මේ දිනවල බහුලව අසන්නට ලැබෙන රෝග අතර චිකුන්ගුන්යා ද විශේෂ ය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙය සුලබ ව පැතිරෙමින් පවතී. ඕනෑම පුද්ගලයකුට, ඕනෑම මොහොතක වැළඳිය හැකි රෝගයක් නිසා චිකුන්ගුන්යා පිළිබඳව කලින් දැනගෙන සිටීම වඩාත් නුවණට හුරුවේ.
සෙම්ප්‍රතිශ්‍යාවක්, සෙමක්, උගුරේ අමාරුවක් වැනි කිසිදු මූලික ලක්ෂණයක් නොමැතිව මෙය උණ රෝගයක් ලෙස හටගත හැකිය. මෙහි ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ නම් ඇඟපත සහ සියලුම හන්දිවල දැඩි වේදනාවක් හට ගැනීම, හන්දි ඉදිමීම ආදිය යි. මෙම රෝගයේදී හට ගන්නා උණ දින දෙක තුනකින් සුව විය හැකි වුවත් මෙම හන්දිපත් වේදනාව සහ ඇඟපත වේදනාව මාස දෙකේ සිට හය දක්වා කාලයක් වුවද පැවතීමට ඉඩ ඇත. ඇතැම් විට හන්දිපත් වේදනාව සමඟ දණහිස වළලුකර ආදී ස්ථානවල යම් ඉදිමුම් තත්ත්වයක් වුවද හට ගත හැකිය. එසේම උණ සහ ඇඟපත වේදනාවට අමතරව අධික මහන්සිය, වමනය ඔක්කාරය වැනි ලක්ෂණ ද සමහර රෝගීන් තුළ ඇතිවේ. කෙසේ වුවද හැම රෝගියෙකුටම මේ සියලුම ලක්ෂණ හට ගන්නේ නැත. එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වීමට ඉඩ තිබේ.
මෙම රෝගය වැළඳෙන්නේ ඩෙංගු රෝගවාහක මදුරුවාගෙනි. එනිසා චිකුන්ගුන්යා හි ලක්ෂණ බොහෝ දුරට ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන ය. එනිසා උණ සමග ඇඟපත වේදනාව ඇතිවන විට එය ඩෙංගු රෝගය ද නැද්ද යන්න දැනගැනීම මුලින්ම කළ යුතුය. ඩෙංගු සඳහා පරීක්ෂණයක් සිදුකර මෙය දැන ගත හැකිවේ. ඩෙංගු නම් රෝහලක නතර වී ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය ය. එසේ වුවද චිකුන්ගුන්‍යා රෝහලක නතර වී ප්‍රතිකාර ගත යුතු මාරාන්තික තත්ත්වයක් නොවේ. නමුත් කොයිතරම් කාලයක් ඇඟපත වේදනාව විඳින්නට සිදුවේද යන්න කාටවත් කිව නොහැකිය. උණ සුව වුණත් ඇඟපතේ සහ සන්ධිවල වේදනාව දිගින් දිගටම පැවතීම මෙහි ඇති ප්‍රධාන ගැටලුව ය. මේ නිසාම කිසිදු වැඩක් කරගන්නට පමණක් නොව, ඇවිද ගැනීම පවා අපහසු වේ .
චිකුන්ගුන්යා රෝගය සුවකර ගැනීමට ඖෂධ නොමැත. මෙය සුව වන්නේ ඉබේමය. රෝගය නිසා හටගන්නා තදබල කායික වේදනාව අඩුකර ගැනීමට ඖෂධ ලබා ගත හැකිය.
සමහර අයට මෙවැනි වේදනානාශක ඖෂධවලට බඩ දැවිල්ලක් හට ගන්නට පුළුවන. මේ නිසා ඖෂධ වර්ග හේතුවෙන් ඔබට ඉන්පෙර බඩ දැවිල්ලක් සෑදී තිබුණේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයාට පැවසීම අවශ්‍ය වේ.
මෙහිදී ඇතිවන අනෙක් ගැටලුව නම් කලක් යනතුරු ඇඟපතේ වේදනාව සන්ධි අමාරු ආදිය පැවතිය හැකි නිසා දිගු කලක් වේදනානාශක ඖෂධ ගැනීමට සිදුවීමය. දීර්ඝකාලීනව වේදනානාශක ඖෂධ ගැනීම වකුගඩුවලට හානි ඇති කිරීමට සමත් විය හැකිය. වකුගඩු නැවත අලුත්වැඩියා කරන්නට ඖෂධ නැත. විනාශ වුණොත් ඊට ඇති එකම විකල්පය වන්නේ අලුතින් වෙනත් කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම පමණි. මේ නිසා දිගු කලක් වේදනානාශක ඖෂධ හිතුමතේට දිගින් දිගට ගැනීම බරපතළ අතුරු ආබාධ ඇති විය හැකි තත්ත්වයක් බව සිහි තබාගත යුතුය.
මෙම රෝගයෙන් ආරක්ෂා වීමට නම් වතුර එකතු වෙන තැන් ගේ වටේ තිබේදැයි සොයා බැලීම අවශ්‍ය වේ. අපේ රටේ වර්ෂාවෙන් කිසිම අඩුවක් නැත. එනිසා වැස්සෙන් පසුව ගෙය අවට විවිධාකාර තැන්වල වතුර එකතු වී තිබෙන්නට පුළුවන. ටයර්වල, ඉවත දැමූ යෝගට් කෝප්පවල, වහලයේ සවි කර ඇති වතුර බහින වැහි පීලිවල, මල් බදුන්, අත්හැර දැමූ නිවාස ඉදිකිරීම්වල, කොන්ක්‍රීට් වහලවල්වල මේ ඕනෑම තැනක වතුර එකතු වීමට බාධාවක් නැත. මේවා ඔබ අදම සොයා බැලුවොත් ලබන සතියේ සෑදීමට ඉඩ ඇති මෙවැනි ලෙඩක් වළක්වා ගැනීම අපහසු නොවේ. මේ මදුරුවන්ට වැඩිදුර පියාඹන්නට නොහැකිය. එනිසා අපේ නිවසට මදුරුවන් පැමිණෙන්නේ වටපිටාවේ ගෙවල්වලින් නොවේ. අපේ ම ගෙදරිනි. අපේ ගෙදර ආරක්ෂිත නම් ගේ ඇතුලේ ජීවත්වන සියලු දෙනාම ආරක්ෂිත ය. නමුත් ඊළඟට වැස්ස එන දවසට නැවතත් මේවා සොයා බැලිය යුතුය.
මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අපි නිදා ගන්නා විට රෙද්දක් පොරවා ගැනීම, විදුලි පංකාවක් පාවිච්චි කිරීම, මදුරු දඟරයක් දැල්වීම වැනි නොයෙකුත් පිළියම් යොදන්නෙමු. නමුත් මෙම රෝගයට අදාළ මදුරුවා මේ සියල්ල කරන්නේ රාත්‍රී කාලයේ නොව දිවා කාලයේ ය. ඔබේ වටේ කැරකි කැරකී හිඳිමින් අවස්ථාවක් ලද විගස ඌ ඔබට විදිනු ඇත.
ඉන්පසු මදුරුවාගේ ශරීරයේ සිට විෂබීජයක් ඔබේ ශරීරය ඇතුළට ගමන් කරයි. එතනින් එහාට සිදුවන දේවල් තීරණය කරන්නේ විෂබීජය සහ අපේ ශරීරය යන සංකලනයෙනි. ඒ මිස අපට වුවමනා අයුරින් නොවේ.
විෂබීජය ඇතුල් වූ පසු කළ හැකි කිසිවක් නැත. ඕනෑම දේකට මුහුණ දිය යුතුය.
දින කිහිපයක් ගත වන විට උණ, ශාරීරික වේදනාව, සම රතු පාට වීම, රතුපාට තිත් මතුවීම ආරම්භ වීමට හැකිය. මෙම රෝගයට ඖෂධයක්වත්, එන්නතක්වත් අප රටේ තවමත් නොමැත. කළ හැක්කේ වළක්වා ගැනීම පමණි. එනිසා අදම, මිදුලට බැස ගේ වටේ ඇවිද හොඳින් පරීක්ෂා කර බලන්න. ඔබ විශාල කරදරයකින් බේරී ඇති බවට සතුටු විය හැකිදැයි එවිට ඔබටම වටහා ගත හැකි වනු ඇත.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සැකසුම ඉන්දුු පෙරේරා