ජනපති අනුර අතින් ගත් පිඟානෙන් බත් කෑමේ සිට රාජ්‍ය නායකයන්ගේ සරල හැසිරීම්


පසුගිය දිනවල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි. අනුර කුමාර දිසානායක ජනපතිවරයා, කේ. ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් කඩුවෙල, වැලිවිට, ජුසේ මාවතේ ඉදිකරන ලද සුවිසල් නිවසේ දානමය පින්කමට සහභාගී වූ අවස්ථාව එහි දැක්විණි. මේ ඡායාරූපයේ ජනපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ලාල් කාන්ත අමාත්‍යවරයා ද සිටිනු දක්නට ලැබිණි. මිනිසුන්ගේ මතකයේ රැඳුණේ ජනපතිවරයා එහි හැසිරුණු ආකාරයයි. ඔහු ඉතා සන්සුන්ව, ආරක්ෂක වැටකඩොලුවලින් තොරව, සාමාන්‍ය ස්වරූපයෙන් සිටිනු එහි දක්නට ලැබුණි. එසේම, ඔහු කිසිදු නිල මට්ටමකින් තොරව, තමන්ගේ බත් පිඟාන අතින් ගෙන සරලව ආහාර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් හුවමාරු වූයේ ඒ සම්බන්ධ විවිධාකාර අදහස් ද සමඟිනි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
හිටපු ජනාධිපති බැරැක් ඔබාමා

කෙසේ වෙතත්, මෙම සරල බව පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වෙද්දීම, මෙම සිදුවීමට පාදක වූ නිවස සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ද මතු විය. ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අභීත එදිරිසිංහ විසින් 1818 පොලිස් හදිසි ඇමතුම් අංශය දුරකතනය මඟින් අමතමින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු කියා සිටියේ ගවේෂණාත්මක යූටියුබ් (YouTube) නාලිකාවක් වන ‘ඩාර්ක් රූම්’ (Dark Room) මඟින් කළ හෙළිදරව්වකට අනුව, කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස, ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපතිගෙන් ලබාගත් කප්පම් මුදල්වලින් ඉදිකරන ලද්දක් බවයි.

අදාළ යූටියුබ් නාලිකාව මඟින් සිදු කළ අනාවරණයේ විශ්වසනීයත්වය පිළිබඳ විමර්ශනය කිරීම අපගේ අරමුණ නොවේ. එමෙන්ම එම දුරකතන සංවාදය පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක නිරත වීමට ද අප බලාපොරොත්තු නොවන අතර, මෙහිදී අප අවධානය යොමු කරන්නේ ජනපතිවරයා පෙන්වූ සරල හැසිරීමට සමාන හැසිරීම් ලෝක නායකයන් ද පෙන්වා ඇති බව පෙන්වා දීමට පමණි.

මෙම ඡායාරූපය ව්‍යාප්ත වූයේ ඒවායේ වූ අසාමාන්‍ය සාමාන්‍ය බව නිසාවෙනි. ඉහළම තනතුරක සිටින අයෙකු මෙතරම් සරල වීම කාටත් නැවුම් අත්දැකීමක් වුවත්, එහි යටි අරමුණ ගැන ප්‍රශ්නයක් මතු වේ. එනම් මෙය ඔහුගේ සැබෑ ස්වභාවය ද, එසේත් නැතිනම් දේශපාලන උපක්‍රමයක් ලෙස සැලසුම් කළ රංගනයක් ද යන්නයි. අප එසේ පවසනුයේ වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත් කර ගැනීම සම්බන්ධයෙන් වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු මාලිමා නායකයන් කලින් කළ කී දේ සම්බන්ධයෙන් වෙනම සමාජ කතිකාවක් පැන නැඟී ඇති පසුබිමක ය.

අනුර කුමාර ජනපතිවරයා
ජර්මනියේ හිටපු චාන්සලර්වරිය වූ ඇන්ජෙලා මර්කල්

මෙම ඡායාරූපය ව්‍යාප්ත වූයේ ඒවායේ වූ අසාමාන්‍ය සාමාන්‍ය බව නිසාවෙනි. ඉහළම තනතුරක සිටින අයෙකු මෙතරම් සරල වීම කාටත් නැවුම් අත්දැකීමක් වුවත්, එහි යටි අරමුණ ගැන ප්‍රශ්නයක් මතු වේ. එනම් මෙය ඔහුගේ සැබෑ ස්වභාවය ද, එසේත් නැතිනම් දේශපාලන උපක්‍රමයක් ලෙස සැලසුම් කළ රංගනයක් ද යන්නයි. අප එසේ පවසනුයේ වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත් කර ගැනීම සම්බන්ධයෙන් වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු මාලිමා නායකයන් කලින් කළ කී දේ සම්බන්ධයෙන් වෙනම සමාජ කතිකාවක් පැන නැඟී ඇති පසුබිමක ය.

නමුත් ලෝක නායකයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් අපි විවිධ අවස්ථාවලදී දැක ඇත්තෙමු. ලොව පුරා නායකයන් බොහෝ විට තම නිල බලයෙන් මඳකට ඉවත්ව, සරල සහ සමීප ආකාරයෙන් පෙනී සිටීමට උත්සාහ කරනු ද බොහෝ මාධ්‍ය ඔස්සේ අපි දැක ඇත්තෙමු. ස්වාභාවිකව හෝ සැලසුම් සහගතව හෝ සිදුවන මෙවැනි අවස්ථා සමාජය තුළ ප්‍රබල හැඟීමක් ඇති කිරීමට සමත් වෙයි.

මීට දිය හැකි හොඳම උදාහරණයක් වන්නේ 2010 සිට 2015 දක්වා උරුගුවේ ජනපතිවරයාව සිටි හොසේ මුජිකා ය. ඔහු ජනාධිපති ධුරය දරන කාලයේ පවා නිල නිවසේ පදිංචි නොවී කුඩා ගොවිපළක ජීවත් වීමට තීරණය කළේය. ඔහු පාවිච්චි කළේ පැරණි මෝටර් රථයකි. එසේම ඔහු සිය වැටුපෙන් වැඩි කොටසක් පරිත්‍යාග කළේය. ඔහුගේ සරල බව ප්‍රසිද්ධ උත්සවවලට පමණක් සීමා වූවක් නොව, එය ඔහුගේ දෛනික ජීවිතයේම කොටසක් විය. මෙම නොසැලෙන පැවැත්ම නිසාම ජනතාව ඔහුගේ ක්‍රියාවන් හුදු සංකේතයන් නොව සැබෑ අවංක හැසිරීම් ලෙස පිළිගත්තහ.

බොලිවියාවේ (Bolivia) හිටපු ජනාධිපතිවරයා වූ ඒවෝ මොරාලස්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද පොදු පිරිසිදු කිරීමේ වැඩසටහන්වලට සහභාගී වෙමින් සහ සාමාන්‍ය වැසියන් සමඟ සමීපව කතාබස් කරමින් එදිනෙදා ජීවිතය නිරූපණය කරන අවස්ථා නිතර දක්නට ලැබේ. විශේෂයෙන් ආගමික වතාවත් සඳහා ගංගාවන්ට බැසීමේදී ඔහු ද සෙසු සාමාන්‍ය වැසියන් සේ හැසිරෙනු නිතරම දක්නට ලැබෙන්නකි.

කැනඩාවේ වත්මන් අගමැති ජස්ටින් ටෘෘඩෝ වැනි නායකයන් ජනතාව සමඟ ඉතා සැහැල්ලුවෙන් වැඩ කටයුතු කරන අයුරුත්, නවසීලන්තයේ 40 වැනි අගමැතිනියව සිටි ජසින්ඩා ආර්ඩර්න් ඇයගේ උණුසුම් සහ සරල සන්නිවේදන විලාසය නිසා ඇගයීමට ලක්වන අයුරුත් අප දැක ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරයකු වූ බැරැක් ඔබාමා පවා එදිනෙදා කටයුතු ඔස්සේ තමන් වෙත පහසුවෙන් ළඟා විය හැකි පුද්ගලයෙකු බව පෙන්වන ප්‍රතිරූපයක් ගොඩනඟා ගත්තේය.

උරුගුවේ ජනපතිවරයාව සිටි හොසේ මුජිකා

ජර්මනියේ (Germany) හිටපු චාන්සලර්වරිය වූ ඇන්ජෙලා මර්කල් ප්‍රසිද්ධියට පත් වූයේ ඇගේ සරල ජීවන රටාව නිසාය. ලෝකයේ බලවත්ම තනතුරක් දැරූවද, ඇය සිය ධනය හෝ බලය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටියාය. ඇය නිතරම පාහේ ඉතා සරල ඇඳුම් පැළඳුම් භාවිතා කළ අතර, පෞද්ගලික ජීවිතයේදී ද අතිශය චාම් ස්වභාවයක් පවත්වා ගැනීමට වගබලා ගත්තාය. බඩු භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඇය වෙළෙඳසල්වලට ගොඩ වීම නිතර දක්නට ලැබුණු දෙයක් විය.

බොලිවියාවේ (Bolivia) හිටපු ජනාධිපතිවරයා වූ ඒවෝ මොරාලස් (Evo Morales) බොහෝ විට පෙනී සිටියේ ආදිවාසී සහ වැඩකරන ජනතාව සමඟ සමීප සබඳතාවක් ඇති නායකයෙකු ලෙසය. ඔහුගේ ඇඳුම් පැළඳුම්, භාෂා විලාසය සහ ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරය එම අනන්‍යතාව නිරූපණය වන පරිදි සකස් වී තිබුණි. මේ නිසා ඔහු රටේ බහුතර ජනතාවට වඩාත් සමීප නායකයෙකු බවට පත්විය.

නවසීලන්තයේ 40 වැනි අගමැතිනියව සිටි ජසින්ඩා ආර්ඩර්න්

නායකයෙකු යනු කවුදැයි තීරණය වන්නේ එකම එක අවස්ථාවකින් නොව, ඔහු දිගින් දිගටම පෙන්වන හැසිරීම් රටාවෙනි. සැබෑ සරල බව කිසිවෙකු බලා නොසිටින විට පවා නොවෙනස්ව පවතී. මිනිසුන් යමක් විශ්වාස කළ යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ එම ස්ථාවරභාවය දෙස බැලීමෙනි.

කැනඩාවේ වත්මන් අගමැති ජස්ටින් ටෘෘඩෝ

කෙසේ වෙතත්, නායකයෙකු යනු කවුදැයි තීරණය වන්නේ එකම එක අවස්ථාවකින් නොව, ඔහු දිගින් දිගටම පෙන්වන හැසිරීම් රටාවෙනි. සැබෑ සරල බව කිසිවෙකු බලා නොසිටින විට පවා නොවෙනස්ව පවතී. මිනිසුන් යමක් විශ්වාස කළ යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ එම ස්ථාවරභාවය දෙස බැලීමෙනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර