ට්‍රම්ප් ධවල මන්දිරයේ කෝටි 6,000 ක බාල් නැටුම් ශාලාවක් ඉදි කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරයට අලුත් අංගයක් එක් කිරීමට ලෑස්තිවන බව වාර්තා වෙනවා. ඒ සුපිරි මට්ටමේ බාල් නැටුම් සහ උත්සව ශාලාවක් (Ballroom). මේ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදලත් එසේ මෙසේ ගණනක් නොවෙයි. මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම නැටුම් සහ උත්සව ශාලාව සඳහා වැය කිරීමට නියමිත මුදල ඇ. ඩොලර් මිලියන 200 ක්. එය ලංකා රුපියල් කෝටි 6,000 කට ආසන්න යි.

පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී ධවල මන්දිරයේ මාධ්‍ය ප‍්‍රකාශිකා කැරොලින් ලීවිට් මේ ගැන විස්තරයක් කර තිබුණා. මෙහි ඉදි කිරීම් කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ. ඉතා ඉහළ ප‍්‍රමිතියෙන් යුතුව, අලංකාර ලෙස මෙය ඉදි කිරීමට නියමිත යි. සිවිලිමේ සිට එල්ලෙන රන් පැහැති චැන්ඩලියර් වර්ගයේ විශාල විදුලි ලාම්පුවලින් ද, ගම්භීර ආකාරයේ දැවැන්ත කුළුණුවලින් සහ සිවිලිමකින් ද, අලංකාර ලෙස නිමැවෙන ගෙබිමකින් ද මෙය සමන්විත වනු ඇති.

ධවල මන්දිරයේ මෙවැනි සුපිරි උත්සව ශාලාවක් ඉදි කිරීමේ අදහස මුලින්ම ට‍්‍රම්ප් ගේ සිතේ පිලිසිඳගෙන තිබුණේ ජනාධිපති වීමටත් කලින් බවයි සඳහන් වන්නේ. එම අදහස මුල් වරට ඔහු තුළ ඇතිව තිබුණේ මෙයට වසර 15 කට පෙර 2010 වසරේ යි. ඒ, එකල ධවල මන්දිරයේ පැවැති රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් දැකීමෙන් පසුව යි. ඒ වනවිට ජනාධිපති ධුරයේ කටයුතු කළේ බැරක් ඔබාමා යි.

එකල ඉන්දියාවේ අගමැති ධුරය දැරූ මන්මෝහන් සිං 2010 වසරේ ඇමරිකාවේ රාජ්‍ය චාරිකාවක නිරත වී තිබූ අතර ඔහු වෙනුවෙන් ඔබාමා රාති‍්‍ර භෝජන සංග‍්‍රයක් පවත්වා තිබුණා. නමුත් එය පවත්වා තිබුණේ ධවල මන්දිරයේ පිටත මිදුලේ ඉදි කරන ලද කූඩාරමක බවයි පැවසෙන්නේ.

මෙම කූඩාරම ඉදි කර තිබූ කුඩාරම් රෙදි පරණ පෙනුමක් ගත් බවක් ද ට‍්‍රම්ප් වරක් පවසා තිබුණා.

ධවල මන්දිරය

මේ සිද්ධියෙන් පසු ට‍්‍රම්ප් ධවල මන්දිරයේ උසස් මට්ටමේ උත්සව ශාලාවක් ඉදි කිරීම සඳහා උදව් කිරීමට ඉදිරිපත්ව තිබූ බව සඳහන්. ඔහු මේ සඳහා ඔහුගේ මුදලින් ඇ. ඩොලර් මිලියන 100 ක මුදලක් ලබා දීමටත් කැමැත්ත පළ කර තිබුණා ලූ. නමුත් ජනාධිපති ඔබාමා ට‍්‍රම්ප් ගේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කර තිබුණා. ට‍්‍රම්ප් සහ ඔබාමා දේශපාලනයේ දී විරුද්ධ කඳවුරු දෙකකට අයත් වන බව රහසක් නොවේ. ඔබාමා ඩිමොක‍්‍රටික් පක්‍ෂයට අයත් වන අතර ට‍්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයට යි. ඔබාමා ට‍්‍රම්ප් ගේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීමට මේ කාරණයත් හේතුවක් වන්නට ඇති.

මේ වනවිට ධවල මන්දිරයේ උත්සව බොහොමයක් පැවැත්වෙන්නේ එහි නැගෙනහිර ගොඩනැගිල්ලේ ඇති ශාලාවක යි. එය හැඳින්වෙන්නේ East Room යන නමින්. මෙහි අසුන්ගත හැක්කේ 200 කට ආසන්න පිරිසකට පමණයි. නමුත් ට‍්‍රම්ප් ඉදි කිරීමට නියමිත අලූත් ශාලාවේ 650 කට පමණ ඉඩකඩ තිබෙනු ඇති බව පැවසෙනවා. එහි වර්ග ප‍්‍රමාණය වර්ග අඩි 90,000 ක් (වර්ග මීටර 8,300 ක්) පමණ වනු ඇති.

ට‍්‍රම්ප් ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2029 වසරේ ජනවාරි මාසයේ යි. මාධ්‍ය ප‍්‍රකාශිකා ලීවිට් පවසන්නේ ඊට බොහෝ කාලයකට කලින් මෙහි ඉදි කිරීම් කටයුතු අවසන් කෙරෙනු ඇති බව යි.

දැනට භාවිත වන East Room ශාලාව

විදේශීය නායකයන් පැමිණි විට අවලස්සන කූඩාරම් ඉදි කිරීමට සිදුවීමත් මේ ශාලාව නිසා වැලකෙනු ඇති බව මාධ්‍ය ප‍්‍රකාශිකාව සඳහන් කර තිබුණා.

අලුත් බාල් ශාලාව ඉදි කිරීමට සැලසුම් කර ඇත්තේ නැගෙනහිර ගොඩනැගිල්ල ආසන්නයේ යි. ජනාධිපතිවරුන්ගේ බිරියන්ගේ නිල කාර්යාල පිහිටා ඇත්තේ මෙම කොටසේ යි. මෙම නැගෙනහිර ගොඩනැගිල්ල ද අවශ්‍ය පරිදි නවීකරණය කිරීමට නියමිත බවත් සඳහන්.

ධවල මන්දිරයේ ඉතිහාසය පුරා විවිධ ජනාධිපතිවරුන් එහි විවිධ වෙනස්කම් සිදු කර තිබෙනවා. වොෂින්ටන් නුවර පිහිටා ඇති ධවල මන්දිරය මුලින්ම ඉදි කරන ලද්දේ එක්දහස් හත්සිය ගණන්වලයි. එහි ඉදි කිරීම් ආරම්භ වී තිබුණේ 1792 වසරේ බව සඳහන් වෙනවා.

වහලුන්ගේ ශ‍්‍රමය යොදා ගනිමින් තමයි මෙහි බොහෝ ඉදි කිරීම් කර තිබුණේ. මෙම වහලුන් සැපයූ වහල් හිමියන්ට විශාල වශයෙන් මුදල් ගෙවා තිබුණා.

ධවල මන්දිරයේ පදිංචියට ආ පළමු ජනාධිපතිවරයා බවට පත් වීමේ අවස්ථාව හිමි කරගත්තේ ජනාධිපති ජෝන් ඇඩම්ස්. ඔහු ඇමරිකාවේ දෙවැනි ජනාධිපතිවරයා වන අතර ජනාධිපති ධුරයේ කටයුතු කළේ 1797 සිට 1801 දක්වා යි. 1800 වසරේ ඇඩම්ස් ධවල මන්දිරයේ පදිංචියට පැමිණෙන විටත් එහි ඉදි කිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන්ව තිබී නැහැ.

නව බාල් ශාලාවේ රූප සටහනක්

1814 වසරේ ධවල මන්දිරය විශාල ගින්නකට හසු වී කොටසක් සම්පූර්ණයෙන් විනාශ වුණා. මෙම සිද්ධිය වුණේ ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය අතර ඇති වූ යුද්ධයක් අතරතුර යි. බ්‍රිතාන්‍ය හමුදා ධවල මන්දිරයට ගිනි තබා තිබුණා. නැවත පිලිසකර කිරීමෙන් පසු ධවල මන්දිරය යළි ප‍්‍රයෝජනයට ගැනුණේ 1817 වසරේ සිට යි.

මහල් හයකින් සමන්විත ධවල මන්දිරයේ ඇති සමස්ත කාමර සංඛ්‍යාව 132 ක්. අමුත්තන් වෙනුවෙන් වෙන් වූ කාමර 16 ක් එහි ඇති බවත් සඳහන්. නාන කාමර 35 ක් සහ මුළුතැන් ගෙවල් 3 ක් මෙහි තිබෙන බවත් පැවසෙනවා.

ජනාධිපතිවරයා සහ පවුලේ අය වාසය කරන නිවස පිහිටා ඇත්තේ දෙවැනි මහලේ යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර