කතුරු මිතුරු සිනහව අතුරින් මතුවන සැබෑ කඳුළු කතාවට කාලීන පසු වදනක්

 

මේ දිනවල සාර්ථක ලෙසින් තිරගත වන ප්‍රවීණ රංගනවේදී ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ “කතුරු මිතුරු” මතුපිටින් හාස්‍යෝත්පාදක සිනමා කෘතියකි. එහෙත්, එහි අරුමය නම් නූතන සමාජයේ පවත්නා බරපතල ඛේදනීය තත්වයක් කේන්ද්‍ර කරගනිමින් ඒ හාස්‍යෝත්පාදක සිනමා කෘතිය නිර්මාණය වී තිබීමය.
විශ්වවිද්‍යාල දෙකකින් උපාධි සහතික හිමි කර ගත් තරුණයකු සහ තරුණියක වර්තමානයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකිව තම පියවරුන් ගේ සාම්ප්‍රදායික ජිවන වෘත්තීන් වන ඇඳුම් මැසීමේ සහ කොණ්ඩය කැපීමේ සවයං රැකියා වලට එක්වීමට වෙර දැරීම එම කතුරු මිතුරු හාස්‍යෝත්පාදක සිනමා කෘතියේ මුල් කොටසින් පැවසෙයි. එහිම දෙවන කොටසින් පැවසෙනුයේ නූතන රැකියා වෙළඳපල සඳහා කිසිදු යෝග්‍යතාවයක් හෝ වෘත්තීය නිපුනතාවක් නොවන ඒ උපාධි සුදුසුකම් පසෙක දමා ඔවුන් දෙදෙනා ඇඳුම් නිර්මාණය සහ රූපලාවන්‍ය යන ක්ෂේත්‍රයන් තුළින් වෘත්තීය පාඨමාලා හදාරා ඉන් විශිෂ්ඨ දක්ෂතා දක්වා තම ජීවිත සාර්ථක කර ගැනීම ය. ඒ අනුව ඒ සිනමා කෘතිය දුටු මට පසුව සිතුණේ එය හාස්‍ය රසය නම් මීපැණි අනුපාතය සහිත සමාජ යථාර්ථය නම් කටුක රසින් යුතු කසායක් බඳු බවය. ඖෂධයේත්, අවවාදයේත් රහසේ කටුක බව වැඩි වන තරමට එහි ගුණය ද වැඩි බව ව්‍යවන නම් භාරතීය ආයුර්වේද මුනිවරයකු පවසා තිබේ. ඒ න්‍යායට අනුව අපට පැහැදිලි වනුයේ ගිරිරාජ් කෞෂල්‍ය වන නම් සිනමාකරුවාද ඒ නියාමය අනුව “කතුරු මිතුරු සිනමාවවාදය” ඔස්සේ වර්තමාන සමාජයේ කටුක යථාර්ථය තම ශක්ති ප්‍රමාණයෙන් එළි දක්වා ඇති
බවය.
තමන් වෙත කිනම් අයුරකින් හෝ බලය ලබාගැනීම අරමුණු කර ගත් මැතිවරණ කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියක් තුළ ක්ෂණිකව අලෙවි කර ගත නොහැකි මුත් දිගු කාලීනව අප රට තුළ පවත්නා අධ්‍යාපනික අර්බුදය මේ වන විට ඔඩු දිවූ පිළිකාවක් බවට පත්ව තිබේ. පාදම සවිමත් නොවූ ගොඩනැගිල්ලක ඉතිරි කොටස කෙතරම් සවිමත් ලෙස ගොඩනැගුව ද එහි පැවැත්ම තහවුරු කර ගත නොහැකි සේ යම් රටක අධ්‍යාපනය නිවැරදි දිශානතියකට යොමු නොවන තාක් කල් එහි සංවර්ධනය හුදෙක් සිහිනයක් පමණක් බව නිරතුරුවම ලොව සිව් දෙසින් සනාථ කර ගත හැකි සත්‍යයකි.

මේ අතර පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබේ.පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අය-වැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණ.ඒ අනුව, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවකුටම අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙන සේම පෙර පාසල් අධ්‍යාපනය වයස අවුරුදු 4දීත්, ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇත.ඉදිරියේ දී පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර තිබේ.මෙය ලෝකයේ බොහෝ දියුණු රට වල මේ වන විටත් අති සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන්නකි.එමෙන්ම මේ වන විට කුවා දරුවනට සේම ඔවුන්ගේ මාපියනට දරුණු වධ බන්ධනයක්ව ඇති පස් වන ශේණියේ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරිත්වය නැති කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර ඇත. එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට ද තීරණය කර ඇත.එම විෂයයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය (ICT) තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා ඔස්සේ උසස් අධ්‍යාපනයට පිවිසීමට අවස්ථාව සලසා දීමට යෝජනා කර ඇති බවත් කියති.ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයයන් ශාස්ත්‍රීය අධ්‍යයනය හා වෘත්තීය අධ්‍යයනය ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇති බවක් පැවසෙයි. ශාස්ත්‍රීය අධ්‍යයනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙන්වා දෙන ලදී.එමෙන් ම, ප්‍රායෝගික අධ්‍යයනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙන බවත් ඒ ඔස්සේ වර්තමානයේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවත් කියනු ලැබේ.

මෙවර අය-වැයෙන් 2024 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 517.05ක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. ඉන් රුපියල් මිලියන දෙදහසක් පාසල් පෙළ පොත් ලබාදීමටද රුපියල් මිලියන හය දහසක් පාසල් නිල ඇඳුම් සඳහා ද, දරුවන් හත් ලක්ෂ විසි අට දහස් හාරසිය අසූවක් (728,480) වූ දරුවන්ට පාසල් සපත්තු ලබාදීම සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සියයක් ද වෙන්කොට ඇත.පාසල් දරුවන් මිලියන 1.07කට පමණ දැනට දිවා ආහාරය ලබා දෙන අතර එම සංඛ්‍යාව 2024 වර්ෂයේදී දරුවන් මිලියන 1.5කට ලබාදීමට සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීහු වැඩිදුරටත් පැවසූහ. මෙම තත්වයයටතේ සියලූ ශ්‍රේණි සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරන බවත් දේශීය හා විදේශීය අනුග්‍රාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය සඳහා පියවර ගන්නා බවත් ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඉකුත් 06 වන දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.ඉදිරියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත (STEAM) අධ්‍යාපනය තුළින් ගොඩ නැගුණු මානව සම්පතක්. මෙරට පාසල් පද්ධතිය තුළ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත ක්ෂේත්‍රයන් හරහා විධිමත් ප්‍රවේශයක් සිසු දරුවන්ට ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදීමට අප පියවර ගනිමින් සිටිනවා.සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුගාහක පාර්ශවයන්ගෙන්ද සහාය ඇතිව පියවර ගන්නවා. 1-5 සහ 6-9 මෙන්ම 10-13 ශ්‍රේණි වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහනද ලබන වසරේ දී ආරම්භ කරනවා.එමෙන්ම වයස අවුරුදු 21ට පෙර උපාධි ලබා සරසවියෙන් පිටවීමට හැකිවන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරනවා” යනුවෙන් ඇමති වරයා මෙහි දී කී ය.ඉහත සඳහා යෝජනාවලිය වත්මන් අධ්‍යාපනික අර්බුදය සඳහා වන දැවෙන පිපාසය උදෙසා දිගු කෙරෙන ජල බඳුනක් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.මුත් ඒ ජලයේ සංයුතිය පිළිබඳ ප්‍රමිති සහතික නිකුත් කිරීමට අපට නොපුළුවන.දැනට කිව හැක්කේ එය කුමන ආකාරයක හෝ ජල බඳුනක් බව පමණි.

මේ දක්වාම ක්‍රියාත්මක වන ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය යටතේ, විශ්වවිද්‍යාල හෝ පිරිනැමීමේ ආයතනය කුමක් වුවත්, ඒකාකාරී බව සහ පිළිගැනීම පවත්වා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කලා, විද්‍යාව, වාණිජ සහ අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල ප්‍රථම උපාධි පිරිනමනු ලැබේ.ලොව පුරා මෙම ක්‍රියාවලිය ශාස්ත්‍රීය අධ්‍යාපනය යනුවෙනි. ශාස්ත්‍රීය අධ්‍යාපනය වෘත්තීය හෝ වෘත්තීය අරමුණු සඳහා නොව, පර්යේෂණ සහ අදාළ උසස් අධ්‍යයන සඳහා වේ. අවාසනාවකට, උසස් පෙළ විභාග සාර්ථකව නිම කරන සිසුන්ගෙන් අධ්‍යයන අධ්‍යාපන අවස්ථා උපරිම වශයෙන් 10%-15% දක්වා සීමා වේ.
උසස් පෙළ විභාගයේ දී සිසුන් 200,000 කට වැඩි ප්‍රමාණයක් සහ සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 100,000 කට වැඩි ප්‍රමාණයක් වසරකට ඉවත් වන අතර, මෙම සිසුන්ට ඉහළ මට්ටමේ සුදුසුකමක් ලබා ගැනීමට හෝ රැකියා වෙළඳපොළට ඇතුළු වීමට අදාළ අත්දැකීම් ලබා ගැනීමට නිසි මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වේ. බොහෝ සිසුන් දෙතුන් වතාවක් උසස් පෙළ විභාගයට මුහුණ දෙමින් තම වටිනා කාලය හා මුදල් නාස්ති කරමින් සිටිති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නැවත නැවතත් උසස් පෙළ විභාග කිරීමෙන් වෙහෙසට පත්වන සිසුන්ට අඩු වැටුප් පරිමාණයන් සහිත නුපුහුණු රැකියා වෙළෙඳපොළට ඇතුළු වීම බහුලව සිදුවන්නකි.මෙය ඔවුන්ගේ සමාජ ආර්ථිකයට සේම රටේ සංවර්ධනයටද බරපතල හානිකර තත්වයකි.

එම බරපතල ගැටළුව මඟහරවා ගැනීම සඳහා, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මට්ටම් 7 කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමය හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත. NVQ මට්ටම 7 උපාධිය උපාධි සුදුසුකමට සමාන වේ. සිසුන්ට M.Sc සඳහා ඇතුළත් විය හැකිය. හෝ NVQ මට්ටම 7 සම්පූර්ණ කිරීමෙන් පසු වෙනත් ඕනෑම පශ්චාත් උපාධි වැඩසටහනක්. NVQ 5 මට්ටම සාර්ථකව සම්පූර්ණ කළ සිසුන්ට අදාළ ක්ෂේත්‍රය පවතින බොහෝ විදේශීය විශ්ව විද්‍යාලවලට 2 වන වසර සඳහා ඇතුළත් විය හැකිය.අධ්‍යයන සුදුසුකම් හා සසඳන විට, උසස් පෙළ විභාගයෙන් පසු රැකියා අපේක්ෂකයින් සඳහා NVQ නිර්මාණය කර ඇත. NVQ ක්‍රමයේ විශේෂත්වය නම්, NVQ සුදුසුකමේ එක් එක් මට්ටම් සම්පූර්ණ වන විට, අපේක්ෂකයින් අධ්‍යයන සුදුසුකම් දරන්නන්ට වඩා තරමක් ඉහළ වැටුප් පරිමාණයන් සමඟ වෘත්තීය රැකියා වෙළඳපොළට ඇතුළු වීමට සුදුසුකම් ලැබීමයි.1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සහා පනතේ දෙවන අරමුණ වනුයේ, සහතික සහ වෙනත් අධ්‍යාපන විශිෂ්ඨතා ඇතුළුව තෘතීයික අධ්‍යාපන ප්‍රදානයන් සහ වෘත්තීය අධ්‍යාපන ප්‍රදානයන් ලබා දීම සඳහා ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් සංවර්ධනය කිරීමයි. ඒ අනුව, 2005 වසරේ ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) රාමුව හඳුන්වා දෙන ලදී. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව මට්ටම් 07 ක සුදුසුකම් රාමුවකි. සාමාන්‍යයෙන් සුදුසුකමක් යනු ශ්‍රම වෙළඳපොළේ විශේෂ අවස්ථාවක අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිපුණතා ඒකකයන්ගෙන් යුතු පැකේජයකි.නමුත් ප්‍රායෝගික තලයේ දීමේ දක්වා එය එතරම් සාර්ථක වූ බවක් නොපෙනෙයි. එලෙස අප රටේ මෙතෙක් නිසි අවධානයක් යොමු නොවුණ ද සාම්ප්‍රදායික ජීවන වෘත්තීන් සඳහා තාක්ෂණ එක් කොට අධ්‍යයන විෂයක් ලෙස එහි ප්‍රමිතිය වර්ධනය කිරීම ඉතා වැදගත් කාලීන මෙහෙවරකි.නෝර්වේජියාව ධීවර කර්මාන්තය සඳහා ද මැලේසියව රබර් වගාව සඳහා ද මෙලෙස තාක්ෂණය මුසු කිරීම නිසා අද වන විට ඒවායේ සමාජ ආර්ථික වශයෙන් ඉහළ තල වල වැජඹෙන ධීවර මහත්වරු සහ නෝනාවරු සේම රබර් කිරි කපන නෝනා වරු සහ මහත්වරුද සිටිති.මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික පදනමකින් යුතුව තිබූ ශ්‍රී ලංකාවෙන් කෘෂිකර්මය මුලිනුපුටා දැමීම වෙනුවට කෘෂිකර්මයේ විවිධ ක්ෂේත්‍ර සහ විවිධ වගාවන් මුල් කොට වෙනම නවීන කෘෂි තාක්ෂණය හා සම්බන්ධ වෙනම පාඨමාලා ඇරඹීම මඟින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයක් ඇති වීම වලකා තර්කානුකූලවම අපේක්ෂා කළ හැකිය.නමුත් ඒ අපේක්ෂා මල් ඵල ගැන්වීමේ හෝ කුඩු පට්ටම් කර දැමීමේ හැකියාව අදාල බලධාරීන් සතු බව ද කිව යුතුය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර