
දෙමළ සිනමාවේ අතිශයින් ජනපි‍්‍රය නළුවකු වන විජේ ඉන්දියානු චිත්‍රපට නරඹන මෙරට සිනමාලෝලීන් ද හොඳින් දන්නා චරිතයකි. කෙසේ නමුත් පසුගිය දිනවල විජේ මෙරට මාධ්‍ය තුළ වඩාත්ම කතාබහට ලක් වූයේ ඔහුගේ සිනමා රංගනයන් නිසා නොවේ. ඔහු විසින් කරන ලද ඇතැම් දේශපාලන ප්‍රකාශයන් නිසා ය.
ශී‍්‍ර ලංකාවට අයත් දූපතක් වන කච්චතීව් දූපත නැවත ඉන්දියාවට පවරා ගත යුතු බවක් ඔහු දේශපාලන වේදිකාවල ප්‍රකාශ කරමින් සිටියි. මෙම දූපත ශී‍්‍ර ලංකාවට පවරා දෙන ලද්දේ 1974 වසරේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් අත්සන් කරන ලද ගිවිසුමක් හරහා යි.
මේ වනවිට මෙම දූපත අවට මුහුදු කලාපයට ඉන්දීය ධීවරයන්ට ද ඇතුල් වීම තහනම් ය. කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීම සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ දේශපාලනඥයන් කතා කරන්නේ මෙවැනි පසුබිමක් තුළ යි. එසේ කිරීමෙන් ඉන්දීය ධීවරයන්ට ද මෙම කලාපයේ වඩා නිදහසේ කටයුතු කිරීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ අදහස යි.
විජේ කච්චිතීව් ගැන ඉහත කී ආකාරයෙන් ආවේගාත්මක ප්‍රකාශයන් කරන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටින තත්වයක් හමුවේ බව ද මෙහි දී සඳහන් කළ යුතුය. ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පමණ මෙම මැතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වනවිට සිනමා රංගනයෙන් ඉවත් වී පූර්ණ කාලීනව දේශපාලනයට පිවිස සිටින විජේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ගත්තේය. එය නම් කර ඇත්තේ තමිලග වේට්රි කෂාගම් යනුවෙනි.

තමිල්නාඩු ධීවර ජනතාවගේ ඡන්ද දිනා ගැනීම සඳහාත්, ජනතාව තුළ ජාතිකවාදී හැඟීම් උද්දීපනය කිරීම සඳහාත් විජේ කච්චතිව් ප්රශ්නය යොදාගන්නා බව පෙනේ.
විජේ සහ ඔහුගේ පක්ෂය මැතිවරණයකට ඉදිරිපත් වන්නේ පළමු වතාවට යි. මෙම මැතිවරණයෙන් ජය ගැනීමට ඔහුට හැකි වනු ඇත් ද යන්න ද මේ වනවිට තමිල්නාඩු දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි. දෙමළ සිනමාව තුළ ජය කෙහෙලි නැංවීමට සමත් වූ ආකාරයෙන්ම ඔහු දේශපාලනය තුළත් ජය කෙහෙලි නැංවීමට සමත් වනු ඇත් ද?
තමිල්නාඩුව යනු සිනමාව සහ දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ඇති ප්‍රාන්තයකි. දෙමළ සිනමාවේ අතීත දැවැන්තයන් වූ එම්.ජී. රාමචන්ද්‍රන් (එම්ජීආර්), ජයලලිතා, එම්. කරුණානිධි වැනි අය දේශපාලනය තුළ ද දැවැන්තයන් බවට පත් වූහ. පසුගිය දිනවල කමල් හාසන් ද එහි දේශපාලනය තුළ ගමනක් යාමට උත්සාහ කළේය. නමුත් ඔහුට නම් සිතූ තරම් ඉදිරියට යාමට හැකියාවක් ලැබුණේ නැත.
නමුත් විජේ කමල්ට වඩා ඉදිරියට යාමට සමත් වනු ඇති බවක් මේ වනවිට දැකගන්නට ලැබේ.
මෙයට අදාළ යම් අදහසක් ගත හැකි සමීක්ෂණයක් පසුගිය දිනවල පවත්වා තිබිණි. මෙම සමීක්ෂණය පවත්වා තිබුණේ මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩු බලය හොබවන ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්ෂය යි.
2026 ප්‍රාන්ත සභා මැතිවරණයට අදාළව පවත්වා ඇති මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව දැකගත හැකි වන්නේ විජේ සහ ඔහුගේ තමිලග වේට්රි කෂාගම් පක්ෂය වේගයෙන් ඉදිරියට එමින් ඇති බවකි. කෙසේ නමුත් එම පක්ෂයට 2026 මැතිවරණයේ දී ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්ෂය පරදවා ප්‍රාන්තයේ බලය පිහිටුවීමට හැකි වනු ඇති බවක් මෙම සමීක්ෂණයෙන් ප්‍රකාශ නොවේ. එහෙත් මැතිවරණයේ දී දෙවැනි තැන දිනා ගන්නට එම පක්ෂයට හැකි වනු ඇති බවක් එයින් පෙන්නුම් කර තිබේ. එයින් අදහස් වන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි අයත්වන භාරතීය ජනතා පක්ෂය ඇතුළත් ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ද පැරදවීමට විජේ ගේ පක්ෂයට හැකි වනු ඇති බවකි.

විජේ ගේ පක්ෂය ආරම්භ කර මේ වනවිට ගත වී ඇත්තේ මාස 8 ක් වැනි කෙටි කාලයක් පමණි. එවැනි කෙටි කාලයක් තුළ මේ තරම් ඉදිරියට ඒමට හැකි වීම සැලකිය යුතු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කකි.
ඉහත කී සමීක්ෂණයට අනුව, අද හෙට ප්‍රාන්ත සභා මැතිවරණයක් පැවැත්වුවහොත් පාලක ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්ෂය ලියාපදිංචි ඡන්දවලින් සියයට 45 ක් පමණ ලබා ගනු ඇත. විජේ ගේ තමිලග වේට්රි කෂාගම් පක්ෂය ඡන්දවලින් සියයට 23 ක් පමණ ලබා ගනු ඇති අතර ඉහත කී ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ලබා ගනු ඇත්තේ ඡන්දවලින් සියයට 22 ක ප්රතිශතයකි.
2026 ප්‍රාන්ත සභා මැතිවරණයේ දී පළමු තැනට එන්නට නොහැකි වුවත්, 2029 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සහ 2031 ඊළඟ ප්‍රාන්ත සභා මැතිවරණයේ දී මීට වඩා විශාල ඉදිරි පිම්මක් ගැනීමට විජේ ගේ පක්ෂයට හැකි වනු ඇති බවක් ද ඉහත කී සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇති බව සඳහන් ය.
මෙම සමීක්ෂණය ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්ෂය විසින් කරවන ලද්දක් නිසා එහි විශ්වසනීය බව පිලිබඳ ඇතැම් පාර්ශ්ව සැක මතු කර තිබෙනු ද දැකිය හැකි වේ.
මේ අතර විජේ නම් පවසන්නේ 2026 මැතිවරණයේ දී තම පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරන බව යි. මෙම මැතිවරණය 1967 සහ 1977 ප්‍රාන්ත සභා මැතිවරණවලට සමාන වනු ඇති බවක් ඔහු පවසා තිබේ. එම මැතිවරණ දෙකේදී ම ජයගත්තේ පළමු වරට මැතිවරණවලට ඉදිරිපත් වූ පක්ෂ දෙකකි. 1967 දී ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (DMK) පක්ෂය ජයග්‍රහණය කළ අතර 1977 ජයග්‍රහණය කළේ ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (AIADMK) පක්ෂය යි.
විජේ සහභාගි වන දේශපාලන ප්රචාරක රැළිවලට ලක්ෂ ගණනින් ජනතාව ඇදී එන ආකාරය දැකගත හැකි වේ. මෙයට ටික දිනකට පෙර එවැනි රැළියක දී ඇති වූ අධික තදබදයක් හේතුවෙන් 41 දෙනෙකු මරණයට පත් විය.
යම් හෙයකින් ලබන මැතිවරණයෙන් තමිලග වේට්රි කෂාගම් පක්ෂය ජයගතහොත් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා බවට පත්වනු ඇත.
නිහාල් පීරිස්