ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!

ගල්ගමුව පූලංචිය වැව අද්දර ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වුව ද එමඟින් පැවසෙන අරුත මුළු මිනිස් සමාජයටම අතිශය වැදගත් වන බැවින් එම ස්මාරකයට ජාතික මට්ටමේ වැදගත් කමක් ආරෝපණය විය යුතු බව ගල්ගමුව ප්‍රාදේශීය සභවේ සභාපති විජේරත්න බණ්ඩාර මහතා පැවසීය.එමෙන්ම අනුරාධපුර පුදබිම තෙක් වැටී ඇති පාදෙණිය ඇල්ල මාර්ගය හා සම්බන්ධ ගල්ගමුව මුල් කොට ගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් දාමයක් ක්‍රියාත්මක කරන බවත් එහි දී ඇත් ස්මාකය හා සම්බන්ධ පූලංචිය වැව් පරිශ්‍රයේ දෙස් විදෙස් සංචාරකයන් මුල් කොට වැඩිම සේවා සහ යටිතල පහසුකම් ප්‍රමාණයක් සැපයීමේ සැලැස්මක් පවතින බවත් සභාපති වරයා කීය.එමෙන්ම ශ්‍රී ලංකාවේ වන අලින් අතුරින් වටකුරු පුෂ්ටිමත් හැඩයේ වන අලින් වැඩිම ප්‍රමාණයක් ගල්ගමුවේ දක්නට ලැබෙන බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ගල්ගමුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආරක්ෂාකාරීව ඔවුන් නිරීක්ෂණය කිරීම පිණිස තවත් ආයතන කිහිපයක සහයෝගයෙන් එම වැව් පරිශ්‍රයේ සත්ව නිරීක්ෂණ අට්ටාල ඉදි කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩි දුරටත් කීය.

සභාපති වරයා ඒ බව සඳහන් කළේ එම අහිංසා ස්මාරකය තැනීමේ පූර්ණ වගකීම භාරගෙන කටයුතු කළ අහිංසා ශ්‍රී ලංකා සත්ව අහිංසා සහ හිමිකම් සංවිධානයේ ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ හා එහි ව්‍යාප්ති හා සන්නිවේදන අධ්‍යක්ෂ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ යන මහතුන් ඊයේ(19)ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා මුණ ගැසුණු අවස්ථාවේ දීය.මෙහි දී අදහස් පළ කළ මහාචාර්ය නාමල් විජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ මිහිතලය මත මිනිසුන්ට සේම සතුනට ද ජීවත් වීමට ඇති ස්වභාවික යුක්තිය තහවුරු කෙරෙන ඕනෑම ව්‍යාපෘතියක් සඳහා තම උපරිම සහාය ලබා දෙන බවකි.

vinivida
(වමේ සිට දකුණට)ස්මාරකයේ නිර්මාණකරු ජේ රත්නායක,තිලක් සේනාසිංහ,ස්මාරකය හා සබැඳි” ගිමන් හල “බොජුන් හලේ භාරකාර කලණ ගුණවර්ධන,ගල්ගමුව ප්‍රාස සභාපති විජයරත්න බණ්ඩාර සහ මහාචාර්ය නාමල් විජයසිංහ

 

 

 

කාලීන පුවත්