ඉකුත් 2012 වසරේ ජන හා නිවාස සංගණනයට සාපේක්ෂව 2024 වසරේ පැවැති සංගණනයේදී වයස අවුරුදු 65 හා ඊට වැඩි ජනගහනය සියයට 4.7 කින් එනම් පුද්ගලයන් ලක්ෂ 11 කට වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2012 වසරේ සංගණනයට අනුව වයස අවුරුදු 65 හා ඊට වැඩි ජනගහනය 1,602,663 ක් වූ අතර, 2024 වසරේ සංගණනයට අනුව එම සංඛ්‍යාව 2,737,814 ක් දක්වා 1,135,151 කින් ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2024) පවත්වන ලද ජනගහන හා නිවාස සංගණනයේ මූලික තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා කොළඹදී ඊයේ (30 වැනිදා) පැවැති වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
වයස අවුරුදු 15 ට අඩු ජනගහනය 2012-2024 සංගණන කාලය තුළදී සියයට 25.2 සිට සියයට 20.7 ක් දක්වා සියයට 4.5 කින් අඩුවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
2012 වසරේ සංගණනයට අනුව වයස අවුරුදු 0 ත් 14 ත් අතර ජනගහනය 5,131,666 ක් වූ අතර, 2024 වසරේ සංගණනයට අනුව එම සංඛ්‍යාව 4,506,839 ක් දක්වා 624,827 කින් අඩුවී ඇත.
2024 වසරේදී වයස අවුරුදු 15 ත් 64 ත් අතර වයස් කාණ්ඩයේ ජනගහනය රටේ සමස්ථ ජනගහනයෙන් සියයට 66.7 (13,625,110) ක් වූ අතර, 2012 වසරේදී එම අගය සියයට 66.9 ක් (14,537,147) විය.
වයස අවුරුදු 15 ට අඩු සහ අවුරුදු 65 ට වැඩි හා ඊට ඉහළ ජනගහනයේ එකතුව යැපෙන්නන් ලෙස සලකන අතර, 2012 වසරේ පැවැති යැපුම් අනුපාතය සියයට 49.4 ක් විය. 2024 වසරේදී යැපුම් අනුපාතය සියයට 49.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව වැඩිම යැපුම් අනුපාතය මාතර දිස්ත්‍රික්කයෙන් (සියයට 55) වාර්තා වන අතර අඩුම යැපුම් අනුපාතය කොළඹ දිස්ත්‍රික්කයෙන් (සියයට 43) වාර්තා වේ.