කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තෙවැනි තැන

මාලදිවයිනේ මාලේ හිදී පැවැත්වෙන 7වැනි කැරම් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (4) පැවැති කණ්ඩායම් ඉසව්වේදී තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් විය.

කණ්ඩායම් ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ‘බී’ කාණ්ඩයෙන් තරග කළ අතර එහිදී මූලික වටයේ තරගයකදී අවාසනාවන්ත අ‍යුරින් මාලදිවයින හමුවේ පරාජයට පත් විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගියවර ශූර ඉන්දියාව සමගින් අවසන් පූර්ව තරගය යෙදුණු අතර එහිදී ප්‍රභල තරගයකින් පසු ඉන්දියාව ජයග්‍රහණය වාර්තා කරනලදි.

කෙසේ වෙතත් අවසන් පූර්ව තරගයේ කේවල තරගයකදී ඉන්දීය ජාතික ශූරිය වන එල්. කීර්තනා පරාජය කිරීමට ටෂ්මිලා කාවින්දි සමත් විය. එය වසර 9කට පසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර කැරම් තරගයක කේවල තරගයකින් ඉන්දීය ක්‍රීඩිකාවක් පරාජය කළ පළමු අවස්ථාව ලෙස වාර්තා විය. අනතුරුව තෙවැනි ස්ථානය සඳහා ඇමරිකාව සමගින් පැවැති තරගයේදී ජය වාර්තා කරමින් කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීමට ශ්‍රී ලංකා ක්‍රිඩීකාවෝ සමත් විය.

‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේදී සාර්ථක දක්ෂතා දක්වමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින අතර අවසන් පූර්ව තරගය පත්‍රය මුද්‍රණය සඳහා නිකුත් කෙරෙන අවස්ථාව වන විට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කාලීන පුවත්