ජනපති අය-වැය කතාවෙන් කී “සුනඛ නිවාස” සුනඛ ගහණ පාලනයට තිරසර විසඳුමක් නොවේ

2026 ජාතික අයවැය තුළ, ශ්‍රී ලංකා රජය විසින් රටේ වඩාත්ම කතාබහට ලක්වන සහ විසඳුමක් ලබා දීමට තවමත් අපොහොසත් තත්ත්වයේ පවතින සමාජ හා මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අයාලේ යන සුනඛ ගහනයේ වර්ධනය විසඳීම අරමුණු කරගත් නව ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ. යෝජිත ක්‍රියාමාර්ග අතරට නව සුනඛ නිවාස (Dog pounds) පිහිටුවීම සහ හිමිකරුවන් නොමැති හෝ අත්හැර දැමූ සුනඛයන්ගේ සමස්ත කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වූ ප්‍රතිපාදන ඇතුළත් වේ. මෙය රාජ්‍ය මට්ටමින් ගැටලුව පිළිගැනීමක් ලෙස සාදරයෙන් පිළිගත යුතු වුවත්, සුනඛ නිවාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මෙවැනි ප්‍රවේශයකින් දිගුකාලීනව සාර්ථකත්වයක් ලබා ගත හැකිද යන්න පිළිබඳ ගැටලු පැන නගී. අනෙකුත් ජාතීන්ගේ, විශේෂයෙන්ම සුනඛයින්ගේ සුබසාධනය සම්බන්ධයෙන් වඩාත් සාධනීයව වැඩකටයුතු සිදුකරන නෙදර්ලන්තයේ අත්දැකීම්වලින් පෙනී යන්නේ පිළිතුර පෙනෙනවාට වඩා සංකීර්ණ විය හැකි බවයි.

වඳ කිරීමේ සහ එන්නත් කිරීමේ වැඩසටහන් හරහා දශක ගණනාවක් තිස්සේ මැදිහත් වුවද, සමස්ත අයාලේ යන සුනඛ ගහනයෙහි මැනිය හැකි අඩුවක් දක්නට නොලැබේ. මෙම වැඩසටහන් එකතැන පල්වීම මගින් පෙන්නුම් කරන්නේ, වර්තමාන ක්‍රමවේදය යහපත් චේතනාවෙන් යුක්ත වුවද, තිරසාර ප්‍රතිඵල ලබා දීමට අවශ්‍ය ශක්තිය, ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව එහි නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ අයාලේ යන සුනඛ අර්බුදය පසුගිය දශක කිහිපය තුළ උග්‍ර වී ඇති අතර, නිදහසේ සැරිසරන සුනඛයන්ගේ සංඛ්‍යාව මිලියන 2.5 ක් බවට ඇස්තමේන්තු කර ඇත. මෙම ගහනයට සැබෑ ලෙසම හිමිකරුවන් නැති සුනඛයන් මෙන්ම, ආහාර සඳහා ප්‍රදේශවාසීන් මත අර්ධ වශයෙන් යැපෙන ප්‍රජා සුනඛයෝ ද ඇතුළත් වෙති. මෙය සත්ත්ව සුබසාධන ගැටලුවකට අමතරව, විශේෂයෙන්ම ජලභීතිකා රෝගය සම්ප්‍රේෂණය, සුනඛ සපා කෑම් සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මහජන සෞඛ්‍යයට බරපතළ බලපෑම් ඇති කරයි. වඳ කිරීමේ සහ එන්නත් කිරීමේ වැඩසටහන් හරහා දශක ගණනාවක් තිස්සේ මැදිහත් වුවද, සමස්ත අයාලේ යන සුනඛ ගහනයෙහි මැනිය හැකි අඩුවක් දක්නට නොලැබේ. මෙම වැඩසටහන් එකතැන පල්වීම මගින් පෙන්නුම් කරන්නේ, වර්තමාන ක්‍රමවේදය යහපත් චේතනාවෙන් යුක්ත වුවද, තිරසාර ප්‍රතිඵල ලබා දීමට අවශ්‍ය ශක්තිය, ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව එහි නොමැති බවයි.

සුනඛ නිවාස යනු මෙසේ කූඩු කර තබා ගන්නා ස්ථාන නොවේ

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ශ්‍රී ලංකාව වඳ කිරීම, ජලභීතිකා මර්දනය සහ සුනඛ සපා කෑම්වලට ප්‍රතිකාර කිරීම ඇතුළු සුනඛයන් සම්බන්ධ වැඩසටහන් සඳහා වාර්ෂිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන අටසියයක් වැය කරයි. කෙසේ වෙතත්, මෙම වෙන් කරන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක් කිසි විටෙකත් සම්පූර්ණයෙන් භාවිත නොවන බව විවිධ සිවිල් සමාජ සංවිධාන පෙන්වා දී ඇත. නිදසුනක් වශයෙන්, 2024 මුදල් වර්ෂයේදී වඳ කිරීම සඳහා සැබවින්ම වැය කොට ඇත්තේ එයට වෙන් වූ ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි. ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීම අතර ඇති මෙම පරතරය, ආයතනික සම්බන්ධීකරණයේ, පශු වෛද්‍ය යටිතල පහසුකම්වල සහ මහජන සහභාගීත්වයේ ප්‍රබල දුර්වලතා පිළිබිඹු කරන, සත්ත්ව කළමනාකරණයේ දිගුකාලීන ලක්ෂණයක් වී ඇත.

එබැවින්, 2026 අයවැයෙන් ඉදිරිපත් කර ඇති පරිදි, අයාලේ යන සුනඛයන් සඳහා සුනඛ නිවාස තැනීමට යෝජනා කිරීම බලාපොරොත්තුවක් මෙන්ම සැලකිල්ලක් ද ඇති කරයි. මතුපිටින් බලන විට, සුනඛ නිවාස ක්ෂණික, දෘශ්‍යමාන විසඳුමක් ලබා දෙන බවක් පෙනෙන්නට තිබේ. එහෙත්, විශාල සුනඛ සංඛ්‍යාවක් එකම වහලක් යට තබා ගැනීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් බව ගෝලීය සාක්ෂිවලින් පෙනී යයි. සතුන් සිය ගණනකට හෝ දහස් ගණනකට පෝෂණය කිරීම, පිරිසිදු කිරීම, එන්නත් කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම සඳහා වන මූල්‍ය බර අතිමහත්ය. පාර්වෝ වයිරසය, ඩිස්ටෙම්පර් සහ මයිටාවන් වැනි රෝග අධික තදබදයක් ඇති පරිසරයන්හි වේගයෙන් ව්‍යාප්ත වීමට හැකියාව පවතින අතර, සීමා කොට තබා ගැනීමේ මානසික ආතතිය බොහෝ විට සතුන් අතර ආක්‍රමණශීලී බවට හා චර්යාත්මක පිරිහීමට තුඩු දෙයි. හදා වඩා ගැනීම් අනුපාත අඩු මට්ටමක පවතින විට, සුනඛ නිවාස ඉක්මනින් ධාරිතාව ඉක්මවා යමින්, අවධානය යොමු නොකිරීමේ හා තදබදයේ දුෂ්ට චක්‍රයක් නිර්මාණය කරයි. මෙම මාර්ගය අනුගමනය කළ බොහෝ රටවල් සඳහා, සුනඛ නිවාස අවසානයේ සැබෑ සුබ සාධන ආයතනවලට වඩා රඳවා තබා ගැනීමේ ස්ථාන බවට පත්ව ඇත.

ඊට වෙනස්ව, අයාලේ යන සුනඛ ගහනය සාර්ථකව අඩු කර ගත් රටවල් එසේ කර ඇත්තේ මහා පරිමාණයෙන් නිවාසවල රඳවා තැබීමට වඩා අයාලේ යාම වැළැක්වීමේ සහ ප්‍රජාව මත පදනම් වූ ප්‍රවේශයන් හරහා ය. නෙදර්ලන්තය බොහෝ විට ආදර්ශවත් උදාහරණයක් ලෙස සැලකිල්ලට ගත හැකි ය. අද වන විට නෙදර්ලන්ත වීදිවල අයාලේ යන සුනඛයන් දැකීම දුර්ලභ වන අතර, මෙම පරිවර්තනය මරා දැමීමෙන් හෝ කූඩු කිරීමෙන් නොව, දශක ගණනාවක් තිස්සේ නොනැවතී ගත් උත්සාහය තුළින් අත්කර ගෙන ඇත. නෙදර්ලන්ත රජය පුළුල් වඳ කිරීමේ හා එන්නත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කළ අතර, සියලුම සුනඛයන් ලියාපදිංචි කිරීම සහ ක්ෂුද්‍ර චිප (Microchipping) සවි කිරීම අනිවාර්ය කළ අතර, සුරතල් සතුන් වාණිජමය වශයෙන් බෝ කිරීම හා විකිණීම දැඩි ලෙස නියාමනය කළේ ය. මීට අමතරව, මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර සුනඛයන් හදා වඩා ගැනීම සමාජයීය වශයෙන් අපේක්ෂා කළ හැකි දෙයක් බවට පත් කළ අතර, එය සදාචාරාත්මක හා සංස්කෘතික සම්මතයක් බවට පත් කළේය. ඇතැම් පළාත් පාලන ආයතන බෝ කරන්නන්ගෙන් මිලදී ගන්නා සුනඛයන් සඳහා ඉහළ බදු හෝ ලියාපදිංචි ගාස්තු පවා හඳුන්වා දුන් අතර, මිලදී ගැනීම වෙනුවට හදා වඩා ගැනීමට මූල්‍යමය දිරිගැන්වීමක් ඇති කළේය. අවසාන වශයෙන්, නෙදර්ලන්තය පෙන්නුම් කරන්නේ, සුනඛ නිවාස ව්‍යාප්ත කිරීමට වඩා අයාලේ යාම වැළැක්වීම, නියාමනය සහ සංස්කෘතික පරිවර්තනය වඩා ඵලදායී බවයි.

මෙම දෘෂ්ටි කෝණයෙන් (perspective) බලන විට, ශ්‍රී ලංකාවේ පවතින අභියෝග වඩාත් පැහැදිලි වේ. රටේ දැනට ක්‍රියාත්මක වන අල්ලා ගැනීම – වන්ධ්‍යාකරණය – එන්නත් කිරීම – මුදා හැරීම (Catch – Neuter – Vaccinate – Release – CNVR) යන වැඩසටහන් මඟින් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත. කෙසේ වෙතත්, ජලභීතිකා රෝගය සහ සුනඛ ගහනය පාලනය කිරීම ඵලදායී වීමට නම්, හිමිකාරිත්වය සහිත සහ රහිත සියලුම සුනඛයන්ගෙන් සියයට අසූවක් (80%) පමණ අඛණ්ඩව එන්නත් කර වන්ධ්‍යාකරණයට ලක් කළ යුතු ය. මෙම අඩුපාඩුව එකි`නෙකට සම්බන්ධ ගැටලු කිහිපයකින් පැන නගී: අයවැයෙන් වෙන් කළ අරමුදල් ඵලදායී ලෙස භාවිත නොකිරීම, පුහුණු පශු වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟය, සුනඛ ගහනය පිළිබඳ විශ්වාසදායක දත්ත නොමැති වීම සහ රාජ්‍ය ආයතන හා ප්‍රාදේශීය සභා අතර දුර්වල සම්බන්ධීකරණයයි. එපමණක් නොව, පුළුල් ලෙස හදා වඩා ගැනීමේ වැඩසටහන් නොමැතිකම සහ වීදි සුනඛයන් දෙස මානුෂික මුහුණුවරකින් බැලීමට මිනිසුන් දක්වන මැළිකම අඛණ්ඩව පැවතීම මේ සඳහා අර්ථවත් ප්‍රජා සහභාගීත්වයක් වළක්වාලයි.

සුනඛ නිවාස යනු මෙසේ කූඩු කර තබා ගන්නා ස්ථාන නොවේ

විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් බලන විට, 2026 අයවැය යෝජනාව භෞතික යටිතල පහසුකම්වලින් ඔබ්බට ගියහොත් පමණක් ප්‍රගතියක් සනිටුහන් කළ හැකි ය. නව සුනඛ නිවාස තැනීම කෙටිකාලීනව දෘශ්‍යමාන අයාලේ යන සුනඛයන් පිළිබඳ මහජන අපහසුතාව සමනය කළ හැකි නමුත්, ප්‍රජනනය සහ අත්හැර දැමීම පාලනය නොකරන තාක් කල් ඒවායේ සමස්ත සංඛ්‍යාව අඩු වන්නේ නැත. ඒ වෙනුවට රජය අවධානය යොමු කළ යුත්තේ වඳ කිරීමේ සහ එන්නත් කිරීමේ ආවරණය පුළුල් කිරීම, දත්ත රැස් කිරීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම, සුරතල් සතුන් බෝ කිරීම සහ විකිණීම පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම සහ වගකිවයුතු සුරතල් සතුන් ඇති කිරීම ප්‍රවර්ධනය කරන දැනුවත් කිරීමේ ව්‍යාපාර සඳහා සහාය වීම කෙරෙහි ය. මෙම අංගයන් එකඟතාවයකින් යුත් ජාතික උපාය මාර්ගයකට ඒකාබද්ධ කිරීමෙන් පමණක් නව අරමුදල්වලින් අපේක්ෂිත බලපෑම ලබා ගත හැකි ය.

ගෝලීය අත්දැකීම්වලින් ලැබෙන පාඩම වන්නේ, අයාලේ යන සුනඛ ගැටලුව රඳවා තබා ගැනීමෙන් පමණක් විසඳිය නොහැකි බවයි. අවදානමට ලක්විය හැකි සතුන් බේරා ගැනීමට හා පුනරුත්ථාපනය කිරීමට සුනඛ නිවාසවලට ආධාරක භූමිකාවක් ඉටු කළ හැකි නමුත්, ඒවා ජාතික කළමනාකරණ උපාය මාර්ගයක කොඳු නාරටිය ලෙස යොදා ගත නොහැකි ය. නෙදර්ලන්තය සාර්ථකත්වය අත්කර ගත්තේ වැඩි සුනඛ නිවාස ඉදිකිරීම නිසා නොව, වගකීම, වැළැක්වීම සහ සතුන් කෙරෙහි ගෞරවය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැගූ නිසා ය. ශ්‍රී ලංකාවට ද එවැනි ප්‍රගතියක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නම්, එයට ද ඒ හා සමානව සමස්තයක් ලෙස ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. එහිදී අරමුදල්, ප්‍රතිපත්ති සහ මහජන හැසිරීම සමගියෙන් ක්‍රියා කළ යුතුය.

ගෝලීය අත්දැකීම්වලින් ලැබෙන පාඩම වන්නේ, අයාලේ යන සුනඛ ගැටලුව රඳවා තබා ගැනීමෙන් පමණක් විසඳිය නොහැකි බවයි. අවදානමට ලක්විය හැකි සතුන් බේරා ගැනීමට හා පුනරුත්ථාපනය කිරීමට සුනඛ නිවාසවලට ආධාරක භූමිකාවක් ඉටු කළ හැකි නමුත්, ඒවා ජාතික කළමනාකරණ උපාය මාර්ගයක කොඳු නාරටිය ලෙස යොදා ගත නොහැකි ය. නෙදර්ලන්තය සාර්ථකත්වය අත්කර ගත්තේ වැඩි සුනඛ නිවාස ඉදිකිරීම නිසා නොව, වගකීම, වැළැක්වීම සහ සතුන් කෙරෙහි ගෞරවය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැගූ නිසා ය. ශ්‍රී ලංකාවට ද එවැනි ප්‍රගතියක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නම්, එයට ද ඒ හා සමානව සමස්තයක් ලෙස ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. එහිදී අරමුදල්, ප්‍රතිපත්ති සහ මහජන හැසිරීම සමගියෙන් ක්‍රියා කළ යුතුය.

සත්ත්ව හිමිකම් ක්‍රියාකාරිනියක වන පංචාලි පනාපිටිය ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, ඇය පවසන්නේ මෙවැන්නක් සුදුසු වන්නේ රෝගී වූ සුනඛයන්ට පමණක් බව ය. මෙවැනි සුනඛ වාසස්ථාන ඇතිකිරීම පහසු නොවන බව පවසන ඇය, යම් ප්‍රදේශයක එවැන්නක් පිහිටුවීමේ දී අසල්වැසියන්ගේ විරෝධයක් ඇතිවුවහොත් එවැන්නක් කිරීම නීතිවිරෝධී බව සිහිපත් කර දෙයි. අනෙක එවැන්නක් හුදෙක් ගොඩනැගිල්ලක් ලෙස පමණක් පිහිටුවා, සුනඛයන්ට ආහාර පාන ලබාදීමට කිහිප දෙනෙකු පත්කිරීම පමණක් නොසෑහෙන අතර ඒ සඳහා පළපුරුදු කාර්ය මණ්ඩලයක් සේම, ඕනෑම අවස්ථාවකදී කැඳවිය හැකි පශු වෛද්‍යවරුන් ද සම්බන්ධ කර ගත යුතු ය. එමෙන්ම, සුනඛයින් යනු සිය සීමාවන් හෙවත් අඩවි සලකුණු කරගැනීමට පුරුදුව සිටින සතුන් වර්ගයක් වන බැවින්, ඔවුන්ට ඒ සඳහා ඉඩකඩ සැලසීම මෙවැනි ස්ථානයක පැවතිය යුතු අතර ඔවුන්ව කූඩු කර හෝ ගැටගසා තබා මෙවැනි ස්ථානයක් පවත්වාගෙන යන්නට අදහස් කරන්නේ නම් එය ඉතා අපරාධයක් බව ඇය පවසා සිටියි. සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධව වැඩකටයුතු කරන අනෙකුත් ක්‍රියාකාරිකයින් ද පවසන සේම ඇගේ අදහස ද වන්නේ සුනඛයින් වන්ධ්‍යකරණය කිරීමේ වැඩපිළිවෙලක් සමග නෙදර්ලන්තයේ මෙන් අයාලේ යන සතුන් නිවෙස්වල හදා වඩා ගැනීමේ වැඩපිළිවෙලකින් මිස මෙය සාක්ෂාත් කරගැනීම දුෂ්කර බවය.

සත්ත්ව ගහනය මානුෂිකව කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍යවරුන්ගේ සංගමය (Association of Veterinarians for Humane Management of Animal Population – AVHMAP) ද මෙම කරුණ සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබේ. එම සංගමය පෙන්වා දෙන්නේ සත්ත්ව ගහන කළමනාකරණය පිළිබඳව ඇතැම් විද්වතුන් විසින් රජය නොමඟ යවන ආකාරයේ උපදෙස් ලබා දී ඇති බවයි. සුනඛයන් සඳහා නිවාස (අනාථාගාර) පිහිටුවීමේ යෝජනාව අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවට සංගමය මත පළ කරයි. භූතානය වැනි රටවල් වීදි සුනඛ සහ ජලභීතිකා ප්‍රශ්න සාර්ථකව විසඳා ගත්තේ දිගින් දිගටම සාර්ථකව සිදු කරන ලද ශල්‍යකර්ම (වන්ධ්‍යකරණය/Sterilization/Castration) මඟින් බව ඔවුහු පෙන්වා දෙති. රජයේ ආයතන, සත්ත්ව සුබසාධන සංවිධාන සහ සතුන්ට ආදරය කරන්නන් ඒකරාශී වී වසර දෙකක් තුළ ශල්‍යකර්ම 500,000 ක් වැනි ඉලක්කයක් සපුරා ගත්තේ නම්, ගැටලුව බොහෝ දුරට අවසන් කළ හැකිව තිබූ බව ද එම සංගමය අවධාරණය කරයි.

සුනඛ නිවාස යනු මෙසේ කූඩු කර තබා ගන්නා ස්ථාන නොවේ

2026 වසරේ අයවැයෙන් සත්ත්ව සුබසාධනයට නැවත අවධානය යොමු කිරීම ඉතා සාධනීය පියවරක් වුවත්, මෙම උත්සාහයන් සැබවින්ම සාර්ථක වන්නේ ක්‍රියාත්මක කරන ආකාරය අනුව ය. සුනඛ ගහනය පාලනය කිරීම සඳහා සුනඛ නිවාස ඉදි කිරීමට මුදල් යෙදවීම වෙනුවට, ගහනය ඇතිවීම වළක්වාලීම සහ ඒ සඳහා වගකීම දැරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එසේ නොවුණහොත්, ශ්‍රී ලංකාවට නැවත නැවතත් මුහුණ දීමට සිදුවන්නේ, අධික ලෙස පිරී ඉතිරී ගිය සුනඛ නිවාස, අරමුදල් නාස්ති වීම සහ සුනඛ ගහනයේ ප්‍රමාණයෙහි වෙනසක් සිදු නොවීම වැනි ගැටලුවලට ය. මානුෂීය හා තිරසාර සුනඛ කළමනාකරණය යනු ඉදිකරන නිවාස ගණන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය සමාජයක් ලෙස අප, සුනඛයන්ගේ ප්‍රජනනය, සුනඛ හිමිකාරිත්වය සහ සතුන් කෙරෙහි දක්වන දයාව යන කරුණු කොතරම් හොඳින් කළමනාකරණය කරන්නේද යන්න පිළිබඳ ප්‍රශ්නයකි. සුනඛ ගහන පාලනය පිළිබඳ ප්‍රතිපත්තියේ මූලික පදනම බවට වැළැක්වීම යන ක්‍රියාවලිය පත් වූ විට පමණක්, ශ්‍රී ලංකාවේ සුනඛයන්ට සහ සමස්ත ජනතාවටම මෙම අයවැය පොරොන්දුව තුළින් කල් පවතින වෙනසක් ලබා දීමට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, විශේෂඥ උපදෙස් මත නොපිහිටා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම එතරම් හිතකර තත්ත්වයක් නොවේ. මෙයට පෙර කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සිදු කළ සත්ත්ව සංගණනය බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවාට සැක නැත. එහිදී රිළවුන්, වඳුරන් ආදී සතුන් අල්ලා මහනුවර ප්‍රදේශයේ ජලාශයක් මධ්‍යයේ වූ දූපතක රඳවා ඔවුන්ට කෑම බීම සැපයීමේ ව්‍යාපෘතියක් පිළිබඳව නගන ලද හඬ මතකයේ තිබෙනවා විය යුතුය. එවැන්නක් ක්‍රියාත්මක නොවූවා සේම එය හුදෙක් විහිළුවක් බවට පමණක් පත් විය. කෙසේ නමුත්, සුනඛයන් සම්බන්ධයෙන් ද නිවැරදි ක්‍රමවේදවලින් තොරව සිදුකරන වැඩසටහන් අසාර්ථක වන්නේ එය විහිළුවක් බවට පත්වීමෙන් පමණක් නොවේ. මෙවැන්නක් අසාර්ථක වුවහොත් එහිදී සුනඛ ජීවිත ද විනාශ වී යා හැකි බැවින්, වඩාත් විධිමත් අධ්‍යයනවලින් තොර ව්‍යාපෘති අවසන් වන්නේ විනාශකාරී ප්‍රතිඵල අත්කර දී බව ද සිහියේ තබා ගත යුතුය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය