬරු ගසක් තෝරා ඒ අවට ශුද්ධ පවිත්‍ර කොට එහි දෙවියන්ට පිදීමට යමක් නොමැතිව කුඩු කැවුමක් පූජා කිරීමට සැරසුණි. එහෙත්, ඒ සමඟම ‘දෙවියෝ නම් දිව්‍යමය ආහාර වළඳන්නෝම ය එබැවින් මගේ මේ කුඩු කැවුමෙන් දෙවියන්ට කුමන පලක් ද?’ යන සිතුවිල්ල සිත තුළ පහල වී ඔහු ඒ කුඩු කැවුම ද රැගෙන ආපසු යන්නට හැරෙත්ම එම එඬරු ගසේ සිටි දෙවියෝ ඔහුට ආමන්ත්‍රණය කළහ.

“යමකුට යමක් හිමි වේද? ඔහුගේ දෙවියන්ට ද එයම හිමි වනු ඇත. එබැවින් ඔය කුඩු කැවුම මට පූජා කරනු;” එසේ තමන් ඇමතූ දෙවියන් කී ඒ කතාවෙන් මහත් සතුටට පත් වූ දිළිඳු මිනිසා එඬරු ගසේ දෙවියන්ට ඒ කුඩු කැවුම පූජා කළේ ය. තොප මට පූජා පවත්වන්නේ කුමක් නිසා ද?” එම පූජාවෙන් පසුව දෙවියෝ දිළින්දා ගෙන් අසා සිටියහ. “මගේ දිළිඳු කම නිසා” ඔහුගේ ගේ පිළිතුර එය විය. එවිට එම දෙවියන් ගේ පිළිතුර වූයේ “එසේ නම් මේ ගස වටා හාරා එහි ඇති සැලි ගෙන මහ රජුට පෙන්වනු; එවිට මහ රජු තා හට සිටු පදවියක් දෙනු ඇත.” යන්න ය.

දිළිඳු මිනිසා ද දෙවියන් කී ලෙසම එම එඬරු ගස වටා සාරන්නට වූ අතර ඉන් මහා ධන නිධානයන් සහිත හැලි හමු වූ බවත් ඔහු ඒවා බඹදත් රජුට පෙන්වා එදිනම මහ සිටු පදවියක් හිමි කර ගත් බවත් පන්සිය පනස් ජාතකයට අයත් එම කුඩ්ඩකපුව ජාතක කතා පුවතින් පැවසෙයි. මතු පිටින් දේව වන්දනයක් පිළිබඳව සඳහන් වුව ද මෙම ජාතක කතාවෙන් මතු වන ප්‍රබල දාර්ශනික අරුතක් තිබේ. එනම් අප පරිසරයෙන් හමුවන අප නොවැදගත් යැයි සලකන එඬරු ගස වුව අපට සෞභාග්‍යයක් සලසන වෘක්ෂයක් බව ය. ඉතින් සෙසු ගස් ගැන කවර කතා ද?

මානව විද්‍යා මහාචාර්ය

ප්‍රනීත් අබේසුන්දර

හරිත දනව්ව