ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන, සංරක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කළ ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කර කෙරුණි.
ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරීම සැමරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.හෙක්ටයාර 602ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින ‘ජාතික නාමල් උයන’, ශ්‍රී ලංකාවේ වැදගත්ම හා ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයක්.
නාමල් උයනෙහි පිහිටි රෝස තිරුවාණා කඳුවැටිය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් භූ‑ස්වභාවික උරුමයක් වෙයි.
රෝස තිරුවාණා කඳුවැටියට අනන්‍ය වූ ඛනිජ හා විද්‍යාත්මක වටිනාකමින් යුතු ලක්ෂණ, විශේෂිත වියළි කලාපීය වනාන්තර පරිසර පද්ධතිය සහ පුරාණ බෞද්ධ ආරාමවල භූ දර්ශන යන සියලු සාධක දිගුකාලීන සංස්කෘතික සම්බන්ධතා සමග සම්බන්ධ වී භූවිද්‍යාත්මක, පාරිසරික සහ සංස්කෘතික උරුම වටිනාකම්වල දුර්ලභ එකතුවක් ලෙස සලකමින් ජාතික නාමල් උයන සලකයි.
රෝස තිරුවානා කන්ද කඳු වැටි 7කින් සැදුම්ලන අතර එය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය ද වෙයි.ලෝකයේ විශාලතම “එක් ටැම් සෙල්ලිපිය” ද මෙම නාමල් උයනේදී දැකිය හැකියි.එදා මෙදා තුර ජාතික නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරනු ලබන කැපවීමටද ජනාධිපතිවරයා කෘතවේදීව අගය කරනලදි.
ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරයද, ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්රහයද’ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.