ජීවත් වන්නවුන්ටත් වඩා මළවුන් සොඳුරු කිරීමේ කලාව

ජීවිතයේ දකින්නට ප්‍රාර්ථනා නොකරන දේවල් අතරින් මළ සිරුර ප්‍රධාන තැනක් ගනී. සිද්ධාර්ථ කුමාරයාට පවා දකින්නට ඉඩ නොහරින්නැයි පඬිවරු විසින් සුද්ධෝදන රජුට පවසා තිබුණු සතර පෙර නිමිති අතර ද මළ සිරුරක් තිබේ. අතීතයේ සිටම අපට ඒ පිළිබඳ පැවති ආකල්පය එය විය. නමුත් වර්තමානය වන විට මේ ආකල්පය වෙනස් කර ගත යුතු තත්ත්වයක් උදා වී තිබෙන බව සඳහන් කළ යුතු ය. අද කාලයේ අතමිට යහමින් මුදල් හදල් ඇත්නම් යම්කිසි පුද්ගලයකු මිය ගිය පසු ඒ මළ සිරුර ඒ පුද්ගලයා ජීවත් ව සිටිය දී දුටු පෙනුමටත් වඩා හොඳින් සිටින අයුරින් ඒ සිරුර හැඩ ගැස්විය හැකි ශිල්පීය ක්‍රම ලොවට බිහි වී තිබේ. බොහෝ විට දීර්ඝ කාලයක් රෝගී තත්ත්වයක සිට මරණයට පත් වූ ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් මේ ආකාරයට හැඩ ගන්වනු දැකිය හැකිය. එවැනි පුද්ගලයකු මිය ගිය බව සැල වූ පසු බොහෝ දෙනෙකු පවසන්නේ, “මාස ගාණක් ලෙඩ ඇඳේනේ හිටියේ. මිනිය නම් අඳුනගන්නවත් බැරුව ඇති. හරිහැටි කෑමකවත් වැටුණේ නෑ නේ. දර ඉපලක් වගේ ඇති.” වැනි දේවල්ය. නමුත් අවමංගල්‍යයට සහභාගී වූ පසු සියලු දෙනා පවසන්නේ, “ජීවත්වෙලා හිටිය කාලේ වගේම ලස්සනට මිනිය තිබුණ නේ. මට හිතා ගන්නවත් බෑ.” වැනි කතාය.

මේ ඡායාරූප දෙස බලන්න. මේ සියල්ල මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ බව නම් බැලූ බැල්මට ම ඔබට තේරුම් ගත හැකිය. නමුත් වෙනස වන්නේ මේ මෘත දේහ හැඩ ගන්වා ඇති අන්දමය. සාමාන්‍යයෙන් අප රටේ නම් බොහෝ විට යම් කිසි පුද්ගලයකු මිය ගිය විට සාමාන්‍ය පරිදි එම්බාම් කොට තබනවා මිසක මෙසේ හැඩ ගන්වනු දක්නට ලැබෙන්නේ නැත. නමුත් විදෙස් රටවල නම් මෘත දේහ මේ ආකාරයට හැඩ ගන්වා තිබෙනු දක්නට හැකිය. මළ සිරුරු මේ ආකාරයට හැඩ ගැස්වීම යනු ගමේ ගොඩේ මල් ශාලාවල සිටින සේවකයන් සිදු කරන ‘එම්බාම්’ කිරීම නොවේ. එය පසුපස ඇත්තේ වෘත්තීමය තත්ත්වයකි. එය හඳුන්වනු ලබන්නේ ‘මෘත ශරීර රූපලාවණ්‍ය ශිල්පය’ (Mortuary Cosmetology) නමින් වන අතර මේ වෘත්තියේ යෙදී සිටින්නවුන් ‘මෘත ශරීර රූපලාවණ්‍ය ශිල්පීන්’ (Mortuary Cosmetologists) නමින් හඳුන්වනු ලබයි.

අප රටේ ඕනෑම අවමංගල්‍ය ශාලාවක්, පොදුවේ හඳුන්වන නමින් සඳහන් කළ හොත් ‘මල් ශාලාවක’ සඳහන් කොට ඇත්තේ ‘අවමංගල්‍ය අධ්‍යක්ෂවරු’ නමිනි. මල් ශාලාවක් පවත්වාගෙන යන ඕනෑම අයකු අප රටේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකු විය හැකි නමුත් ලෝකයේ දියුණු රටවල එසේ නාම පුවරු ප්‍රදර්ශනය කළ නොහැක. දියුණු රටවල් අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකු වන්නට නම් ඒ තැනැත්තා අනිවාර්යෙන්ම මූලික අධ්‍යාපන සුදුසුකම්වලින් පසුව මේ සම්බන්ධ උපාධියක් හැදෑරිය යුතුය. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සැලකිල්ලට ගතහොත් ‘ඇමරිකානු අවමංගල්‍ය සේවා අධ්‍යාපන මණ්ඩලයේ’ ( American Board of Funeral Service Education – ABFSE) අනුමත පාඨමාලාවක් හැදෑරිය යුතුය. මේ සම්බන්ධව හැදෑරිය හැකි පාඨමාලා 60 කටත් අධික සංඛ්‍යාවක් තිබේ. ඔවුනට වෘත්තීමය ආචාරධර්ම, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ව්‍යාධි වේදය (pathology), එම්බාම් ශිල්පය, මෘත ශරීර නීතිය, ශරීර ව්‍යවච්ඡේද විද්‍යාව ( anatomy), ෆෙඩරල් නීති, වේදනා බර අවස්ථාවන්හිදී සිදු කළ යුතු උපදේශන, අවමංගල්‍ය සේවා මනෝවිද්‍යාව වැනි විෂයයන් හැදෑරිය යුතුය. යුරෝපීය රටවල ද මේ හා සමාන පාඨමාලා හැදෑරිය යුතු වේ. අපේ රටේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකු හා විදෙස් රටක අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකු අතර වෙනස දැන් ඔබට හොඳින් වැටහෙන්නට ඇත.

මෘත ශරීර රූපලාවණ්‍ය ශිල්පියකු පිළිබඳ සැලකිල්ලට ගතහොත්, එවැන්නකු බවට පත් වන්නට නම් මුලින් ම මේ සම්බන්ධව ඇති ඩිප්ලෝමාවක් හදාරා සාමාන්‍ය උපාධියක් සහ අදාළ බලපත්‍ර ලබාගත යුතු වේ. රූපලාවණ්‍ය විද්‍යාව වෙනම හැදෑරිය යුතුය. එමෙන්ම සැලකිය යුතු කාලයක පුහුණු වීමක් ද අවශ්‍ය කෙරේ. මේ ශිල්පීන් ‘මෘත දේහ රූපලාවණ්‍ය ශිල්පීන්’ (Mortuary Beauticians) යන නමින් ද හඳුන්වනු ලබයි. විදෙස් රටවල නම් මොවුහු යම් ආයතනයකට සම්බන්ධ වී රැකියාවක් ලෙස මේ වෘත්තිය සිදු කිරීම හෝ පෞද්ගලික මට්ටමින් මේ සේවය සිදු කොට අදාළ ගාස්තුව අයකිරීම හෝ සිදු වේ. ජීවමාන පුද්ගලයකු හැඩ ගන්වනවාට වඩා මේ සඳහා ඉතා වෙහෙස විය යුතු බැවින් මේ කාර්යය සඳහා අය කරනු ලබන ගාස්තුව ද ඉහළය. මේ නිසාම ඇමරිකාවේ මෙවැනි ශිල්පියකුගේ වාර්ෂික වැටුප පමණක් ඇමරිකානු ඩොලර් 39,000කට වඩා ඉහළය. මෙය අප රටේ මුදලින් රුපියල් කෝටිය ද ඉක්මවයි. ඇමරිකා එක්සත් ජනපදයේ මේ පාඨමාලා හැදෑරීම සඳහා බොහෝ විශ්වවිද්‍යාලවලින් ඉඩකඩ සලසා තිබේ. ඒවා අතර මිනසෝටා, වේන් ආදී විශ්වවිද්‍යාල ප්‍රධාන තැනක් ගනී.

අප රටේ මේ ශිල්පය සඳහා වෘත්තිය වශයෙන් පාඨමාලා තවමත් දකින්නට නොලැබුණත්, මෙය වෘත්තිය මට්ටමින් සිදු කරන පුද්ගලයෝ කිහිප දෙනෙක් සිටින බව දැනගන්නට තිබේ. නමුත් ඔවුන් ප්‍රසිද්ධියට පත්වීමේ කැමැත්තක් නොමැති බව පෙනේ. ඔවුන් කවුරුන් ද යන්න නම් වශයෙන් සඳහන් කළ නොහැක්කේ එබැවිනි.

යම් පුද්ගලයකු මිය ගිය පසු ශරීරය ඉතා ඉක්මනින් නරක් වන්නට පටන් ගන්නා නිසා එවැනි සිරුරක් හැඩ ගැන්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුය. මූලික එම්බාම් ක්‍රමවලින් පසුව හැඩ ගැන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබයි. මිය ගිය පුද්ගලයාගේ ඡායාරූප කිහිපයක් ඇසුරින් ඒ තැනැත්තාගේ ජීවමාන ස්වරූපය ගොඩනැගීම මෙවැනි ශිල්පීන් අතින් මනාව සිදුවේ. මේ සඳහා විශේෂ රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ඉටි, ප්ලාස්ටර් ඔෆ් පැරිස් ආදිය භාවිතයට ගනු ලබයි. මෘත ශරීරවල පෙනුම දුර්වර්ණ වීම වැළැක්වීම සඳහා විවිධ විද්‍යාත්මක ප්‍රයෝග භාවිත කෙරේ. මේ සඳහා භාවිත කරන එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ සිරුර පුරා ඉටි ආලේප කිරීමය. මේවා සමේ පැහැයට ගැළපෙන පරිදි ඇති අතර අධික මිලෙන් ද යුක්තය. මේවා යොදා සිරුර එම්බාම් කළ පසු මෘත ශරීරයේ පෙනුම වෙනස් නොවී වැඩි දිනක් තබාගන්නට හැකිවේ. මිය ගිය තැනැත්තා ජීවත්ව සිටි කාලයේ පෙනුම, ඇතැම් අවස්ථාවල දී එයටත් වඩා සුන්දර පෙනුමක් ඇති කරන්නට ද හැකිය. මේ සඳහා අධික මුදලක් ද වැය වේ. මෙහි ඇතැම් කාන්තාවන් පෙනෙන්නේ මිය ගොස් ඇති ආකාරයකට වඩා නින්ද ගොස් ඇති ආකාරයට ය. අවශ්‍ය නම් නිදා සිටින ඉරියව්ව හැරුණු විට යමකට හේත්තු වී සිටින ආකාරය, දෑත් බැඳ ගෙන සිටින ආකාරය වැනි වෙනත් ඉරියව්වලින් ද මළ සිරුර සකස් කර ගැනීමේ හැකියාව පවතී. මෙහි ඇති ඡායාරූපවලින් ඔබට ඒ බව පසක් වනු ඇත.

ජීවිතයේ අනිත්‍ය බව නිතර දකින අප වැනි සමාජයක මෙවැනි වෘත්තියකට ඉඩක් ඇතිදැයි යමෙකුට සිතෙන්නට පුළුවන. මිය යාමෙන් පසු දිනකින් හෝ දෙකකින් භූමදාන කරන හෝ ආදාහනය කරන මළ සිරුරක් වෙනුවෙන් මේ සා කාර්යයන් කරන්නට මිනිසුන් පෙලඹී ඇත්තේ මන්දැයි යමෙකුට ගැටලුවක් ඇති වන්නට ද පුළුවන. කෙසේ නමුත්, අප රටේ පවා කෙතරම් සරල ලෙස අවමංගල්‍ය කටයුත්තක් සිදු කළ ද මළ සිරුර හැකිතාක් හොඳ පෙනුමකින් සකස් කර දෙන්නට මල් ශාලා කරුවෝ කටයුතු කරති. තම ඥාතියා මරණයට පත් වීමෙන් පසු ගතවන දින කීපය තුළ වුව ජීවමාන පෙනුමකින් තබාගන්නට බොහෝ දෙනෙක් තුළ කැමැත්තක් තිබේ. මෘත ශරීර රූපලාවණ්‍ය ශිල්පීන් සිදු කරන්නේ මෙය වඩාත් වෘත්තීය මට්ටමකින් සිදුකිරීමය. අනෙක මේ සම්බන්ධව පාඨමාලා ඇති වී, මෙය වෘත්තිය මට්ටමකින් සිදු කරන තත්ත්වයකට පත්වුවහොත්, අනිත්‍ය මෙනෙහි කිරීම කෙසේ වෙතත් බොහෝ දෙනෙක් සිය මිය ගිය ඥාතියා වෙනුවෙන් ඉටු කරන අවසන් ගෞරවය උදෙසා මේ කාර්යය ද ඇතුළත කර නොගන්නේ යැයි සිතිය නොහැකිය. මිනිස් ස්වභාවය වන්නේ එයයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

ඉරා අදුරුපට