ජනතා විරෝධය මැද අගමැති ඉල්ලා අස්වීමෙන් පසු දැන් නේපාලයේ සිදුවන්නේ කුමක්ද?

vinividaදේශපාලනඥයන්ගේ දූෂණ වංචාවලට, ඔවුන් ගත කරන සුඛෝපභෝගී ජීවිත රටාවන්ට එරෙහිව නේපාලයේ තරුණ තරුණියන් දියත් කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය මේ වනවිට ආසියානු දේශපාලන කරළියේ උණුසුම්ම මතෘකාවක් වී තිබේ. පසුගිය සඳුදා ආරම්භ වූ මෙම විරෝධතා හේතුවෙන් එරට අගමැතිවරයා වූ ෂර්මා ඔලී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ද විශේෂ සිදුවීමක් විය. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම්වලින් මේ වනවිට 22 දෙනෙකු මරණයට පත්ව තිබේ. තවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

අඟහරුවාදා ඇතැම් පිරිස් නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද ගිනි තබා තිබිණි. ඊට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂයක කාර්යාලයකට ද ගිනි තබා තිබූ අතර දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු කර තිබූ බව සඳහන් විය.

ඉල්ලා අස් වූ අගමැති ෂර්මා ඔලි

නේපාල දේශපාලනඥයන්ගේ දූෂණ වංචාවලට, රටේ සාමාන්‍ය ජනතාව දුක් විඳිද්දී ඔවුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් ගත කරන සුඛෝපභෝගී ජීවිත රටාවන්ට, මේ ඔස්සේ පිළිබිඹු වන ආර්ථික විෂමතාවන්ට එරෙහිව විශේෂයෙන්ම නේපාලයේ තරුණ පරපුර තුළ දැඩි විරෝධයක් කැකෑරෙමින් තිබිණි. පාලකයන් තරුණ පරපුරේ හඬට කන් නොදී ඔවුන්ව නොසලකා හැර තිබීම වැනි කාරණා ගැන ද ඔවුන් තුළ මහත් නොඉවසිල්ලක් විය.

මෙම විරෝධතාවල පෙරමුණේ සිටි කෙනෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ආණ්ඩු ගෙදර යැවූ ජන අරගලවලින් ආභාෂය ලැබූ බව යි.

නේපාල දේශපාලනඥයන්ගේ දූෂණ වංචාවලට, රටේ සාමාන්‍ය ජනතාව දුක් විඳිද්දී ඔවුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් ගත කරන සුඛෝපභෝගී ජීවිත රටාවන්ට, මේ ඔස්සේ පිළිබිඹු වන ආර්ථික විෂමතාවන්ට එරෙහිව විශේෂයෙන්ම නේපාලයේ තරුණ පරපුර තුළ දැඩි විරෝධයක් කැකෑරෙමින් තිබිණි. පාලකයන් තරුණ පරපුරේ හඬට කන් නොදී ඔවුන්ව නොසලකා හැර තිබීම වැනි කාරණා ගැන ද ඔවුන් තුළ මහත් නොඉවසිල්ලක් විය.

මේ විරෝධය ඔවුන් බොහෝ දුරට මුදා හැරියේ සමාජ මාධ්‍ය හරහා යි. මෙසේ තිබිය දී රජය පසුගිය සඳුදා සමාජ මාධ්‍ය අඩවි 26 ක් තහනම් කිරීමට පියවර ගත්තේය. ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය අඩවි ද ඒ අතර විය. රජය පැන වූ තහනම තරුණ තරුණියන් තුළ පැසෙමින් තිබූ විරෝධය, කෝපය පුපුරුවා හරින්නක් වූයේය. පසුගිය සඳුදා දස දහස් ගණන් ජනතාව වීදි බසිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට මුල පිරුවේ මෙම පසුබිම තුළ යි.

අගනුවර වන කත්මන්ඩු ඇතුළු ප්‍රදේශ රැසක මෙම විරොධතා පැන නැගුණු අතර ඇතැම් තැන්වල වාහන ආදිය ද ගිනි ගනිමින් තිබෙනු දැකගන්නට ලැබිණි.

මිය ගිය 22 දෙනා අතරින් 19 දෙනෙකුම මරණයට පත් වූයේ සඳුදා, එනම් 8 වැනි දින යි. එදින විරෝධතාකරුවන් කත්මන්ඩු නුවර පිහිටි පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල් වීමට උත්සාහ ගත් අවස්ථාවේ ආරක්ෂක අංශ වෙඩි තබා තිබූ බවක් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

අඟහරුවාදා දිනයේ ඇති වූ ව්‍යාකූල තත්වය මධ්‍යයේ කත්මන්ඩු නුවර සහ ඒ අවට බන්ධනාගාර කිහිපයක රැඳවියන් දහස් ගණනක් පලා ගොස් ඇති බවක් ද මාධ්‍ය වාර්තාවල දැක් වේ. ඔවුන් නැවත අල්ලා ගැනීම සඳහා ආරක්‍ෂක අංශ මෙහෙයුම් දියත් කර තිබූ අතර එම මෙහෙයුම්වලදී ද පස් දෙනෙකු මරණයට පත්ව ඇති බව සඳහන් විය.

මේ අතර බදාදා දිනයේ ප‍්‍රකාශයක් කරමින් විරෝධතාවලට නායකත්වය දුන් කණ්ඩායම් පවසා තිබුණේ තම විරෝධතා ව්‍යාපාරය වෙනත් පිරිස් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන බව යි. ගිනි තැබීම් වැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට තම කණ්ඩායම් සම්බන්ධ නැති බව ඔවුන් අවධාරණය කර තිබිණි.

‘නේපාලයේ Z පරම්පරාව (Generation Z) මෙම විරෝධතා පැවැත්වූවේ පැහැදිලි දැක්මක් සහිතව යි. අප සටන් කළේ වගවීම, විනිවිදභාවය ඇති කිරීම සඳහා සහ දූෂණ වංචා අවසන් කිරීම වෙනුවෙනු යි. අපේ ව්‍යාපාරය පදනම් වූයේත්, ඉදිරියේ දී කටයුතු කරන්නේත් ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව යි’ ඔවුන් නිකුත් කළ නිවේදනයක එසේ සඳහන් විය.

ජනතාව සහ මහජන දේපළ ආරක්‍ෂා කිරීම සඳහාත්, ඇතිව තිබෙන තත්වය කළමනාකරණය කිරීම සඳහාත් තම කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කටයුතු කරන බව ද ඔවුන් ප‍්‍රකාශ කර තිබේ. බදාදා (10) සිට තමුන් කිසිදු විරෝධතාවක් සැලසුම් කර නැති බව ද ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

විවිධ පුද්ගලයන් සහ අරාජිකවාදී කණ්ඩායම් විරෝධතාවලින් ප‍්‍රයෝජන ගනිමින් කටයුතු කරමින් සිටින බවත්, පෞද්ගලික සහ පොදු දේපල විනාශ කරමින් සිටින බවත් හමුදාව ද ප‍්‍රකාශ කර තිබිණි.

අගමැතිවරයා ඉල්ලා අස්වීමත් සමග පාලන තන්ත‍්‍රය තුළ ඇති වූ රික්තය මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් විසඳී තිබුණේ නැත. එම පසුබිම තුළ රටේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා හමුදාව පෙරමුණ ගෙන සිටින ආකාරය දැකගන්නට ලැබිණි.

අගමැතිවරයා ඉල්ලා අස්වීමත් සමග පාලන තන්ත‍්‍රය තුළ ඇති වූ රික්තය මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් විසඳී තිබුණේ නැත. එම පසුබිම තුළ රටේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා හමුදාව පෙරමුණ ගෙන සිටින ආකාරය දැකගන්නට ලැබිණි.

‘ඇති වී තිබෙන තත්වයෙන් ප‍්‍රයෝජන ගනිමින් කොල්ලකෑම්වල, ගිනි තැබීම්වල නිරතව සිටින කණ්ඩායම් පාලනය කිරීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා’ යයි හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කර තිබිණි.

මේ සඳහා විරෝධතා පැවැත් වූ කණ්ඩායම්වල ද සහය පළ වී ඇත. අවශ්‍ය පරිදි ඇඳිරි නීතිය පනවමින් තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරන්නැයි ඔවුන් පොලිසියෙන් සහ හමුදාවෙන් ඉල්ලා ඇති බවක් ද මාධ්‍ය සදහන් කර තිබිණි.

මේ අතර හමුදාව විරෝධතා පැවැත්වූ කණ්ඩායම්වලට සාකච්ඡා සඳහා ඇරයුම් කර තිබේ.

දූෂිත පාර්ශ්ව සහ ප්‍රභූ දේශපාලන පෙලැන්තිය වෙනුවෙන් නොව පොදු ජනතා අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කරන, විනිවිදභාවයෙන් යුතු ස්ථාවර රජයක් බිහිවනු දැකීම තම අපේක්ෂාව බව විරෝධතා දැක් වූ කණ්ඩායම් ප්‍රකාශ කර ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර